ප්‍රී ෂූට් අස්සේ අමුතු ෂූට් එකක් කරන්න ගිය ඡායාරූප ශිල්පියා…

1390

මනමාලිගෙනුත් අමතක නොවන ගුටි පූජාවක්…

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පදිංචි මලීෂ ගිම්හාන දක්ෂ වෘත්තීය විවාහ මංගල ඡායාරූපශිල්පියෙකි. එම දක්ෂතාවය නිසා විවාහ මංගල උත්සවවල ඡායාරූප ගැනීම සඳහා ප‍්‍රදේශයේ පමණක් නොව පළාතේම ඔහුට විශාල ඉල්ලූමක් තිබුණි. ඒ සඳහා සහාය වීමට ගෝලයන් කිහිප කිහිප දෙනකු ද සිටියේය. එයින් චමත් මධුසංඛ ඔහුගේ ප‍්‍රධාන ගෝලයා විය.

මාස කිහිපයකට ඉහතදී මලීෂට දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි වරුණ ගුණවර්ධන නමැති තරුණයකුගෙන්ය. එම තරුණයා ඔහුට මෙලෙස පැවසුවේය.

‘‘අයියේ මම වරුණ. අපේ වෙඩින් එක තියෙනවා දෙසැම්බර් මාසයේ. අයියට පුළුවන්ද අපේ වෙඩින් එක කවර් කරලා දෙන්න.”

‘‘බලමු මට මුලින්ම දිනය කියන්න තව බුකින් තියෙනවද දන්නේ නැහැ.”

‘‘දිනය දෙසැම්බර් 19ය.”

‘‘දෙසැම්බර් 19 නම් ප‍්‍රශ්නයක් නැහැ.”

‘‘අයියේ අපි කොහොමද ගණන් මිණුම් කතාකර ගන්නේ”.

‘‘මට කෝල් එකක් දීලා දෙන්නත් එක්ක එන්න. එදාට අපි සේරම කතා කරගමු.”

‘‘හරි අපි ඉක්මනටම එන්නම්.”

එලෙස ඇමතුම ලබා දී දින කිහිපයකට පසු වරුණ තම මනාලිය වන සුගන්දි පෙරේරා සමග මලීෂ මුණගැසීමට ගියේය. එලෙස ගිය ඔවුන් විවාහ උත්සවයේ ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම සහ අයකරගන්නා මුදල් ආදි සියලූ දේ ගැන මලිෂ සමඟ කතාබහ කර ගත්තේය. විවාහ උත්සවයට පෙර ඡායාරූප ගැනීම නොහොත් එක ප‍්‍රී ෂූට් එක සඳහා ද දිනයක් ඔහුන් එදිනම වෙන් කර ගත්තේය.

ප්‍රී ෂූට් අස්සේ අමුතු ෂූට් එකක් කරන්න ගිය ඡායාරූප ශිල්පියා…

විවාහයට පෙර ඡායාරූප ගැනීමට යොදාගෙන තිබූ දිනය උදාවිය. ඒ සඳහා පෙර කතා කරගත් පරිදි බස්නාහිර පළාතේ එක්තරා ප‍්‍රසිද්ධ උද්‍යානයක් තෝරාගෙන තිබුණි. විවාහ වීමට නියමිත යුවළ, ඡායාරූප ශිල්පියා සහ ඔවුන්ගේ ගෝලබාලයන්ද අදාළ ස්ථානය වෙත නියමිත වෙලාවට පැමිණියහ.

ඡායාරූප ශිල්පියා විවිධ ඉරියව්වලින්, විවිධ ස්ථානවල, විවිධ ඇඳුම්වලින් සිටිනසේ පවසමින් එම යුවළගේ ඡායාරූප ලබා ගත්තේය. ඔහුට වුවමනා වී තිබුණේ තම සේවාදායකයාගේ සිත සතුටු වන ආකාරයේ ඡායාරූප කිහිපයක් ලබා ගැනීමයි. ඒ සඳහා ඔහු සහ ගෝලයන් ඉතාමත් මහන්සිවී වැඩ කළේය.

අවසන් අදියර වී තිබුණේ ඉතාමත් කොට ගවුමකින් සරසා එම තරුණියගේ ඡායාරූප කිහිපයක් ලබා ගැනීමයි. එම අවස්ථාවේදී ප‍්‍රධාන ඡායාරූප ශිල්පියාට වඩා උනන්දුවක් ඇතිවී තිබුණේ ඔහුගේ ප‍්‍රධාන ගෝලයා වන චමත්ටයි. එලෙස කෙටි ගවුමකින් සැරසී පින්තූර ලබා ගන්නා අවස්ථාවේ චමත් පසෙක සිට තම ජංගම දුරකථනයෙන්ද ඇයගේ පින්තූර ලබා ගත්තේය.

එලෙස පින්තූර ලබා ගන්නා අතරතුර තරුණිය එක්වරම චමත්ට පහරවල් කිහිපයක් එල්ල කළේ එම ස්ථානයේ සිටි සියලූ දෙනාම පුදුම කරවමින්ය. සිදුවූයේ කුමක්ද කියා කිසිවකුටත් එක් වරම සිතා ගැනීමට නොහැකි විය. ඒ සමගම ඇය වරුණට මෙලෙස පැවසුවාය.

‘‘බලන්න මේ තිරිසනා කරපු දේ.”

‘‘ඇයි මොකක්ද වුණේ”

‘‘මේ මිනිහා හෙමිහිට මගේ ඇඟේ අනවශ්‍ය තැන්වලත් පින්තූර ගත්තා. බොරු නම් ෆෝන් එක බලන්න.”

වරුණ වහාම චමත්ගේ ජංගම දුරකථනය උදුරාගෙන එය පරීක්ෂා කළේය. එහිදී ඔහුට දැක ගන්නට ලැබුණේ චමත් තම බිරිඳගේ ශරීරයේ රහස් ප‍්‍රදේශ ඉතා සූක්ෂම ආකාරයට ඡායාරූපගත කර ඇති බවයි. එයින් කුපිත වූ වරුණද චමත්ට පහරවල් කීපයක් එල්ල කරමින් ප‍්‍රධාන ඡායාරූප ශිල්පියා වන මලීෂට කෝපයෙන් යුතුව මෙලෙස පැවසුවේය.

‘‘බලනවා තමුසෙලා ප‍්‍රී ෂූට් කරනවා කියලා මේ වගේ බලූ වැඩ ද කරන්නේ. මම මේක මෙතනින් අතහරින්නේ නැහැ.”

‘‘මල්ලි කලබල වෙන්න එපා.”

‘‘කලබල නොවී කොහොමද? මේ වගේ තර්ඞ් ක්ලාස් වැඩ කරනකොට.”

‘‘මම පිළිගන්නවා වරද අපේ කෙනාගේ. හැබැයි මම මෙහෙම පින්තූර ගන්න කියලා නෑහැ.”

‘‘ඒකෙන් මට වැඩක් නැහැ. කොහොමහරි දැන් අරන්නේ. මේ බලන්න ෆෝන් එක දිහා.”

එලෙස පැවසූ වරුණ චමත්ගේ ජංගම දුරකථනය ඇති පින්තූර මලීෂට පෙන්නුවේය. එලෙස බලන අතර චමත් තවත් තරුණියන් කිහිප දෙනකුගේම එවැනි පින්තූර ලබාගෙන තිබුණි. එය දුටු මලීෂටද කේන්ති ගියේය. ඒ අනුව ඔහු මොකක්ද යකෝ මගේ ළඟ ඉඳන් කරලා තියෙන බලූ වැඩ” යැයි පවසමින් චමත්ට තවත් පහරවල් කිහිපයක් එල්ල කළේය.

‘‘අනේ මල්ලි දෙන්නම සමාවෙන්න මේ කාලකණ්ණියා කරලා තියෙන්නේ බලූ වැඬේට.”

‘‘එහෙම සමාව දෙන්න පුළුවන් වැඩක් ද මේක. මේ වගේ පින්තූර අරන් මොනවා කරනවද කියලා අපි දන්නේ නැහැ. වෙලාවට බිරිඳ දැක්කේ. නැත්නම් මොනවා වෙනවද ගැන අපි දන්නේ නැහැ.”

‘‘ඔවු මල්ලි ඔයා කියන කතාව ඇත්ත. අපි මේක ගොඩින් බේර ගමු.”

‘‘එහෙම ගොඩින් බේරන්න බැහැ. මම නීතිමය කටයුතු කරනවා.”

‘‘අනේ මල්ලි දෙන්න එක්ක දසදහස් වාරයක් සමා වෙන්න. මම දැනගෙන කරපු වැඩක් නෙවෙයි මේක.”

‘‘ඒක අපිට අදාළ නැහැ. මේ වගේ මිනිස්සුන්ට ආයෙ මේ වගේ වැඩ නොකරන්න පාඩමක් උගන්නන්න ඕනා.”

‘‘මම පොරොන්දු වෙන්නම් ආයි කවදාවත් මගේ ළඟ වැඩට මේ වගේ අය ගන්නේ නැහැ. මම අදම මූව එළවලා දානවා. මේක පිට අය දැනගත්තොත් මට ආයි කවදාවත් මේ ජොබ් එක කරගෙන යන්න වෙන්නෙත් නැහැ. මම ජීවත් වෙන්නේ මේකෙන් මල්ලි.”

‘‘අපිට ඒවා වැඩක් නැහැ.”

‘‘එහෙම කියන්න එපා මල්ලි. එක පාරක් සමාව දෙන්න. දැන්ම මේ පින්තූර ටික මම ඩිලීට් කරනවා.”

‘‘අපිට වුන මේ අසාධාරණය වෙනුවෙන් මොකක්ද කරන්නේ. ඒකට වග කියන්නේ කවුද.?”

‘‘මම ඒ සේරම වගකීම ගන්නවා. පොඩි හරි වරදක් ආපහු වෙන්න දෙන්නේ නැහැ. අනේ මල්ලි සමාව දෙන්න. ඒ වෙනුවෙන් මම ඔය දෙන්නගෙ වෙඩින් එකේ සියලූම පින්තූර වීඩියෝ නොමිලේ කරලා දෙනවා.”

අවසානයේ මලීෂගේ දැඩි ඉල්ලීම මත සහ නොමිලයේ විවාහ මංගල උත්සවයේ සියලූම ඡායාරූප ලබාදීමේ පොරොන්දුව මත නීතිමය පියවර නොගැනීමට එම යුවළ තීරණය කළහ.

වර්තමාන සමාජයේ සමහර ඡායාරූප ශිල්පීන් තම ලිංගික අසහනය සංසිඳුවා ගැනීම සඳහා මෙවැනි දෑ හිතාමතාම සිදු කරති. එම නිසා තරුණියන් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය යුතුය. එසේ නොවුණහොත් මෙවැනි සිද්ධීන් හමුවේ ඔබගේ අනාගතය පවා අඳුරු වීමට ඉඩ තිබේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment