ප්‍රියමාලිලාගේ බිහිවීම පිළිබඳ කතාවස්තුව

1962

මේ දිනවල වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව සිටින චරිතය වූ කලී තිළිණි ප්‍රියමාලි ය. අටේ පන්තියට පමණක් උගත්තේ යැයි කියන ඇය හැටේ හැත්තෑවේ කෝටිපතියන්ගේ පස්ස පැත්ත බිම අන්නවා ඇති බව පෙනෙන්නට තිබේ. තිළිණි ප්‍රියමාලි යනු මේ වර්ගයේ පළමුවන චරිතය නොවේ. තරුණ වියේ සිටම ජල්තර වැඩවල යෙදී කෝටිපතියන් බවට පත් වූ පුද්ගලයන් යුරෝපයේද ජීවත් වූ අතර එවැනි චරිත සම්බන්ධයෙන් චිත්‍රපට පවා තනනු ලැබ ඇත. උදාහරණයක් වශයෙන් ස්ටීවන් ස්පීල්බර්ග් තැනූ Cath Me If You Can නමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුල් වූ සත්‍ය පුද්ගලයා හැඳින්විය හැකිය. ඇමරිකාවේ ජීවත් වූ තරුණයෙක් වන හෙතෙම කුඩා කාලයේ සිටම විවිධ වංචනික වැඩවලට පුරුදු වුණේය. ඒ අනුව ගුවන් නියමුවකු ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් නිර්මාණය කරගත් මේ පුද්ගලයා අවුරුදු ගණනාවක් ම කිසිදු ප්ලේන් එකක් එලවන්නේ නැතිව ගුවන් නියමුවකු ලෙස රඟපාමින් ධනවතුන්ගෙන් මුදල් ලබා ගත්තේ ය. ඊළඟට ඔහු හොර සල්ලි ඇන්දේය. ඒවා අච්චු ගැසුවේය. හොර චෙක් අතින් ඇන්ද හෙතෙම ඒවා මාරු කොට ඉතා සුව පහසු ජීවිතයක් ගත කළේය. අන්තිමේදී එක් පොලිස් නිලධාරියෙක් අවුරුදු 15 කට ආසන්න කාලයක් ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා සිර දඬුවම් ලබා දුන්නේය. මේ අතර ඇමරිකාව පුරා ව්‍යාජ චෙක්පත් වසංගතයක් පැතිර යන්නට විය. හිරේ සිටින තරුණයා ව්‍යාජ චෙක්පත් සෑදීම පිළිබඳ විශේෂඥයකු නිසා ව්‍යාජ චෙක්පත් සිද්ධිවලදී ඒවා හඳුනා ගැනීම පිණිස එම තරුණයාගේ ආධාර ලබන්නට පොලිසියට හැකි විය. අන්තිමේදී ඇමරිකන් පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කොට මේ පුද්ගලයා නිදහස් කරවා ගෙන ඇමරිකන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හොර චෙක් හඳුනාගැනීමේ අංශයේ ප්‍රධානියා ලෙස ඔහුට රස්සාවක් දුන්නේය. මෙය සම්පූර්ණ ඇත්ත කතාවකි. එවැනි දක්‍ෂකම් ඇති වංචනිකයෝ අපේ රටේ ද සිටිති. තිලිණි ප්‍රියමාලි එවැනි දක්‍ෂ කෙනෙක් යැයි අපි නොසිතමු. ඇය කළේ එක්කෙනෙකුගෙන් රුපියල් ලක්‍ෂ 50 ක් ලබාගෙන එය වියදම් කර තව කෙනෙකුගෙන් රුපියල් කෝටියක් ගෙන අර ලක්‍ෂ 50 ගෙවා ඉතිරි ලක්‍ෂ 50 න් ෆන් එකක් ගැනීම ය. මේ ගමන දිගටම යා හැකි ගමනක් නොවේ. මෙසේ විවිධ දේවල් සඳහා ආයෝජන වශයෙන් හෝ ණය වශයෙන් අරගන්නා මුදල් ගෙවීමට බැරි වී පස්ස බිම ඇණෙන තැනක් එන අතර එතැන් සිට එම ණයකරු හෝ ණයකාරිය පිටුපස සිටින්නේ පොලිසිය සහ උසාවිය පමණි. ලංකාවට ද මීට සමානම වැඩක් සිද්ධ වී තිබේ. මේ රට අවුරුදු 30 ක් පමණ කාලයක සිට විවිධ දේවල් සඳහා ණය ගැනීමටත් ඒ ණය ගෙවීමට තවත් ණය ගැනීමටත් ඒ ණය ගෙවීමට තවත් ණය ගැනීමටත් පුරුදු වී තිබිණ. අන්තිමේදී එක කොනකදී ණය ගෙවා ගැනීමට නොහැකිව මේ රට බ්ලැක් ලිස්ට් විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ කතන්දරය සහ තිළිණි ප්‍රියමාලිගේ කතන්දරය අතර වැඩි වෙනසක් නැත. තිළිණි ප්‍රියමාලි මේ රටේ අයට පොලු තිබ්බා ය. ලංකාව ජාත්‍යන්තරයට පොලු තිබ්බේය. ඒ විස්තරය එතනින් නිම කරමු.

හොර ෆිනෑන්ස් කොම්පැණි, ව්‍යාජ බැංකු, වංචනික ආයෝජනකරුවන් යනාදිය 1977 න් පසු ලංකාවේ ඕනෑ තරම් බිහිවිය. ඒ සමහර ඒවා තුළින් තැන්පත්කරුවන්ගේ බිලියන දහස් ගණනකට කෙළවා බිමට සමතලා විය. මේ තැන්පත්කරුවන්ගෙන් සමහරු වස පානය කර මිය ගියහ. එවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර නැති කිසිදු ආයතනයක හෝ පුද්ගලයකු ළඟ මුදල් තැන්පත් නොකරන්නැයි මහ බැංකුව පත්තර පිටු ගණන් දැන්වීම් පළ කළේය. ටෙලිවිෂන්වල දැන්වීම් දැමුවේය. ඒ අතර සක්විති, දඬුවම් මුදලාලි වැනි අය බිහිවූහ. මේ රටේ ජනයා මේ තරම් හොඳ බැංකු තිබියදී හොරුන් පස්සේ යන්නේ ඇයි. එයට හේතුව මේ රටේ බැංකු ක්‍රමය මුදල් සම්බන්ධයෙන් පනවා තිබෙන දැඩි නීතිරීති ය. අදටත් බැංකුවට රුපියල් ලක්‍ෂ 2 ක් දැමුවහොත් ඒ පිළිබඳ විස්තර මුදල් තැන්පතු කඩදාසියේ ලිවිය යුතු ය. කවුරු හරි රුපියල් ලක්‍ෂ 50 ක් ගෙනවිත් බැංකුවකට දමා එය උපයා ගත් හැටි හෙළි කිරීමට නොහැකි වුවහොත් කෙළින්ම ඇතුළට යෑමට සිදු වේ. මේ රටේ මිනිස්සු විවිධාකාරයෙන් මුදල් උපයති. උපයන ආකාරය කුමක් වුව ද, අවසාන ඵලයේදී ඒ සියල්ල මුදල් ය. බැංකු ගිණුම්වල තැන්පත්වීමේ අයිතිය ඒ මුදල්වලට ඇත. දිනක් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් බෑග් දෙකක පුරවා ගත් සුද්දෙක් ඩුබායි ගුවන්තොටුපළේ ආගමන අංශයට පැමිණියේය. ඔහුගේ මුදල් පරීක්‍ෂා කළ රේගුව ඩුබායි එමීර්වරයාට දුරකථනයෙන් කතා කොට මේ සුද්දා සහ ඇමරිකන් ඩොලර් මිලියන 500 සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි විමසා සිටියේය. ඩුබායි පාලකයාගේ පළමුවැනි ප්‍රශ්නය මෙය විය. “ඒ මිනිහා රට ඇතුළට සල්ලි ගෙනෙනවා ද, නැත්නම් රටින් එළියට ගෙනයනවාද” යන්නයි. ඔහු රට තුළට මුදල් ගෙන එන බව රේගුව එමීර්වරයාට දැන්වීය. එහෙනම් ඔහු වහාම රට ඇතුළට ගෙන විශේෂ ප්‍රවාහන පහසුකම් දී හෝටල් කාමරයක් ද නොමිලේ ලබා දී සත්කාර කරන ලෙස එමීර්වරයා රේගුවට දැන්වීය. මෙහිදී සිදුවන්නේ මෙයයි. රට ඇතුළට ගේන මුදල් යළි එළියට ගෙනයෑමට ඉඩ නොලැබේ. සුද්දා එම ඩොලර් මිලියන 500 ම රට තුළම ආයෝජනය කළ යුතු ය. මේ ආකාරයේ සුද්දෙක් ලංකාවට ඩොලර් මිලියන 500 ක් ගෙනාවොත් ඒකා කූඩුවට යෑමට ඉඩ තිබේ මෙහිලා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් කුප්‍රකට මගඩිවලින් උපයන මුදල් ගැන විමසීම වරදක් ලෙසද අපි නොදකිමු. එසේ වුවද ඉහත කී තත්ත්වයන් නොසලකා හැරීමෙන් ඉදිරියේදී අනන්තවත් ප්‍රියමාලිලා, සක්විතිලා, දඬුවම් මුදලාලිලා බිහිවීම වැදගත් විය නොහැක. මේ සියල්ලටම පාඩම අපේ දහමේ ඇත. ‘තන්හාය ජායතී සෝකෝ’ එය සනාතන සත්‍යයකි.

advertistmentadvertistment
advertistmentadvertistment