ප්‍රේම සබඳතාවක් ගැන කේළමක් විසඳන්න ගිහින් පිහියෙන් ඇන කතක් මරලා

420

පිහිපහර කෑ මියගිය අයගේ මවටත් බරපතළයි

රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ දී මවකට සහ දියණියකට ඥාතියකු විසින් පිහියකින් ඇණ ඇති අතර පිහි ඇනුමෙන් දියණිය මියගොස් මව බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව රත්ගම පොලිසිය පවසයි.

ප්‍රේම සම්බන්ධතාවක් නිසා ඇතිවූ කේලමක් ඇසීම සඳහා සැකකරු විසින් මෙම මව සහ දියණිය පදිංචිව සිටි නිවසට ගොස් ඇත. එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම වී ඇති බව පොලිසිය පවසයි. පිහි ඇනුමට ලක්වීමෙන් ඝාතනය වි ඇත්තේ බාදුරාකඩ ශ්‍යාමලි (20) නමැති රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ පදිංචි එක් දරු මවකි. ඇයට අවුරුදු දෙකක දරුවෙකු සිටින බව පොලිසිය පවසයි. පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ මව 42 වියේ පසුවන තැනැත්තියකි.

සැකකාර පුද්ගලයා රත්ගම ප්‍රාදේශීය සභාවේ සේවය කරණ 55 වියේ පසුවන සුළු සේවකයෙකි. සැකකරුගේ 17 හැවිරිදි පුත්‍රයා ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියාගේ නැගණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය විසින් සිදුකරනු ලැබූ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඝාතනය සඳහා යොදාගත් පිහියද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රියන්ත, පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර, පො. කො. 13413 ප්‍රියන්ත යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගත්තේය.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment