ප්‍රියමාලි ළඟ සල්ලි දාන්න ආරූඪයකින් පොලඹවලා

912

ව්‍යාපාරිකයන් අමාරුවේ දමපු හැටි උසාවියේදී හෙළිවෙයි පැමිණිලිකාර ව්‍යාපාරිකයා මිලියන 750ක්ම දමලා
සැකකාර හිමිනම ගැන සීඅයිඩීය උසාවියට කියයි
රන් ආලේප කළ පිත්තල බාර් 8කුත් සොයාගැනේ

කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් රවටා රුපියල් කෝටි 300කට අධික මුදලක් ලබාගෙන වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති තිළිණි ප්‍රියමාලි නමැත්තිය මෙන්ම ඇගේ ව්‍යාපාර සමූහයේ අධ්‍යක්‍ෂකවරයකු යැයි කියන ඉසුරු බණ්ඩාර සහ එකී වංචනික කටයුතුවලට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බොරැල්ල සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02දා) නියෝග කළේය.

මින් පෙර ඊයේ (02දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි තිළිණි ප්‍රියමාලි හා ඉසුරු බණ්ඩාර ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ මහෙස්ත්‍රාත්වරයාගේ නිරීක්‍ෂණය සඳහා ඉදිරිපත් කර තිබූ අතර ඔවුනට එරෙහිව එක්ව හා වෙන් වෙන්ව ගොනු කර තිබූ නඩු කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. ඉන් අනතුරුව සැකකාර බොරැල්ලේ සිරිසුමන හිමියන්ට එරෙහිව ගොනු කළ නඩුව කැඳවූ අවස්ථාවේදී පෙර දින එනම් පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකාර හිමියන්ගෙන් ප්‍රකාශ ලබාගෙන සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් ඇප ලබාදීමක් සිදුකළහොත් ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් සැකකාර හිමියන් ද රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

බොරැල්ලේ සිරිසුමන නමැති සැකකාර භික්‍ෂුව ඉසුරු බණ්ඩාර නමැත්තා විසින් හඳුන්වා දුන් කැරම් ද සිල්වා නමැති ව්‍යාපාරිකයා සිය විහාරස්ථානයට ගෙන්වා විවිධ ආගමික වත්පිළිවෙත් සිදුකරමින් තමන් ආරුඨ වී දේව වරමින් අනාවැකි කියන බව හඟවමින් එකී මුදල් තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරියගේ ව්‍යාපාරික කටයුතු සඳහා ලබාදීමට ඔහු පොළඹවා ඇති බවත් ඒ අනුව එම ව්‍යාපාරිකයා ඔහු සතුව තිබූ යාන වාහන ඉඩ කඩම් රැසක් විකුණා රුපියල් මිලියන 75 කට අධික මුදලක් පසුගිය දෙසැම්බර් මස සිට මේ දක්වා ලබාදී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 02 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය. අප රටේ සුප්‍රකට සමාගම්වල කොටස් මිලදී ගැනීමට ආයෝජනය කරන බව පවසා එකී මුදල ලබාගෙන ඇතත් මේ දක්වා එවැනි කටයුතු සඳහා කිසිදු මුදලක් වැයකර නොමැති බවත් එහිදී අධිකරණයට පැවසූ විමර්ශන නිලධාරීහු පැමිණිලිකරු සැකකාර භික්‍ෂුවට ද විශාල මුදලක් මෙන්ම ඉතා වටිනා තෑගි භෝග ද ලබාදී ඇතැයි ද සඳහන් කළහ.

සැකකාර භික්‍ෂුව ආරූඪයෙන් අනාවැකි පළකරමින් සිදුකළ ආශිර්වාදය නිසා තමන් එවැනි විශාල මුදලක් සැකකාරියට ලබාදුන් බව පැමිණිලකරු අනාවරණය කර ඇතැය ිද එහිදී අධිකරණයට පැවසූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා නිරෝෂනී හේවාපතිරණ මහත්මිය සැකකාර ඉසුරු බණ්ඩාර නමැත්තාගේ නවසේ තිබී රත්තරන් පොලු කැබලි (බාර්) බව හැඟවීම සඳහා උපයෝගී කරගත්තේ යැයි සැකකරන පිටින් රන් ආලේපිත පිත්තල බාර් අටක් සොයා ගැනීමට හැකිවූ බවද අධිකරණයට පැවැසුවා ය.

එම සැකකරුගේ මව සන්තකයේ තිබී රුපියල් ලක්‍ෂ 150ක මුදලක් සොයා ගැනීමට හැකිවූ බවත් ඒවා සැකකාර ඉසුරු බණ්ඩාරගේ බවට මව ප්‍රකාශ ලබා දී ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරිය මව හා සැකකාර පුතා ලබාදුන් ප්‍රකාශ පරස්පර වන බැවින් ඒ කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව ද අධිකරණයට කීවා ය. එම සැකකරු නමින් එක්තරා පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන යන ගිණුමක රුපියල් ලක්‍ෂ 70 ක මුදල් තැන්පත් කර ඇති බැවින් ඒවා ඉවත්කර ගැනීම වළක්වන නියෝග එම බැංකු වෙත නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

එම සැකකාරිය සන්තකයේ තිබී බන්ධනාගාරය තුළදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන උපයෝගි කරගනිමින් පිටතට දුරකථන ඇමතුම් 11ක් ලබාගෙන ඇති බවත් ඉන් සැකසහිත දුරකථන ඇමතුම් 6කට අදාළ පුද්ගලයන්ට ප්‍රකාශ ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට දැනුම්දී ඇතත් මේ දක්වා පැමිණ නැතිබවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

බොහෝ සමාජ මාධ්‍ය හා ප්‍රසිද්ධ ජනමාධ්‍ය පවා සිය සේවාදායිකාව සම්බන්ධයෙන් වැරදි සහගත තොරතුරු ප්‍රසිද්ධ කරන බැවින් ඇය සම්බන්ධයෙන් තොරතුරු පළකිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ජනමාධ්‍ය මගින් පළකළ යුත්තේ කුමක්ද? ඒවා කෙලෙස පළකළ යුතුදැයි තම අධිකරණයට කිසිදු නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් නැතැයි මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment