ප්‍රෞඪ දේශයේ 74 වන නිදහස අභිමානයෙන් ලෙළදෙයි

388

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ශ‍්‍රී ලංකා මාතාව සිය 74 වැනි ජාතික නිදහස උළෙල කොළඹ නිදහස් චතුශ‍්‍රයේදී ඊයේ (4) උදෑසන මහත් අභිමානයෙන් සමරනු ලැබුවාය.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීයන්ගේ සහභාගීත්වයෙන් එකම ශ‍්‍රී ලාංකික ජාතියක් ලෙස මහත් තේජසින් සමරනු ලැබූ නිදහසේ අසිරියෙන් රටම ඇළලී ගියේය.

වසර 74 කට පෙර ඊයේ වැනි දිනයක අප ලැබූ ජාතික නිදහසේ අභිමානය කියාපාමින් පැවැත්වුණු නිදහස් උළෙල අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්. යන්න තේමා කරගෙන පැවැත්වුණි.

ප්‍රෞඪ දේශයේ 74 වන නිදහස අභිමානයෙන් ලෙළදෙයි

වර්ණ ධඡු පෙරටු කරගෙන යුද, ගුවන්, නාවික ත‍්‍රිවිධ හමුදාවන් සම්මාන මුරයට පෙළ ගැසීමෙන් අනතුරුව පොලිස්පති චන්දන විකුමරත්න, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ෂණ පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ර්‍ණආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ශ‍්‍රී ලංකා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් ජෙනරල් විශ‍්‍රාමික කමල් ගුණරත්න, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් මර්ෂල් රොෂාන් ගුණරත්න, අද්මිරාල් ඔෆ්ද පිලීප් වසන්ත කරන්නාගොඩ, වාරිමාර්ග ඇමැති, රාජ්‍ය ආරක්ෂක හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරුන් හා එම මැතිණියන් උත්සව භූමියට පිළිවෙලින් පැමිණීමෙන් පසු ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා එම මැතිණියගේ සම්ප‍්‍රාප්තිය සිදුවූහ.

අගමැතිවරයා හා එම මැතිණිය වාරිමාර්ග හා රාජ්‍ය ආරක්ෂක ර්‍ණස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පිළිගනු ලැබීය.

සියලූ සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීමෙන් පසු පෙරවරු 8.15 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම මැතිණිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය යුද හමුදා පෙර ගමන් රථ හා පොලිස් අශ්වාරෝහකයන් පෙරටු කරගත් දර්ශනීය පෙරහැරකින් උත්සව භූමිය වෙත කැ`දවාගෙන එනු ලැබූහ. උත්සව භූමිය වෙත සම්ප‍්‍රාප්තවූ ජනාධිපතිවරයා හා එම ආර්යාව වාරිමාර්ග ඇමැති හා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පිළිගනු ලැබූහ.

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයාගේ පැමිණීම සැලකෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් අනතුරුව ජාතික ධජය එසවීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ත‍්‍රිවිධ හමුදා පතිවරුන් හා පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ප‍්‍රධාන කොඩි කණුව වෙත කැඳවාගෙනයන ලදී.

මඟුල් බෙර වාදනය හා ජයසක් පිඹීම මධ්‍යයේ ජාතික ධජය එසවෙද්දී කොළඹ ආනන්ද විද්‍යාලය, ආරක්ෂක සේවා විද්‍යාලය, ශාන්ත ජෝශප් බාලිකා විදුහල, කැලණිය ශ‍්‍රී ධර්මාලෝක විදුහල, ලින්සේ බාලිකා විද්‍යාලය, රාජකීය විදුහල, තර්ස්ටන් විදුහල, සහිරා විදුහල, කොළඹ හින්ඳු විදුහල, රාමනාදන් හින්දු කාන්තා විදහල හා මුස්ලිම් කාන්තා විදුහල් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45දෙනකු ජාතික ගී ගායනය කළහ.

අනතුරුව නිදහස් උළෙලට ආශීර්වාද කරමින් කොළඹ දේවීබාලිකා ර්‍ණ විශාඛා, සිරිමාවෝ බාලිකා විදුහල් නියෝජනය කරන ශිෂ්‍යාවන් විසින් ජය මංගල ගාථා හා දේවෝ වස්සතු කාලේන ආශීර්වාද ගාථාවන් ගායනා කළහ.

ජනාධිපතිවරයා රතු පලස මතින් විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යෑම සිදුවීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත් ස්වෛරීභාවයේත් භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවිපිදූ සියලූම දේශපේ‍්‍රමීන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පැවැත්වුණි.

අනතුරුව එළැඹියේ ජනාධිපති උත්තමාචාර පිරිනැමීමයි. යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර 21 ක් පිරිනැමුණි. පසුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීය. ජනාධිපතිවරයා ජාතිය ඇමැතීමෙන් පසු යුද, නාවික, ගුවන් හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බළකායේ හා ජාතික ශිෂ්‍ය භට බළකායේ උත්තමාචාර පෙළපාලිය පැවැත්වුණි. ත‍්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බළකා හා සිවිල් ආරක්ෂක බළකා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් සහිත ජාතියේ ප්‍රෞඩත්වය විදහා පෑ ත‍්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර හා සන්නාහ සන්නද්ධ රථ පෙළපාලියෙන් නිදහස් උත්සවය වර්ණවත් කෙරුණි.

ගුවන් හමුදා භට පිරිස් ආචාර පෙළපාලියේ ගමන් ගනිද්දී ඉහළ අහසේ ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා හා ප‍්‍රහාරක ජෙට් යානා සංදර්ශනයන්ගෙන් උළෙල හැඩකළේය. නිදහස් උළෙලේ ගමන් කරවූ සිංහ ප‍්‍රතිමාවෙන් ජාතියේ ශක්තිය, අභිමානය, උදාරත්වය විදහා දැක්වුණු අතර, දේශීයත්වය පිළිඹිබු කරමින් නර්තන ශිල්පී ශිල්පිනියන් 450 කගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කෙරුණු සංස්කෘතික විචිත‍්‍රාංගයන්ගෙන් නිදහස් උළෙලේ අසිරිය තවතවත් වර්ණවත් කෙරුණි. සංස්කෘතික සංදර්ශන පෙළපාලිය නිමාවීමෙන් පසු පෙරවරු 10.40 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම ආර්යාවගේ නික්ම යාම සිදුවිය. අනතුරුව අගමැතිවරයා හා එම මැතිණිය නික්ම යාමෙන් පසු නිදහස් සැමරුම් උළෙල සමාප්ත විය. 74 වන ජාතික නිදහස් උළෙල කොව්ඞ් මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව නිදහසේ අභිමානය ලොවට විදහා දැක්වෙන අයුරින් සංවිධානය කර තිබුණි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment