ප්‍රමිතියේ අවුල නිසා ගෑස් එක්කම පුපුරණ ආණ්ඩුව

191

දැනට මරණ 02යි, පිපිරීම්වලට හේතුව ප‍්‍රමිතියේ වෙනසද?

ජනතාව ඇන්දවූ ලීටර් 18 ලිට්‍රෝ මගඩිය

වරද ගෑස් පාරිභෝගික ජනතාවගේද?

මාස 08කට පෙර අනතුර හෙළිවීත් ආණ්ඩුව නිහඬවූයේ ඇයි?

හැටනව ලක්‍ෂයක ජනතාවක් විසින් තුනෙන් දෙකක බලයක් ලබා දී තිබියදීත් අන්දමන්ද ආකාරයෙන් සිදුවන රාජ්‍ය පාලනයක් හමුවේ රට වැසියන් මුහුණ දෙන දුක්ඛ දෝමනස්සයන්ගේ අවසානයක් පෙනෙන තෙක් මානයකවත් දකින්නට නැත.

ඒ කිසිත් වෙනුවෙන් නිසි වගවීමක් දරන්නට හැකි කොඳු සහිත මැති ඇමැතීන්ද අද ආණ්ඩුවේ නැත. ජනතාවට සිදුව ඇත්තේ හිස් සිතුවිලි මත පාවෙමින් සිදුවූයේ කුමක්දැයි කල්පනා කරන්නටය. ආණ්ඩුවේ මෙකී අන්දමන්ද බව පෙන්වා දීමට ඇති එක් හොඳ උදාහරණයක් වන්නේ මේ දිනවල රට පුරා සිදුවන ගෑස් පිපිරීම්ය. ගෑස් පුපුරයි. ඇතැම් අවස්ථාවල ජනතාව දුක් මහන්සියෙන් ගොඩන`ගා ගත් නිවාස පවා ගිනිබත් වෙයි. කාලය මාස දෙකක්ම ඉක්ම ගොස් ඇත. ව්‍යසනය බරපතළය. එහෙත් අඩුම තරමේ මේ සිදුවන්නේ කුමක්දැයි රට ඉදිරියට පැමිණ පැහැදිලිව කියන්නටවත් කෙනකු නැත.

දරුවන් සිව් දෙනකුට මව් සෙනෙහසත් සැමියකුට බිරිඳකුත් අහිමි කෙරෙමින් නිවසේ බත පිසිමින් සිටි තරුණ මවක් පිළිස්සී මිය යනතුරුත් ගෑස් ප‍්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු ආණ්ඩුවේ එව්වෝ කරකවා අතහැරියාක් මෙන් මඤ්ඤං දොඩවමින් සිටියහ. එය
ගෑස් නිසා සිදුවූ එකම මරණයද? නැත. මේ වන විට මරණයට පත්වූ ගණන දෙදෙනෙකි. මෙහිදී ගෑස් ප‍්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු අය ලෙස අප හඳුන්වන්නේ කවුරුන්ද? ඉන් එක් අයකු වන්නේ රටේ වෙළෙඳ ඇමැතිවරයාය. පාරිභෝගික සේවා රාජ්‍ය ඇමැතිවරයා තවත් අයෙකි. ඊළඟ පාර්ශ්වය ගෑස් සමාගම් සභාපතිවරුය. එසේම මහජන මුදලින් යැපෙන ප‍්‍රමිති කාර්යාංශයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ ලොකු මහත්වරුන්ටද ඒ වගකීමේන් ගැලවී යෑමට නොහැකිය. එකී ආයතන භාර ඇමැතිවරුන් ගැන කියන්නට ඇත්තේද ඒ ටිකය.

ගෑස් පිළිබඳ රටේ ජනතාවට මුලින්ම ගැටලූවක් මතු වූයේ මේ වර්ෂය මුල් කාර්තුවේදී පමණය. රාජ්‍ය ආයතනයක් ලෙස සිටිමින් රටේ ජනතාව මහ දවාලේ ගොනාට ඇන්දවූ ලිට්‍රෝ ගෑස් සමාගම කළ උප්පරවැට්ටියක් එයට හේතු විය. කාලාන්තරයක සිට මෙරට ගෑස් සිලින්ඩර අලෙවි කිරීම සිදුවූයේ කිලෝග‍්‍රෑම් 12.5 බරකින් යුතුවය. එහෙත් එයට දෙකයි පනහේ ආරෝපණයක් දුන් ලිට්‍රෝ සමාගම කිලෝග‍්‍රෑම් 12.5 ක් වූ ගෑස් සිලින්ඩරය ලීටර් 18 බවට පත් කරමින් අලෙවි කිරීම ඇරඹීය.

  • ලීටර් 18 නව නිෂ්පාදනය

පාරිභෝගික සේවා ඇමැති ලසන්ත අලගියවන්න මහතාට අනුව නම් පරණ සිලින්ඩරේ යොදාගෙන ලිට්‍රෝ සමාගම මෙහිදී කර ඇත්තේ නව නිෂ්පාදනයක් එළි දැක්වීමකි. එනිසා මුලදී එයට එරෙහි වීමේ හැකියාවක් නොතිබූ බවද ඇමැතිවරයා කියයි. ගැටලූව නෛතික ප‍්‍රතිපාදන නොමැති වීමය. ඒ කතාවද නරකම නැත. ලිට්‍රෝ සමාගම මෙසේ රටේ ජනතාවට වංගුවක් දැම්මද මුලදී ඒ පිළිබඳ විශේෂ ගැටලූවක් කාටවත් නොතිබිණි. ගැටලූව මතුවූයේ කිලෝග‍්‍රෑම් 12.5 සිලින්ඩරය මෙන් ලීටර් 18 සිලින්ඩරය කාලයක් භාවිත කිරීමට නොහැකි බව ජනතාවට වැටහී යෑමත් සමගිනි.

මෙහිදී නැගුණු ජනතා මැසිවිලි හමුවේ පාරිභෝගික සේවා අධිකාරියේද මැදිහත් වීම මත එකී කූට වැඩපිළිවෙළ අතහැර දමන්නට අවසානයේ ලිට්‍රෝ ගෑස් සමාගමට සිදුවිය. ලිට්‍රෝ සමාගම එසේ ලීටර් 18 ගෑස් මගඩිය අවසන් කළද ඒ අතරවාරයේ රටපුරා ගෑස් හිඟයක්ද ඇතිවී තිබිණි. නිවසේ ළිප දල්වා ගැනීමට ගෑස් සොයා ගනු පිණිස මිනිස්සු සිලින්ඩර කර තබාගෙන රට වටේ යන්නට වූහ. එහෙත් කිසි තැනක ගෑස් තිබුණේ නැත. සමාගම් කීවේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති නිසා මෙරට මිල ගණන්වලට ගෑස් අලෙවි කළ නොහැකි බවය. එකී ප‍්‍රධාන කතාවට අමතරව රට තුළ පවතින ඩොලර් හිඟයද ගැටලූවක් බව ඔවුහු කියන්නට වූහ.

ලිට්‍රෝ සමාගමේ ලීටර් 18 ගෑස් මගඩියේ කතාව එසේ වෙද්දී රට තුළ පැවති ගෑස් හිඟය හමුවේ ආණ්ඩුවට එරෙහිව නැගුණු ජනතා අවලාද ද බොහෝ වූහ. මේ තත්ත්වය තුළ අවසානයේ වත්මන් රජයේ සුප‍්‍රකට ගැසට් රිවස් ක‍්‍රමවේදයට අනුව ගෑස් මිල පාලනය සඳහා නිකුත් කර තිබූ ගැසට් පත‍්‍රයද රිවස් කළ ආණ්ඩුව ගෑස් මිල ඉහළ නැංවීමට ගෑස් සමගම්වලට මඟ විවර කර දුන්නේය.

ඒ අවස්ථාවේ පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සඳහා සාධාරණ මිලක් යෝජනා කරනු ලැබුවද සමාගම් ඊට අවනත වූයේ නැත. ඔවුහු හිතුමතේ මිල ඉහළ නංවනු ලැබූහ. එහිදී ද දැඩි ලෙස පීඩනයට ලක් වූයේ රටේ ජනතාවටය. කෙසේ වෙතත් එතැන් සිට රට තුළ පැවති ගෑස් හිඟය තරමක් මඟහැරී ගියේය. අප මෙහිදී තරමක් දුරට යැයි සඳහන් කරනු ලැබුවේ ඉන් පසුවද වරින් වර ගෑස් හිඟයක් රට තුළ පැවති හෙයිනි. එහිදී ලිට්‍රෝ සමාගම කීවේ ලාෆ්ස් සමාගම ගෑස් වෙළෙඳ පොළෙන් ඉවත් වීම නිසා ඉහළ ගිය ඉල්ලූම හමුවේ අතිරේක බරකට උර දීමට සිදුවීම එකී තත්ත්වයට හේතු වූ බවය.

  • මාරක කතාවේ ආරම්භය
ප්‍රමිතියේ අවුල නිසා ගෑස් එක්කම පුපුරණ ආණ්ඩුව

කෙසේ වෙතත් මේ අන්දමට පැවති ගෑස් හිඟය ක‍්‍රමයෙන් මඟහැරී ගියේ රට පුරා අස්සක් මුල්ලක් නෑර පැතිර තිබූ මාතෘකාවක් වූ ගෑස් කතාවද නිමා කෙරෙමිනි. එහෙත් එය ඉතා කෙටි කාලයකට සීමා වූවක් විය. තුනෙන් දෙකක බලයක් තිබියදීත් අන්දමන්ද වී පයිත්තියන් කරන ආණ්ඩුවක් හමුවේ මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකට මායිම් නොකර මුදල වෙනුවෙන්ම කි‍්‍රයාත්මක වූ නරුම සමාගම් නිසා ගෑස් පිළිබඳ මාරාන්තික කතාව මතුවන්නේ ඉන් අනතුරුවය.

රටටම දැනෙන ලෙසින් එය ඉස්මතු වූයේ ඉකුත් නොවැම්බර් මාසයේ ආරම්භයත් සමගිනි. රට පුරා තැනින් තැන ගෑස් පිපිරීම් සිදුවන්නට විය. නොවැම්බර් පළමු වැනිදා සිට දෙසැම්බර් 15 වැනිදා දක්වා වූ ගෙවී ගිය දින හතළිස්පහක කාලය තුළ පමණක් එසේ සිදුවූ ගෑස් පිපිරීම් සංඛ්‍යාව 752 වී තිබිණි. ඉන් එහාට මේ සටහන තබන මොහොත දක්වා සිදුවූ ඒවාද මෙයට එකතු විය යුතුය. මෙහිදී සියයට අනූවක්ම පිපිරී ගොස් තිබුණේ ජනතාව තම නිවසේ ආහාර වේල සකසා ගත් ගෑස් ළිප හෙවත් උදුන්ය. මේ කතාවේ මාරාන්තික බව පෙන්වා දීමට ඉන් එහා තවත් දෙයක් නැත.

මේ රටේ සංස්කෘතියට අනුව නිවසේ ළිපේ බොහොදුරට කටයුතු කරන්නේ නිවසේ ගෘහනිය ය. නැතිනම් දරුවන්ගේ අම්මාය. මෙහිදී බලධාරින් නිදා වැටෙද්දී දරුණුම තර්ජනය එල්ල වූයේ ගෙදර බුදුන් වූ ඇයටය. එහෙත් ජනතාව දුක් මහින්සියෙන් උපයා සපයා ගත් දෙයින් මිලදී ගනු ලැබූ ගෙදර ළිප එසේ පිපිරී යද්දී සහ ඒ පිපිරීම්වලින් මව්වරුන් තුවාල ලබද්දීත් මේ මොහොත දක්වාම එයට විසඳුමක් දෙන්නට කිසිවකුටත් නොහැකි වී ඇත. එය මොනතරම් අසමත් කමක්ද? මේ අසමත්කම හමුවේ රටේ මිනිසුන් කියන්නට වූයේ මෙවන් ආණ්ඩුවක් ඉතිහාසයේවත් නොතිබුණේ යැයි කියාය. එසේ කී පිරිස අතර හැටනව ලක්‍ෂයේ අයද බොහෝ වූහ. අප ඒ පෙන්වා දීම මෙහිදී කරනුයේ මහපොළොවේ ඇත්ත ආණ්ඩුවට නොවැටහෙන්නේ නම් දැන්වත් එය වටහා ගන්නටය.

මේ අන්දමට රට පුරා ගෑස් පිපිරීම් වාර්තා වෙද්දී ජනතාවගේ ජීවිත පිළිබඳ වගේ වගක් නොමැති සේ නන් දොඩවන්නට වූ ඇතැම් මැති ඇමැතින් ඇතුළු වගකිව යුතු පාර්ශ්ව මුලදී සිදු කරනු ලැබුවේ අරය මෙයාට, මෙයා අරයට ආදී වශයෙන් එකිනෙකා දෙසට හැරී බෝල පාස් කිරීම විය. අවසානයේ එය පාර්ලිමේන්තුවේද මාතෘකාවක් බවට පත් වන දක්වා දුරදිග ගියේය. එහිදී විපක්‍ෂය විසින් ආණ්ඩුවේ සළුපිළි හතර අතට උනා දමමින් මහ දවල් ආණ්ඩුව නිරුවත් කරද්දීත් තිස්ස කුට්ටිආරච්චි වැනි මහාචාර්ය වෙස්ගත් ඇතැම් මන්තීවරු කළේ ඒ නිරුවත වීඩියෝගත කරන්නාක් වැනි තුට්ටු දෙකේ වැඩය.

  • නීතියෙන් බේරීම

අවසානයේ එකී කෙරුවාවල් මාධ්‍යවලින් පළ කෙරෙද්දී බරපතළ ලෙස සමාජගත වූයේද සළුපිළි ලිහී ගිය ආණ්ඩුවේ නිරුවතමය. අදටත් ඉන් එහා සිදුවූ දෙයක් නැත.ගෑස් පිපිරීම් හමුවේ ආණ්ඩුවේ හැසිරීම මෙසේ වෙද්දී සියල්ලට මුල්වූ ගෑස් සමාගම්කාරයෝ කියන්නට වූයේ කුමක්ද? ඔවුන් කළේ ප‍්‍රශ්නයට හේතුව ප‍්‍රමිතියෙන් තොර ගෑස් ළිප් සහ යල්පැනගිය
රෙගියුලේටර් බව පවසමින් මරණයේ වගකීම ජනතාව පිට පැටවීමට නින්දිත ලෙස කටයුතු කිරීමය.

රටේ දුප්පත් ජනතාව රජ සැප විඳින්නට නොව වෙහෙසකින් තොරව කඩිනමින් සිය අහර වේල සකසා ගනු පිණිස අතේ වූ තුට්ටු දෙක වැය කර මිලදී ගෑස් ළිපට සාමාගම් කාරයන් එසේ දෙස් දෙවොල් තබද්දී කිසිදු පිළිසරණක් නැතැයි යන හැඟීම සිරුර පුරාවට විහිදී ගිය මිනිස්සු තව තවත් අසරණ වූහ.

ගෑස් සමාගම්කාරයෝ මෙහිදී සෑම අවස්ථාවකම බැලූවේ සාධාරණය සහ මනුෂ්‍යත්වය පිළිබඳව නොව මුදල ගැන පමණක්ම වූහ. එනිසා ගෑස් ටැංකි පිපිරීමක් සිදුව නැතැයි කී ඔවුහු වගකීම අපේ නොවේ යැයි කියන තරමට අන්තිම පහත් අලජ්ජී තත්ත්වයකට ඇද වැටී සිටියහ. සෑම අවස්ථාවකම ඔවුන් සිටියේ නීතියේ රාමුවෙන් සහ වගකීමෙන් ගැලවී යන්නේ කෙසේදැයි යනුවෙන් උපක‍්‍රම සොයමිනි. ගෑස් පිපිරීම් හමුවේ තමන්ගේ සේසත දැවී හළුවී ගිය මිනිසුන් වේදනාවෙන් හ`ඩා වැටෙද්දීත් සියල්ල සිදු වෙමින් තිබුණේ ඒ අන්දමටය. අවසානයේ විසඳුමක් නොමැතිවම දිනකට රට තුළ සිදුවන ගෑස් පිපිරීම් ප‍්‍රමාණය 50-60 දක්වා ඉහළ යමින් අතිශය භයානක තැනකට එය ඇදී ගියේය. මේ මාරාන්තික කතාව පිළිබඳ ආණ්ඩුවේ ඇස් විවිර වූයේ එහිදීය. ඇතැමුන් දඩිබිඩ ගා වැඩ කරන්නට විය. මාරයා ගැන සොයන්නට කමිටු පත් කෙරිණි. රට තුළ ඇති ගෑස්වල සාම්පල ගෙන කෙරෙන පරීක්‍ෂණද ආරම්භ විය. එහෙත් මේ මොහොත දක්වාමත් රට ඉදිරියේ ඵලය තිබුණද එයට හේතුව කුමක්දැයි හෙළිදරව් කර නැත.

  • නොකෙරුණු නියාමනය

එය නිල වශයෙන් සිදු කිරීමේ වගකීමක් ආණ්ඩුවට ඇතත් සියල්ලන් සිටිනුයේ මුනිවත රකිමිනි. ජනතාව සිදුවූයේ කුමක්දැයි ඇත්ත දැනගැනීමේ පිපාසාවෙන් සිටිති. මීට දෙසතියකට පෙර පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට සහභාගි වූ පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා මෙම ගෑස් පිපිරීම් පිළිබඳ අදහස් දක්වමින් කීවේ මෙතෙක් කාලයකට මෙරට ගෑස් පිළිබඳ කිසිදු නියාමනයක් තිබී නැති බවය. එය සුපිරිම කතාවකි. එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කීවේ රට කරවූ සියලූ ආණ්ඩු ඒ පිළිබඳව ලැජ්ජා විය යුතු බවය. එහෙත් මෙහිදී ඇමැතිවරයාට එක් දෙයක් නම් අමතක විය. ඒ මේ රටේ දේශපාලකයන්ට ලැජ්ජාව සහ බය කියන දෙකම නැතැයි යන්නය.

දේශපාලකයන්ට ලැජ්ජා බය තිබුණේ නම් මේ රටට මෙවැනි ඛේදනීය ඉරණමක් අත්වන්නේද නැත. ලැජ්ජාවක් බයක් මෙන්ම මනුෂ්‍යත්වය පිළිබඳ අල්ප මාත‍්‍ර හැඟීමක්වත් දේශපාලකයන්ට තිබුණේ නම් ජනතාවගේ ජීවිත අවදානමට වැටෙන මෙවන් ව්‍යසනයකදී මුලින්ම සිදුවිය යුත්තේ කුමක්ද?

එසේ වූයේ නම් පළමුව සිදු කළ යුතුව තිබුණේ වෙළෙඳ පොළේ සහ පාරිභෝගික ජනතාව සතුව ඇති පිපිරීමට හේතුවන ප‍්‍රශ්නකාරී ගෑස් තොග වහාම ඉවත් කර ගන්නා ලෙස ගෑස් සමාගම් වෙත ඍජු නියෝගයක් නිකුත් කිරීමය. රටක ජනතාව ඡන්දය දී ආණ්ඩුවක් පත් කර ගනු ලබන්නේ ඒ රජය තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් උපරිමය කරනු ඇතැයි යන පරම වීශ්වාසයක් සිත්හි තබාගෙනය. සහරාන් හෂීම්ගේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් පසු මේ රටේ ජනතාව තුනෙන් දෙකක උපරිම බලයක් ලබාදී වත්මන් රජය බලයට පත්කර ගනු ලබන්නේද එදා යහපාලනයට එකී ජනතා විශ්වාසය රැකගත නොහැකිව එය අමු අමුවේම බිඳ වැටුණු නිසාය. නිවැරදිව සස`දා බැලූවහොත් අද ගෑස් පිපිරීම් හමුවේ වත්මන් ආණ්ඩුව කටයුතු කරනුයේත් එදා පාස්කු ඉරිදා ප‍්‍රහාරය හමුවේ යහපාලනය කි‍්‍රයා කළ ආකාරයටම නොවේද?

කැබිනට් මාධ්‍ය හමුවට එක්වූ ලසන්ත අලගියවන්න ඇමැති එහිදී කී තවත් කතාවක් වූයේ මෙතැන් පටන් මෙරටට ගෑස් ආනයනය කිරීමේදී අදාළ නෞකා වරායට පැමිණි පසු එම නෞකා වෙතට යන විශේෂඥයන් සාම්පල ලබාගෙන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ප‍්‍රමිතියෙන් යුතු ගෑස් තොග පමණක් ගොඩ බාන්නට අවසර දෙන්නේ යැයි යන්නය. ඇමැතිවරයා කී ලෙසම ලිට්‍රෝ සමාගම මගින් ආනයනය කරනු ලැබූ ගෑස් තොග සහිත නැව් දෙකක ඇති ගෑස් පරීක්‍ෂා කිරීමෙන් පසු ඒවා ප‍්‍රමිතියෙන් තොර බවට දැන් අනාවරණය වී ඇත. එහෙයින් එම ගෑස් තොග ගොඩබෑම සඳහා අවසර නොදීමටද අදාළ අංශ පියවර ගෙන ඇත. නැව් දෙකේම ඇති ගෑස් ප‍්‍රමිතියෙන් තොරය. එහෙත් ඒ නෞකා මෙරටින් යන්නේද නැත. ඒවා තවම කොළඹ වරායේ ඇත. මෙතරම් ගිනි ගෙඩියක් රටේ සහ ආණ්ඩුවේ හිස මත පතිත වී තිබියදීත් ලිට්‍රෝ සමාගම මේ අන්දමට හැසිරෙන්නේ කාගේ වුවමනාවකටද?

මෙරට ගෑස් වෙළෙඳාම පිළිබඳව වංගු සහිත රහසිගත වැඩ පිළිවෙළක් තිරය පිටුපස කි‍්‍රයාත්මක වෙමින් තිබීම නිසා කිසියම් අදිසි හස්තයක බලපෑම ලිට්‍රෝ සමාගමට එල්ල වී තිබීම එයට හේතු වී තිබේද? එසේ නොමැති නම් තවදුරටත් මේ ආකාරයට කටයුතු සිදුවන්නේ ගෑස්කාරයන්ගේ මොළේ අවුල්වී තිබෙන නිසාද? ආණ්ඩුවේ හැසිරීම දෙස බැලීමේදී දැන් මේවාද ජනතාවට මතුවන බරපතළ ප‍්‍රශ්න වී හමාරය. සැබවින්ම මෙරට ගෑස් පිපිරීම්වලට හේතු වූයේ කුමක්ද? ඒ පිළිබඳ අපූරු පැහැදිලි කිරීමක් රටට කරනු ලැබුවේ පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසිනි.

  • පිපිරීම්වලට හේතුව

ඔහුට අනුව මේ අනතුර මුලින්ම හෙතෙම රජයේ වගකිවයුත්තන්ට පෙන්වා දෙනුයේ ඉකුත් අපේ‍්‍රල් මාසයේදීය. ඒ වන විට ලිට්‍රෝ සමාගමේ ලීටර් 18 ගෑස් මගඩිය රට තුළ කි‍්‍රයාත්මක වෙමින් තිිබිණි. එහිදී අදාළ ලීටර් 18 ගෑස් සිලින්ඩරවල තිබූ ගෑස් තොගවල දැඩි පීඩනයක් පවතින බව තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇති කරුණය. එකී පෙන්වා දීමේදී මෙම ගෑස් නිසා පිපිරීම් ඇතිවිය හැකි බවද ඔහු අදාළ බලධාරීන්ට ලිඛිතවම දැනුම් දී ඇත. එසේ නම් මේ සිදුව ඇත්තේ ආණ්ඩුව දැන දැනම ජනතාවට මුහුණ දෙන්නට සිදුවූ ව්‍යසනයක් නොවේද? මෙවැන්නක් වත්මන් ආණුඩුව තුළින් මේ රටේ මිනිස්සු කිසිසේත්ම බලාපොරොත්තු නොවූහ. ජනතාව බලාපොරොත්තු නොවන දේ මේ අන්දමට සිදු වෙද්දී ඉන් පසුව ආණ්ඩුවට සිදුවන දේද දැන් දැන් ටිකෙන් ටික රටටම පැහැදිලි වෙමින් ඇත. හාස්‍යයට කරුණ වන්නේ ආණ්ඩුවට ඒ ටිකවත් නොවැටහීමය.

තුෂාන් ගුණවර්ධන මහතා කී කතාවට පිළිතුරු දෙමින් පාරිභෝගික සේවා රාජ්‍ය ඇමැති කියන්නේ ලිට්‍රෝ සමාගමේ ලීටර් 18 ගෑස් මගඩිය අවස්ථාවේ අවශ්‍ය නිසි කි‍්‍රයාමාර්ග ගනිමින් එම ගෑස් තොග සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කළේ යැයි යන්නය. එසේ ගෑස් තොග වෙළෙඳ පොළෙන් ඉවත් කළද ඒවාට ඉන් පසුව සිදු කළේ කුමක්දැයි ඇමැතිවරයා හෙළි කරන්නේ නැත. පැහැදිලිවම ලිට්‍රෝ සමාගම ලීටර් 18 ගෑස් මගඩිය සිදු කරනු ලැබුවේ ලාභය පමණක්ම බලාපොරොත්තුවෙනි. එය හකුලා ගැනීමට සිදුවීම හමුවේ වෙනත් විකල්පයක් වෙත ගමන් කිරීමට ඔවුන් කටයුතු නොකළේ යැයි කිසිවකුටත් කිව නොහැකිය.

එහිදී ඔවුන් විකල්පය ලෙස තෝරා ගනු ලැබුවේ ගෑස්වල සංයුතියේ වෙනසක් ඇති කිරීමය. ගෑස් පිපිරීම් ප‍්‍රශ්නය ඔඩුදුවා යද්දී ලිට්‍රෝ සමාගමේ සේවකයකුම මාධ්‍ය ඉදිරියේදී අත්හදා බැලීමක් ලෙස ගෑස් සංයුතියේ වෙනසක් සිදු කළ බව සඳහන් කළේය. එසේ නම් රටම අවුලෙන් අවුලට පත් කරමින් මේ පුපුරා යමින් තිබෙන්නේ එසේ සංයුතිය වෙනස් කළ ප‍්‍රමිතියෙන් තොර අධික පිඩනයක් සහිත ගෑස්ද? මේ විමසීමට අද පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා කියන්නේ අපේ ප‍්‍රමිති කාර්යාංශයට ගෑස් ප‍්‍රමිතිය පිළිබඳවද නිර්ණායකයක් නොතිබූ බවය. එහෙත් ඇතිවූ තත්ත්වයත් සමඟ වහාම විශේෂඥ කමිටුවක් මගින් ගෑස් පිළිබඳ ප‍්‍රමිතියක් ඇති කිරීමට කටයුතු කළ බවද ඇමැතිවරයා පැවසීය. ඒ පියවර ඉතා හොඳ එකකි. එසේම එකී විශේෂඥ කමිටුව ලවා අද හෙටම ආණ්ඩුවේ ප‍්‍රමිතියත් පරීක්‍ෂා කිරීමට කිසිවකු හෝ පියවර ගන්නේ නම් ගෑස් ප‍්‍රමිතියටත් වඩා එය ඉතාම වැදගත් වන බව අපේ හැඟීමය. මොකද හැටනව ලක්‍ෂයක් දෙනා එක්ව දසවසරකට කල් ඉකුත් නොවන ලෙස නිෂ්පාදනය කළ, මේ ආණ්ඩුවද දැන් නිෂ්පාදන දෝෂයක් හෝ වෙනත් අටමගලයක් නිසා තව ටික කලකින්ම එක්ස්පයර් වනු ඇතැයි පෙනෙන්නට තිබෙන නිසාය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment