ප්ලේන් ටී, මිල්ක් ටී සහ කසළ ටී

984

තේ වර්ග කිහිපයක් අපේ රටේ තිබේ. මේ කතා කරන්නේ Brands හෙවත් වෙළෙඳ සන්නාම යටතේ කඩවල්වල තිබෙන තේ ගැන නොව පොදු සමාජයේ පවතින තේ වර්ග ගැනය. එයින් පළමුවැන්න ප්ලේන් ටී ය. දෙවැන්න මිල්ක් ටී ය. තුන්වැන්න ග‍්‍රීන් ටී ය. ඊට අමතරව ටමි ටී සහ බ්ලැක් ටී යනුවෙන්ද තේ වර්ග ඇත. සාමාන්‍ය ප්ලේන් ටී සඳහා පාවිච්චි කරන තේ කොළවල ඇති කහටවලට වැඩි කහටක් බ්ලැක් ටී වල තිබේ. දැන් අපගේ මාතෘකාවට අදාළ වන තේ වර්ගය ගැන කියමු. ඒ වූකලී කසළ තේ ය. කසළ තේ දෙවර්ගයකට වෙන්කළ හැකිය. පළමුවන වර්ගය නම් තේ නිෂ්පාදන කටයුතුවලදී තේ කම්හල්වල බිමට වැටෙන තේ කොළ සහ කුඩුය. මේ තේ කුඩු කොසුවලින් අතු ගා ගොඩගසා රට පටවනු ලැබේ. ඒවා යොදාගන්නේ සායම් නිෂ්පාදනය පිණිසය. මෙකී කසළ තේ වර්ගය Sweeping Tea ලෙස හැඳින්වේ. ඊළඟ කසළ තේ වර්ගය වූකලී තේ ඉස්ටෝරුවල ගොඩගසා තිබී කල් ඉකුත්වුණු හෝ හානියට පත්වුණු තේ ය. මේවායේ කහටවලින්ද සායම් සාදනු ලැබේ. මෙම තේ ගර්හිත තේ හෙවත්
 Condemned Tea ලෙස හැඳින්විය හැකිය. තේ පිළිබඳ අපේ කෙටි පාඩම මෙතැනින් සමාප්තයි. දැන් ප‍්‍රස්තුතයට එළැඹෙමු.

 ශ‍්‍රී ලංකාවේ අමු තේ දලූ මිල ඉතා වේගයෙන් පහළ බසින්නේ යැයි තේ වතු හිමියෝ පැමිණිලි කරති. මේ ආණ්ඩුව බලයට එන විට, එනම් කොරෝනාවට පෙර අමු තේ දලූ කිලෝවක් රුපියල් 120 කි. අද අමු තේ දලූ කිලෝවක් රුපියල් 88 කි. තේ වගා කරන්නන් මේ දිනවල සිටින්නේ අර්බුදයකය. වැඩි අස්වනු ලබාගැනීම පිණිස අවශ්‍ය රසායනික පොහොර තවදුරටත් ඔවුන් සතුව නැත. කාබනික පොහොර වලින් ලොකු තේ දලූ නොහටගනී. මෙහිදී වැදගත් යමක් සඳහන් කරමු. ශ‍්‍රී ලංකාවේ ගංගා ජාලය මුලින්ම දූෂණය වන්නේ තේ වතුවලට රසායනික පොහොර ගහන්නට පටන් ගැනීමත් සමගය. තේ කන්දට රසායනික පොහොර ගැසූ විට වැසි හට ගැනීමේදී කන්ද හේදී එම ජලය ගංගාවලට මිශ‍්‍ර වේ. මෙය හඳුන්වන්නේ සෝදාපාළුව ලෙසය. මේ සෝදාපාළුව සමග එන පොහොර අංශු තුළ බැර ලෝහ සහ වෙනත් රසායනික විස තිබේ. ගංගා දිගේ පාවී යන එම විෂ කුඹුරුවලට ජලය සපයන වගා ජල මාර්ග වලට එකතු වී ගොයම් ගස්වල මුල්වලට උරාගෙන විස සහිත සහල් උපදවයි. මේ කාරණය ගැන දීර්ඝ වශයෙන් පර්යේෂණ කෙරී තිබේ. තේ දලූ මිල බැසීමට එය සම්බන්ධ නැත. තේ කර්මාන්තකරුවන් කියන පරිදි ඉන්දියාව, කෙන්යාව යන රටවලින් ගෙන්වන බාල තේ මෙරට හොඳ තේ සමග මිශ‍්‍රකර ප‍්‍රති අපනයන කිරීමට ආණ්ඩුව ඉඩ දී තිබීම ලංකාවේ තේ මිල පහත යෑමට හේතුවය. මෙබඳු බාල තේ 30% ක් හොඳ තේ වලට මිශ‍්‍ර කිරීමට රජය ඉඩදී ඇත. මේ නිසා ලංකාවේ තේ වලට පිට රට ඇති ඉල්ලූම පහත බැසීමට එක පැත්තකින් ඉඩ ඇත. අනික් පැත්තෙන් තේ ප‍්‍රති අපනයනය කරන ව්‍යාපාරිකයන් පිට රටින් එන බාල තේවල අඩු මිල ප‍්‍රයෝජනයට ගනිමින් මෙරට තේ කර්මාන්තකරුවන්ගේ තේ කොළ බාල්දු කර මිලට ගැනීමට පටන් ගන්නවා ඇත.

 තේ කොළ කර්මාන්තය හැමදාමත් අර්බුදයට ලක්වූ කර්මාන්තයකි. මෙයට අවුරුදු පනහකට පෙර කසළ තේ යනු වෙනම සංකල්පයකි. ඒ මෙසේය. ලංකාවේ ප‍්‍රධාන පාරවල් දෙපැත්තේ එකල විශාල වශයෙන් ආපනශාලා තිබිණ. මෙවැනි ආපනශාලාවල දිනකට තේ කිලෝ පහක් හෝ දහයක් පරිහරණය කරනු ලැබේ. තේ වත්කොට ඉවත්කරන තේ රොඩු හෝටල් වත්තේ වැසිකිළිය අසල හෝ ගහක් යට

 ගොඩගසනු ලැබේ. දුරගමන් යන බස්වලින් බැස තේ බීමට ආපන ශාලාවට එන මිනිස්සු බුලත් කෙල ගහන්නේ මේ කසළ තේ ගොඩටය. සමහරවිට, වැසිකිළියට තවත් අඩි කිහිපයක් තිබෙන බැවින් එහි නොයා වටපිට බලා මේ මිනිස්සු කසළ තේ ගොඩට මුත‍්‍රා කරති. මේ තේ රොඩු ගොඩ වැස්සට තෙමී අව්වට වේලී මාස හතරක් පහක් තුළ මනුෂ්‍යයකුගේ උසට උස යයි. මාස හයකට විතර සැරයක් හෝටලේට එන ලොරියක් මේ කසළ තේ ගොඩ එහි පටවාගෙන කොළඹ ගෙනයනු ලැබේ. ඉන්පසු ඒ කසළ තේ වෙනත් බාල තේ කොළ සමග මිශ‍්‍රකොට ඩයි දමා පැකට් කර විකුණනු ලැබේ. මෙය වරදකරුවන් හිරේ දමන කාරණයකි. Food Adulteration යනුවෙන් මෙයට කියනු ලැබේ. මෙයට අවුරුදු පනහකට හෝ අවුරුදු හතළිහකට පෙර හෝටල් ළඟ තිබූ ඒ කසළ තේ ගොඩ ගැන එක්කෝ දැන් ඔබට මතක නැත; නැත්නම් ඒ දවස්වල ඔබ ඉපදිලා නැත. එහෙත් මේ වැකිය කියවීමෙන් පසු හෝටල් වත්තේ එකී කසළ ගොඩ තිබූ තැන සෙවීමටත් මිනිසුන් එයට බුලත් කෙල ගසන සහ මුත‍්‍රා කරනු දැකීමටත් ඔබේ මනස උත්සාහ කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment