ප්ලාස්ටික් බෝතල් ගම්මානයක්

574

කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයේ පදිංචි රොබට් බෙසා (Robert Bezeau) 2012 වසරේදී පැනමා හි ‘‘ඉස්ලා කොලන් ’’ දූපත් වෙත පැමිණියා. දිනක් මුහුදු වෙරළේ සන්ධ්‍යාවක් ගත කරන ඔහු දුටුවේ ඒ ප‍්‍රදේශය පුරා තැනින් තැන විසිරී තිබෙන ප්ලාස්ටික් බෝතල් කන්දරාවක්. මේ වෙන විටත් ප්ලාස්ටික් ගැන විවිධ චෝදනා නැගුනත් ප්ලාස්ටික් බෝතල් පරිසර හිතකාමී ලෙසින් යොදා ගන්නා ආකාරයක් ගැන කිසිවෙකුත් අවධානය දක්වන්නේ නැහැ. නමුත් පරිසරයට වින කරන වසංගතයක් යැයි මැසිවිලි නැගීමේ අවසානයක්ද නැහැ. කෙසේ හෝ වේවා 2050 වසර වෙන විට බැහැර කරන ප්ලාස්ටික් පරිසර හිතකාමී ලෙසින් යොදවා නොගතහොත් මුහුදේ සිටින මත්ස්‍ය ගහනයටත් වඩා තැනින් තැන විසිරෙන ප්ලාස්ටික් ප‍්‍රමාණය වැඩි බවටත් ඇස්තමේන්තු කර තිබෙනවා.

  • ඇස්තමේන්තුවෙන් ඔබ්බට ගිය ගමනක්…

කොහොම වුණත් රොබට් ඇස්තමේන්තුවට ඔබ්බෙන් වූ ගමනක හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් නිවරැදියි. මුහුදු වෙරළේ සිටින අතර මේ අන්දමින් තැනින් තැන කසළ ලෙසින් බැහැර කරන ප්ලාස්ටික් බෝතල් පරිසර හිතකාමී ලෙසින් යොදා ගන්නා අන්දම ගැන හිතුවා.

මේ බෝතල් ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් යොදා ගැනීමට බැරිද..? අනාගත අපේක්ෂාවක් පදනම් කර ගෙන රොබට් ඉවත දමන ප්ලාස්ටික් බෝතල් එකතු කළා. මේ සංකල්පය මත කටයුතු කිරීම ඉලක්ක කර ගෙන ඔහු ප්ලාස්ටික් බෝතල් මිලියනයක් පමණ එකතු කළා. මේ අතර ඔහු ඇමරිකාවේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ‘‘ඩග් අයිචෙල්බර්ගර් ’’ සම්බන්ධ කර ගෙන ප්ලාස්ටික් බෝතල් යොදා ගෙන ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් දැනුම ලබා දෙන්නැයි ආරාධනා කළා. ඩග් ඔහුගේ ඉල්ලීම පිළිගත්තා. ඒ අනුව බෝතල් ගම්මානය ඉදිකිරීම වෙනුවෙන් වූ සැලසුම සකස් කළා.

මේ වෙන විටත් රොබට් සතුව ඉවත දමන ලද ප්ලාස්ටික් බෝතල් මිලියනයකටත් අධික ප‍්‍රමාණයක් තිබුණා. ස්වේච්ඡා සහ අර්ධකාලීනව සේවය කරන ශ‍්‍රමය යොදා ගෙන මේ බෝතල්වලට වැලි පුරවා ගත්තා. වැලි හලා ගෙන පුරවා නොගත්තොත් බෝතලයේ හිදැස් ඇති වෙන නිසා ඒ ගැනත් සේවකයන් දැනුවත් කිරීම ඉතාම වැදගත් වුණා. ගොඩනැගිල්ලේ අත්තිවාරම කපා එය සිමෙන්තිවලින් පුරවා ගත්තා. ගොඩනැගිල්ලක අත්තිවාරම මත ගොඩනැගිල්ලේ සම්පූර්ණ බර දරන නිසා එහි සවිමත් බව ඉතාම වැදගත්. ඒ නිසා අදාළ සැලසුමට අනුව ගොඩනැගිල්ලේ බර දරා ගත හැකි පරිදි සකස් කරන ලද අත්තිවාරම මත වැලි පුරවා ගත් බෝතල්වලින් ආධාරක තීරු සහ කණු සාදා ගත්තා. මෙහිදී එක් ප්ලාස්ටික් බෝතල් පේළියක් තබා ඒ මත කොන්කි‍්‍රට් සිමෙන්ති මිශ‍්‍රණය දැමීමෙන් පසුව නැවතත් ප්ලාස්ටික් බෝතල් පේළියක් තබනවා. මේ ක‍්‍රමයට සකස් කර ගන්නා ආධාරක කණු සහ තීරු බෙහෙවින් ශක්තිමත්.

දැන් මෙම ආධාරක කණු සහ තීරු මත ප්ලාස්ටික් බෝතල් තබමින් අවශ්‍ය උස ප‍්‍රමාණයට බිත්ති බැඳ ගන්නවා. බිත්තිය බැඳ අවසානයේදී බෝතල්වල කෙළවරවල් හරස් වන සේ නූලකින් බැඳ ගන්නවා. බිත්තිය ප්ලාස්ටික් බෝතල්වලින් සකස් වුණත් වහලයට උළු හෝ ඇස්බැස්ටෝස් සෙවිලි කිරීමට වගේම ජනේල දැවයෙන් සකස් කර ගැනීමටත් කිසිම බාධාවක් නැහැ.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment