පාකිස්තානයට ගාල්ලේදී වාර්තා ගත ටෙස්ට් ජයක්

233

ගාලු තණතීරුවේ ටෙස්ට්  තරගයකදී සිව්වැනි ඉනිම ජය  ගැනීමේ ඉතිහාස වාර්තාව වෙනස් කරමින් ශ්‍රී ලංකාව සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයේදී වාර්තාගත ජයක් සටහන් කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත් විය. ඒ දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය ගනිමිනි.

 ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 342ක අභියෝගයක් හඹා ගිය පාකිස්තානය තරගයේ පස්වැනි දිනය වූ ඊයේ දිනයේදී කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත් විය. ඒ අනුව ජාත්‍යන්තර ගාල්ල ක්‍රිකට්

 ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදී සිව්වැනි ඉනිමේදී කණ්ඩායමක් හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු ගණන ලෙසින් එය වාර්තා පොතට එක්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී සිටි අතර ශ්‍රී ලංකාව 2019 වසරේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිව්වැනි ඉනිමේදී ලකුණු 268ක් හඹාගොස් ජය ගනිමින් එම වාර්තාවට හිමිකම් කීමට සමත්වී සිටියේය. අදාළ ජයත් සමගින් ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රියාත්මක දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.

 පස්වැනි දිනට ඊයේ උදෑසන තරගය ආරම්භ කරන මොහොතේදී පාකිස්තානය ජයග්‍රහණයට කඩුලු 7ක් ඇතැතිව තවත් ලකුණු 120ක් පමණක් පිටුපසින් සිටියේ ලකුණු 112ක් ලබා සිටි අබ්දුල්ලා සාෆික් සහ ලකුණු 7ක් ලබා සිටි මොහොමඩ් රිස්වාන් නොදැවී කඩුල්ලේ රැඳෙමිනි. ගාලු තණතීරුව පස්වැනි දිනයේදී දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙසින් සඳහන් කෙරුණ ද ඊයේ දිනයේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට එම තණතීරුවෙන් කිසිදු සහයක් ලැබෙන අයුරු දක්නට නොලැබිණි. ඒ අනුව උදෑසන පැය එකහමාරක කාලයක් තුළ පහසුවෙනම ලකුණු රැස් කළ සාෆික් සහ රිස්වාන් ලකුණු 54ක් පාකිස්තාන ඉනිමට එක් කළේය.

 ගාල්ල ක්‍රීඩාංගණයට ඉහළින් ඊයේ උදෑසන පැමිණ තිබූ වැහි මන්දාරම හේතුවෙන් ඉක්මනින් ලකුණු රැස් කරමින් පාකිස්තානයේ ජයග්‍රහණය ඉක්මන් කිරිමට වෙහෙසක් ගත් රිස්වාන් ලකුණු 40ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීම මත පාකිස්තාන ඉනිමේ සිව්වැනි කඩුල්ල මුලු ලකුණු 276දී බිඳ වැටුණි.

 අනතුරුව අබ්දුල්ලා සාෆික් සමගින් පිටියට එක් වූ ආගා සල්මන්ට වැඩි වේලාවක් පිටියේ රැඳීමට අවස්ථාව ලබා නොදුන් නිරෝෂන් දික්වැල්ල සහ ප්‍රභාත් ජයසූරිය එක්කාසු වී ලකුණු 12කට ඔහු නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීය.

 පාකිස්තානයේ ජයග්‍රහණය ඉක්මන් කිරීමට ප්‍රයත්න දැරූ හසන් අලී ධනංජය ද සිල්වාගේ පන්දුවකට එල්ල කළ පහරක් හයේ සීමාව අසලදී මහීෂ් තීක්ෂණ උඩපන්දුවක් ලෙසින් රැක ගැනීම සමගින් මුළු ලකුණු 303දී පාකිස්තානයේ 6 වැනි කඩුල්ල දැවී ගියේ ඊයේ දිනයේ දිවා භෝජනයට පෙර යැවූ අවසන් පන්දුවේදීය.

 දිවා භෝජනයෙන් අනතුරුව අබ්දුල්ලා සාෆීක්ට එක් වූ මොහොමඩ් නවාස් කඩුල්ල රැක ගනිමින් හෙමින් සීරුවෙන් පාකිස්තාන ඉනිම ගාල්ල තණතීරුවේදී වාර්තා ගත ජයග්‍රහණය වෙත ගෙන ගියේය.

 පාකිස්තාන ඉනිමේ ජයග්‍රාහී නියමුවා බවට පත්වූ අබ්දුල්ලා සාෆික් ඉනිම ආරම්භයේ සිටම එක් අන්තයක් රැක ගනිමින් එම වාර්තා ගත ජයග්‍රහණය පාකිස්තානයට උරුම කර දීමට වගබලා ගත්තේය. පන්දු 408ක් පුරා නොදැවුණු එම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුළත් වෙද්දී සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 160ක් ලබා ගැනීමට සාෆික් සමත් විය.

 එම ඉනිම ඇතුළතදී සාෆික් මුලු ලකුණු 7ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වී ද පිටියේ විනිසුරු කුමාර ධර්මසේන එය නොදැවීමක් ලෙස සටහන් කිරීම මත පිටියේ රැඳී සිටීමේ වාසනාව සාෆික් උදා කර ගත්තේය. අනතුරුව ධනංජය ද සිල්වා අතින් අපහසු උඩපන්දුවක් මෙන්ම කසුන් රාජිත අතින් පහසු උඩපන්දුවක් ගිලිහීම හේතුවෙන් පාකිස්තාන ජයග්‍රහණය දක්වාම සිය ඉනිම දියත් කිරීමට සාෆික්ට අවස්ථාව උදා විය.

 පාකිස්තාන දෙවැනි ඉනිමේ කඩුලු 4ක් බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය සමත්වූ අතර සමස්ත තරගයේ කඩුලු 9ක් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය. ඒ අනුව පාකිස්තාන දෙවැනි ඉනිමේ තවත් එක් කඩුල්ලක් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරියට ඊයේ හැකි වී නම් පිට පිටම ඉනිම් 4කදී කඩුලු 5කට වඩා දවා ගත් ලෝකයේ පළමු පන්දු යවන්නාගේ වාර්තාවට හිමිකම් කීමට තිබිණි. සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ප්‍රභාත් ජයසූරිය ඔස්ටේ්‍රලියාව සමගින් පැවැති පෙර ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදී කඩුලු 6 බැගින් බිඳ දැමීමට සමත්වී සිටියේය.

 දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා ආරම්භ වේ.

පාකිස්තානයට ගාල්ලේදී වාර්තා ගත ටෙස්ට් ජයක්

advertistmentadvertistment
advertistmentadvertistment