පාකිස්තානයේදී ශ්‍රී ලංකා කෙල්ලෝ පරදිති

223

වසර 16කට පසු පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස කණ්ඩායම ඊයේ (24 වැනිදා) පැවැති දෙරට අතර පළමු තරගයේදී කඩුලු 6ක පරාජයක් ලැබීය. ඒ අනුව දෙරට අතර ක්‍රියාත්මක තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කරච්චි ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 106ක අභියෝගයක් පාකිස්තානය හමුවේ තැබූ අතර ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය පාකිස්තානය පන්දුවාර 18.2කදී කඩුලු 4ක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් වූවාය.

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වන චමරි අතපත්තු ඊයේ දිනයේදී ලකුණු 6ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ආමන් අමීන් සමත් වූවාය.

හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 25 බැගින් ශ්‍රී ලංකා ඉනිමට එක් කරද්දී අනුෂ්කා සංජීවනී ලකුණු 16කින් සහ අමා කරුණාත්න ලකුණු 12කින් දායකත්වය සැපයීය.

අනම් අමීන් සහ ටූබා හසන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3 බැගින් බිඳ දැමීය.

පාකිස්තාන ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් සැපයූ නිඩා ඩාර් නොදැවී ලකුණු 36ක් රැස් කළේ පන්දු 27ක් පමණක් වැය කරමිනි. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක්ද ඇතුළත් විය.

බිෂ්මා මහරූෆ් ලකුණු 28ක් සහ මුනීබා අලී ලකුණු 18ක් රැස් කළාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕෂධී රණසිංහ ලකුණු 20කට කඩුලු 2ක් බිඳ දැමීය.

දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (26 වැනිදා) පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment