පාකිස්තානයට  අයි.එම්.එෆ්. දොර වැසේ

2324

ඉම්රාන් නොමැති පාකිස්තානය දැන් දිලෙන්නේද? දැන් පාකිස්තානය ස්ථාවර වී තිබේද? නැත. එරට ලංකාවටත් වඩා බරපතළ ආර්ථික අර්බුදයක් ඇතිව තිබේ. දේශපාලන අස්ථාවරත්වය නිසා ආර්ථික අර්බුදය තවත් ඔඩුදුවා ඇත. ඉම්රාන්ගේ ආධාරකරුවෝ රටපුරා උද්ඝෝෂණ පැවැත්වීම නිසා මෙන්ම එරට අගනුවර වටකිරීමට උත්සහ ගැනීමත් නිසා දේශපාලන අර්බුදය සිවිල් යුද්ධයක් බවට පත්වීමේ අනතුර මතුව තිබේ. හිටපු ක්‍රිකට් නායකයා තම පාක්ෂිකයන්ට පවසා ඇත්තේ ආණ්ඩුවට විරුද්ධව ජිහාඩ් යුද්ධයක් ආරම්භ කළ යුතු බවයි. මෙය බරපතළ ප්‍රකාශයකි.

 ඔහුට අවශ්‍ය කෙසේ හෝ යළි බලය අල්ලා ගැනීම පමණි.

 පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගිය අප්‍රේල් 09 වැනිදා  විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ බලයෙන් පහකර ලැබූ බව අලුත් කතාවක් නොවේ. එරට ඉතිහාසයේ විශ්වාසභංගයෙන් පරාජය කරනු ලැබූ පළමු අගමැති ඔහුවේ. ඇමෙරිකාවත් එරට බලවත් හමුදාවත් ඔහුට එරෙහි වූ බව පැහැදිලිය. පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා 2018 දී අගමැති ලෙස තේරී පත් වූ අතර දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථිකය නිවැරදි කිරීමට පොරොන්දු විය. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි කාලයේ සිටම ජාතික වීරයකු වූ ඔහු ප්‍රචලිත දේශපාලනඥයකු බවට පත් වී, වසර ගණනාවක අරගලයකට පසු, දශක ගණනාවක් පාකිස්තානයේ ආධිපත්‍යය දැරූ දේශපාලන බලාධිකාරිය වෙනස් කිරීමට සමත් විය. ඔහුගේ දැවැන්ත සමාජ මාධ්‍ය සහයෝගයක්, සහ ආකර්ශනීය ගීත සහිත දේශපාලන රැළි සමඟ දේශපාලනයට පිවිසි ඔහු දැඩි දූෂණ විරෝධී පණිවිඩයක් ගෙන ආවේය.

 “නව පකිස්තානයක්” නිර්මාණය කරමින් රටට “වෙනසක්” ගෙන එන බවට ඔහු පොරොන්දු විය. එහෙත් මාර්තු අග භාගයේ දී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රැසක් ඉවත්ව යෑම හමුවේ ආණ්ඩුවේ බහුතරය අහිමි වූ අතර ඔහුගේ දේශපාලන ජීවිතය සඳහා සටන් කිරීමට සිදුවිය. විපක්ෂ ආණ්ඩුවක් තමන්  පිළිනොගන්නා බව ඉම්රාන් ඛාන් බලයෙන් පහකරනු ලැබූ ඉම්රාන් පවසා සිටියේය. රුසියාවට සහ චීනයට එරෙහි ප්‍රශ්නවලදී වොෂින්ටනය සමඟ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමාව ඉවත් කිරීමට එක්සත් ජනපදය ප්‍රමුඛ කුමන්ත්‍රණයක් ඇති බව ඔහු අවධාරණය කර තිබිණි. ඉම්රාන්ගෙන් පසුව අගමැති වූයේ විපක්ෂ නායක ෂෙහෙභාස් ෂරීෆ් මහතාය. හැත්තෑ හැවිරිදි ෂරීෆ් පාකිස්ථානයේ ඉතාම බලවත් දේශපාලන පරම්පරාවකින් පැවැත එන්නෙකි. ඔහුගේ වැඩිමහල් සොයුරු නවාස් ෂරීෆ් මින් පෙර තෙවරක් අගමැතිව සිටි අතර 2013 – 2017 සමයේ දී අවසන් වරට ධුරයේ සිටියේ ය. අගමැති ඉම්රාන් බලයට පත්වූ 2018 වසරට පෙර රාජ්‍යයේ විශාලතම පළාත වන පන්ජාබයට තෙවරක් නායකත්වය දුන් ෂරීෆ් පළපුරුදු, කාර්යක්ෂම පරිපාලකයකු වශයෙන් නම් දරා තිබිණි. කෙසේ නමුත් ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ෂරීෆ් වංශය දකින්නේ, පහත හෙළා ඉතිහාසයට එකතුකර දැමිය යුතු අන්දමේ පියාගෙන් පුතාට පාලනය පැමිණෙන “පැරණි පාකිස්තානයේ” කොටසක් ලෙස ය.

 ඉම්රාන් නොමැති පාකිස්තානය දැන් දිලෙන්නේද? දැන් පාකිස්තානය ස්ථාවර වී තිබේද? නැත. එරට ලංකාවටත් වඩා බරපතළ ආර්ථික අර්බුදයක් ඇතිව තිබේ. දේශපාලන අස්ථාවරත්වය නිසා ආර්ථික අර්බුදය තවත් ඔඩුදුවා ඇත. ඉම්රාන්ගේ ආධාරකරුවෝ රටපුරා උද්ඝෝෂණ පැවැත්වීම නිසා මෙන්ම එරට අගනුවර වටකිරීමට උත්සහ ගැනීමත් නිසා දේශපාලන අර්බුදය සිවිල් යුද්ධයක් බවට පත්වීමේ අනතුර මතුව තිබේ. හිටපු ක්‍රිකට් නායකයා තම පාක්ෂිකයන්ට පවසා ඇත්තේ ආණ්ඩුවට විරුද්ධව ජිහාඩ් යුද්ධයක් ආරම්භ කළ යුතු බවයි. මෙය බරපතළ ප්‍රකාශයකි. ඔහුට අවශ්‍ය කෙසේ හෝ යළි බලය අල්ලා ගැනීම පමණි. යළි ඉම්රාන් බලයට පත්වුවද එරට ආර්ථික අර්බුදය විසඳීම ලෙහෙසි නැත. එරට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 90කි. නමුත් මහා බැංකුව සතු වත්කම ඩොලර් බිලියන 10කි. මේ වසරේ පමණක් ඩොලර් බිලියන 25ක ණය ගෙවිය යුතුය. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 03 ණය මුදලක් පාකිස්තානය ඉල්ලා සිටියද එය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති නිසා අර්බුදය වඩා උග්‍රව තිබේ. පකිස්තානය 2019 දී වසර තුනක, ඩොලර් බිලියන 6 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුවකට ඇතුළු වූ නමුත් අරමුදල්වලින් අඩක් පමණ තවමත් නිදහස් කර නොමැත. පකිස්තානයේ පාරිභෝගික මිල දර්ශකය අප්‍රේල් මාසයේදී පෙර වසරකට වඩා 13.4%කින් ඉහළ ගොස් ඇත. අයි.එම්.එෆ්. නියෝජිතයන් පාකිස්තාන ආණ්ඩුවේ නියෝජිතයන්ට පවසා ඇත්තේ ඉන්ධන සහ බලශක්ති සහනාධාර ඉවත් කිරීම අනිවාර්ය බවය. එලෙස කටයුතු කළහොත් පමණක් යළි සලකා බැලිය හැකි බව අවධාරණය කර ඇත. අගමැති ෂෙබාස් ෂරීෆ් පසුගිය සතියේ ප්‍රකාශ කර සිටියේ රට බංකොළොත් වීම වළක්වාලීම සඳහා ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවූ බවයි. පසුගිය අප්‍රේල් මාසයේදී බලයට පත් වූ නව රජය ඉන්ධන මිල සීමා ඉවත් කිරීමට අදිමදි කර තිබිණි. කෙසේ වෙතත් අයි.එම්.එෆ්. බලපෑම හමුවේ ඉක්මනින් මිල ඉහළ නැංවීමට සිදුවිය. ඉන්ධන සහනාධාර ඉවත් කිරීම නව සභාග ආණ්ඩුවට දේශපාලන වශයෙන් අහිතකර ප්‍රථිපල ඇති කිරීමට ඉඩ ඇති අතර මාස 16 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. නමුත් බලයෙන් පහකරනු ලැබූ ඉම්රාන් නම් ඉක්මනින් මැතිවරණයක් බලාපොරොත්තු වේ. ඒ අතරම, පාකිස්තානය ද උග්‍ර දේශගුණික හදිසි අවස්ථාවක ග්‍රහණයට ලක්ව ඇත. ඉහළ යන්නේ දේශපාලන උෂ්ණත්වය පමණක් නොවේ. පෙර නොවූ විරූ තාප තරංගයක් එරට බිලිගෙන ඇත. පකිස්ථානය දැඩි ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල් පනස් දෙකෙන් එකක් වන අතර විදේශ ණය ආපසු ගෙවීම සහ සේවා සැපයීම රට මුහුණ දෙන බරපතළම ගැටලු අතර වේ.

 පකිස්තානය දරුණු ණය සංස්කෘතියක් වර්ධනය කර ඇත. එය ඔබේ මෝටර් රථය ධාවනය කිරීමට ඉන්ධන ණයට ගැනීම හා සමාන දෙයකි, එය කිලෝමීටර් කිහිපයක් සහ ටැංකිය හිස් වේ. නැවත ඉන්ධන පිරවුම්හල වෙත යන්නට සිදුවේ. එය පකිස්ථානයේ අයි.එම්.එෆ්. වේ. 1960-90 අතර කාලය තුළ පකිස්තානය දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකකි. අද එරට ආසියාවේ දෙවන වේගවත්ම උද්ධමනය ඇත. පකිස්තානය 1950 සිට ලෝක බැංකුවේ සාමාජිකයකු වන අතර එතැන් සිට ඩොලර් බිලියන 40 ක ආධාර ලබා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය වසර 60 තුළ 22 වතාවක් පකිස්තානයට මුදල් ණයට දී ඇති අතර ඒවා සියල්ලම දැඩි කොන්දේසි සහිතවය. බලශක්ති ගාස්තු වැඩි කිරීම, බලශක්ති සහනාධාරය ඉවත් කිරීම, බදු වැඩි කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සහ අයවැයට මූල්‍ය ගැළපීම් යන කොන්දේසි මත 2019 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයට ණය ලබා දී තිබිණි. පකිස්තානය සඳහා අයි.එම්.එෆ් විසින් පනවා ඇති දැඩිම කොන්දේසිය නම්, චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවෙහි මූල්‍ය වියදම් විස්තරාත්මකව ගණනය කිරීම සහ පකිස්ථානය සිය චීන ණය ගෙවීම සඳහා අයි.එම්.එෆ්. ණය හරවා නොගන්නා බවට ස්ථිර සහතිකයක් ලබා දීමයි. 2021 ඔක්තෝම්බර් මාසයේදී පකිස්ථාන් ටුඩේ හි වාර්තාවකට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පසුව, පකිස්තානයට විශාලතම පරිත්‍යාගශීලියා වන්නේ චීනයයි. චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව යටතේ ව්‍යාපෘති 19 ක බැංකු ණය වශයෙන් චීනය විසින් සිදු කර ඇති ඩොලර් බිලියන 18.5 කි. කෙසේ නමුත් 2024 වන විට පාකිස්ථානය ඩොලර් බිලියන 100 ක් චීනයට ආපසු ගෙවිය යුතු බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

 ලංකාව පකිස්තානය මෙන්ම නේපාලයද ආරථික අර්බුදයට ලක්ව තිබේ. ඉන්දියාවේ අසල්වැසියා වන නේපාලය, පෙරෙමින් පවතින ආර්ථික අර්බුදයක රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. නේපාලයේ විදේශ විනිමය සංචිතය පසුගිය ජූලි මාසයේ සිට මාර්තු මැද භාගයේදී සියයට 18 කින් පහත වැටී ඇති අතර එය ආනයනය මාස හයකට පමණක් සීමා විය. යුක්රේන-රුසියා යුද්ධය විසින් දැනටමත් උග්‍ර කර ඇති එහි ආහාර ඉන්ධන අර්බුදය එරට මුහුණ දුන් ගංවතුර නිසා උග්‍ර කර ඇත. මේ නිසාම නේපාල ආණ්ඩුව මෝටර් රථ, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, රත්‍රං සහ රිදී ඇතුළු සියලු සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර තිබේ. ඉන්ධන හිඟය මඟහරවා ගැනීම සඳහා වැඩ සතිය දින පහක කාලසටහනකට අඩු කරමින් අතිරේක නිවාඩු දිනයක් ද ප්‍රකාශයට පත් කර ඇත. අපේ අසල්වැසි මාලදිවයින ද දකුණු ආසියානු ආර්ථිකයන් අතර ආරක්ෂිත ස්ථානයක නොමැත, තෙල් ආනයනය එහි දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළම කොටස වන අතර එහි සංචාරකයන්ගෙන් සියයට 20 ක් යුද්ධයෙන් පීඩාවට පත් රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණේ.

 වසංගතයට පෙර සිටම, ලෝක බැංකුව සිය 2019 වාර්තාවෙන් පෙන්වා දුන්නේ දකුණු ආසියාව දැනටමත් දුර්වල වන ආර්ථිකයක සලකුණු පෙන්වමින් සිටින බවයි. 2014 වසරේ සිට දකුණු ආසියාව ‘ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය’ ලෙස හඳුන්වා තිබුණද 2019 දී එය නැගෙනහිර ආසියාවට සහ පැසිෆික් කලාපයට හිමි විය. ශ්‍රී ලංකාව සහ නේපාලය යන දෙරටම කොරෝනා වසංගතය හා සංචාරක කර්මාන්තය මත අඩපණ වීම මේ අර්බුදයට හේතුවක් ලෙස දැක්විය හැක. නමුත් වසංගතයට පෙර සිටම පාකිස්ථානයේ ආර්ථිකය අවුල් විය. දකුණු ආසියානු කලාපය පිළිබඳ නවතම ලෝක බැංකු වාර්තාවට අනුව, දකුණු ආසියාව කොරෝනා වසංගතයේ ද්විත්ව පහරින් සහ රුසියාව – යුක්රේන යුද්ධයෙන් පීඩා විඳියි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment