ප්ලාස්ටික් විනාශ කරන සුපිරි වැඩකාරයෙක්…

847

ඇසුරුම් වෙනුවෙන් අපේ ජන ජීවිතයට පොලිතින් සහ ප්ලාස්ටික් අත්‍යවශ්‍ය යැයි අද සැලකුවත් ඒවායේ මේවා පරිභෝජනය සමග විවිධ පාරිසරික ගැටලු ඇති වී තිබෙනවා. ප්ලාස්ටික් යනුවෙන් අප හඳුන්වන මෙම නිෂ්පාදනයන් වෙනුවෙන් යොදා ගන්නා පොලිමර් ප්ලාස්ටික් නිෂ්පාදන ක්‍රියාවලියේදී අපට අවශ්‍ය ලෙසින් සකස් කර ගැනීමේ පහසුව තිබෙනවා. ඒ වගේම ඕනෑම හැඩයකින් නිෂ්පාදනය කිරීමේ පහසුව, සැහැල්ලුව, මිල සහ නම්‍යශීලීත්වය නිසා ප්ලාස්ටික් වෙනුවෙන් ගෝලීය ඉල්ලුමක් ගොඩනැඟී තිබෙනවා.

● අපට පුරුදු ප්ලාස්ටික් වර්ග

පැණි බීම බෝතල්, වතුර බෝතල් වැනි ඇසුරුම් වෙනුවෙන් භාවිතා කරන Polyethylene Terephthalate (PET or PETE or Polyester ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව තිබුණත් බොහෝ දෙනා කිසිදු පිළිවෙළක් නොමැතිව තැන තැන විසි කිරීම නිසා විවිධ පරිසර ගැටලු ඇති වී තිබෙනවා. මෙම PET ප්ලාස්ටික් ලෝකයේ වැඩියෙන්ම දක්නට ලැබෙන නිෂ්පාදනයක් ලෙසින් හඳුන්වන්න පුළුවනි.

එලන ජල නළ, ආහාර දැවටුම් ලෙස භාවිතා කරන cling wraps, අපට හොඳින් හුරු පුරුදු ෂොපින් බෑග් වෙනුවෙන් යොදා ගන්නා Polyvinyl Chloride (PVC‍) ප්ලාස්ටික් මිනිස් සිරුරට ඉතා අහිතකර බව දැන් පිලිගෙන තිබෙනවා.

අපේ එදිනෙදා ජීවිතයේදී දක්නට ලැබෙන ග්‍රොසරි බෑග්, ෂැම්පු බෝතල් නිෂ්පාදනය වෙනුවෙන් යොදා ගන්නා High-Density Polyethylene (HDPE) ප්ලාස්ටික් වර්ග තවත් ප්‍රභේදයක්.

‘ආහාරපාන වර්ග ඇසුරුම් වෙනුවෙන් භාවිතා කරන මෙම Low-Density Polyethylene (LDPE) – LDPE ප්ලාස්ටික් වර්ගය එතරම් අහිතකර නොවුනත් ප්‍රතිචක්‍රීකරණය කිරීම අපහසු නිසා විවිධ පාරිසරික ගැටලු ඇති වෙනවා.

ආහාර සහ පාන වර්ග ඇසුරුම් සහ ඩයපර්ස් වෙනුවෙන් යොදා ගන්නා මෙම Polypropylene (PP) – PP ප්ලාස්ටික් වර්ගයත් අහිතකර නොවුනත් ඉවත දැමීමේ කළමනාකරණයක් නොමැති නිසා පාරිසරික ගැටලු ඇති වෙනවා.

අපි වරක් පාවිච්චියෙන් පසු ඉවත දමන disposable cups නිෂ්පාදනය වෙනුවෙන් යොදා ගන්නේ මෙම Polystyrene (PS) ප්ලාස්ටික් වර්ගයයි. මේවා පරිසරයේ තැන තැන ඉවත දැමීම නිසා විවිධ පාරිසරික ගැටලු ඇති වෙනවා.

● ප්ලාස්ටික් ඉවත දැමීමේදී ඇති වෙන ගැටලු

ප්ලාස්ටික් විනාශ කරන සුපිරි වැඩකාරයෙක්…

පාවිච්චියෙන් පසු අපි ඉතා පහසුවෙන් ඉවත දමන ප්ලාස්ටික් ඇසුරුම් නිසා ඇති වෙන පසුකාලීන ගැටලු ගැනත් දැන් අපි හොඳාකාරව දන්නවා.

ඉවත දමන ප්ලාස්ටික් නිසා පරිසරයට මුදාහැරෙන යම් යම් රසායනික ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරේ මොළය, ස්නායු පද්ධතියට බලපෑම් ඇති වෙනවා. මිනිසුන්ට පමණක් නොව සත්ව, ශාඛ විශේෂයන්ටත් පරිසරයේ ආහාර දාමයන්හි ක්‍රියාදාමයන්ටත් සෘජු බලපෑම් ඇති වෙනවා. ඒ වගේම මේවා වසර ගණනාවක් නොදිරා තිබීම නිසා ගෝලීය උණුසුම ඉහළ යෑමටත් සෘජු ලෙසින්ම බලපාන බැව් පාරිසරික විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම ලෝකය පුරා ඇති සාගර සහ මුහුදු වෙරළවල් ඉවත දමන ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා දූෂණය වීම පමණක් නොව මේවා මුහුදට එකතු වීම නිසා සාගරයට පමණක් නොව සමුද්‍ර ජීවීන්ගේ පැවැත්මටත් බලපෑම් ඇති කරනවා.

● විකල්ප වෙනුවෙන් සුපිරි පණුවෙක්

2050 වසර වෙන විට අද පවතින ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් ලෝකයේ ප්ලාස්ටික් නිෂ්පාදනය සිදු වෙනවා. ඒ නිසා ප්ලාස්ටික්වලට විකල්ප විසඳුම් සොයන යුගයක ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් විප්ලවීය වෙනසක් කළ හැකි කෘමි කීටයන් විශේෂයක් හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් ප්ලාස්ටික් රසයට බොහොම කැමැත්තක් දක්වන නිසා පොලිස්ටයිරින් (polystyreneග) ආහාරයට ගැනීමට දැඩි කැමැත්තක් දක්වනවා. Zophobas morio නමින් හැඳින්වෙන මෙම පණු විශේෂයන්ගේ බඩවැලේ ඇති එන්සයිමයක් නිසා ප්ලාස්ටික් ඉතා පහසුවෙන් ජීරණය වෙනවා.

● ප්‍රතිචක්‍රීකරණ ශාඛයන්ට සමානයි.

Zophobas morio පණුවා සහ පොලිස්ටරීන් ජීරණය අතර පවත්නා සහ සම්බන්ධතාවය පිළිබඳව ක්වින්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම සති තුනක් පුරා අධ්‍යනයන් සිදු කරනු ලැබුවා. ඔවුන් මෙම සුපිරි පණුවන් කණ්ඩායම් තුනකට බෙදා විවිධ ආහාර ලබා දුන්නා. ඒ අතර පොලිස්ටරින් ආහාරයට ගත් පණුවන්ගේ ශරීර බර මේ සති තුන ගෙවෙන විට ඉහළ ගොස් තිබුණා. සුපිරි පණුවාගේ බඩවැලේ ඇති එන්සයිම තුළ පොලිස්ටයිරින් සහ ස්ටයිරියන් හායනය කිරීමේ හැකියාව ඇති බව මෙම කණ්ඩායම විසින් හඳුනා ගත්තා. මෙම පණු විශේෂයට polystyrene සහ styrene ජීරණය කිරීමේ හැකියාව ඇති බැව් අනාවරණය වූ අතර බොහෝ බහලුම් (containers) සහ මෝටර් රථ අමතර කොටස්වල මෙම ප්ලාස්ටික් සංයෝග දක්නට ලැබෙනවා.

● පණුවන් වගා කිරීම පහසු නැහැ…

Zophobas morio පණු විශේෂය වැඩකාරයන් බැව් සැබෑ වුණත් ඔවුන්ගේ ගහනය සුලබ කිරීම අප සිතන තරම් ඉක්මනින් සිදු කිරීමට අපහසුයි. පණුවන් යොදාගෙන ප්‍රතිචක්‍රීකරණය සිදු කිරීමට නම් ඒ වෙනුවෙන් යොදා ගන්නා ශාඛ මෙන් දෙගුණයකින් පණුවන් අවශ්‍ය වන බව පර්යේෂක කණ්ඩායම සඳහන් කරනවා. ඒ නිසා මෙම එන්සයිමය හඳුනා ගැනීමෙන් පසු එය යොදා ගෙන ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙම පණුවන්ට අමතරව ප්ලාස්ටික් ආහාරයට ගන්නා කුරුමිණි කීටයන්ද සිටින අතර එම කෘමීන්ටද “පොලිස්ටරින්” ආහරයට ගැනීමේ හැකියාව තිබෙන බැව් ඔවුන් හඳුනා ගත් බැව් ආචාර්ය ක්‍රිස් රින්කේ සඳහන් කරනවා. මෙම අධ්‍යයන වාර්තාව Microbial Genomicsමගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

● අධ්‍යයනය තව දුරටත් ඉදිරියට

මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවුනත් ඔස්ටේ්‍රලියානු ජාතික විශ්වවිද්‍යාල පර්යේෂක කොලින් ජැක්සන් සඳහන් කරන්නේ මෙම අධ්‍යයනය ඉතා වැදගත්. ඒ නිසා තව දුරටත් මෙම අධ්‍යයනය සංවර්ධනය කිරීම අවශ්‍ය බවයි. සුපිරි පණුවාගේ බඩවැලේ ඇති බැක්ටීරියා සහ අණුක මට්ටමින් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඔහු විසින් කරුණු පෙන්වා දී තිබේ. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණයේදී ප්ලාස්ටික් ජීරණ ක්‍රියාවලිය වෙනුවෙන් බැක්ටීරියා සහ ඉවතලන දිලීර භාවිතය ඉතා සාර්ථක ලෙසින් යොදා ගෙන තිබෙනවා. නමුත් මේ අන්දමින් එන්සයිම යොදාගෙන ප්‍රතිචක්‍රීකරණය සිදු කිරීම මහාපරිමාණ වශයෙන් අභියෝගයක් බැව් මහාචාර්ය කොලින් ජැක්සන් සඳහන් කරනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment