පාකිස්තානුවන් ගැන හොඳ අවබෝධයක් මල්ලිට තිබුණා ආගම්වලට ගරහන්න තරම් එයා මෝඩ නෑ

1383

* පාකිස්තානයේදී ඝාතනය වූ පි‍්‍රයන්තගේ සොහොයුරා කියයි

* ‘‘සුදු මහත්තයා කතා කළා ද’’  – කිසිම දෙයක් නොදන්නා පි‍්‍රයන්තගේ අම්මා විටින් විට අසයි

දැන් මොන තරම් මල්ලිගේ ගුණ කිව්වත් වැඩක් නෑ. ඔහු දස දුක් විඳලා මේ ජීවිතෙන් සමු අරගෙන යන්න ගිහින්. අම්මා අදටවත් මේ මොහොතටවත් මල්ලි මැරුණු බවක්  දන්නේ නෑ.

‘‘මල්ලි හොඳින් ඉතා හොඳින් පාකිස්තාන වැසියන්ගේ කි‍්‍රයාකලාපය දැනගෙනයි ජීවත් වුණේ. පාකිස්තානයේදී කවදාවත් එයාට මේ වගේ දෙයක් වෙයි කියලා හිතන්නේවත් නැතිව ඇති. කොහොමද ලෝකයේ මනුෂ්‍යත්වය මේ තරම් ම්ලේච්ඡු වුණේ කියලා අපට හිතාගන්නවත් බෑ.’’

පාකිස්තානුවන් ගැන හොඳ අවබෝධයක් මල්ලිට තිබුණා ආගම්වලට ගරහන්න තරම්  එයා මෝඩ නෑ

පාකිස්තානයේදී අන්තවාදීන් විසින් ඝාතනය කර පුළුස්සා දැමුණු ශී‍්‍ර ලාංකික පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ දෙවැනි අයියා අප සමග එසේ කීවේය.

මෙලොව ජීවත්වන කුරිරු මිනිසුන්ගේ දරුණු අත්දැකීම් අත්විඳිමින් ප‍්‍රියන්ත කුමාර දියවඩන මෙලොවින් සදහටම සමුගත්තේය. ඒ වගක් නොදත් ප‍්‍රියන්තගේ අම්මා සිය බඩපිස්සාගේ දුරකථන ඇමතුම එනතෙක් මේ මොහොතටත් බලා සිටින්නේ බලාපොරොත්තු සහිතව ය.

‘‘සුදු මහත්තයා කතා කළා ද’’ ඇය ඊයේ දිනයේත් අසා සිටියාය. වයස අවුරුදු අසූවක් වන ප‍්‍රියන්තගේ මවගෙන් ප‍්‍රියන්තගේ නික්ම යෑම සඟවා ඇත්තේ ඇයගේ රෝගී ස්වභාවය සැලකිල්ලට ගනිමිනි. ප‍්‍රියන්ත කුමාර පවුලේ බාලයා ය. ඔහු පාසල් යන සමයේ ම ඔහුගේ පියා මෙලොවින් සමුගෙන ඇත. වැඩිමල් සහෝදරයන් දෙදෙනකු සහ වැඩිමහල් සහෝදරියන් තිදෙනකුගේ හුරතලයට මැදිව කල් යැවූ ප‍්‍රියන්ත සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ මාතර රාහුල විද්‍යාලයෙනි. අපොස උසස් පෙළ සඳහා කැලණිය ධර්මාලෝක විද්‍යාලයට ඇතුළත්ව ඉහළ ප‍්‍රතිඵල ලබා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය.

ඇඟලූම් කර්මාන්තය පිළිබඳ උපාධියක් ලැබූ ප‍්‍රියන්ත කලක් බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළේය.

එහි සේවයේ යෙදී සිටියදී ඔහුට පාකිස්තානයේ ඇ`ගලූම් කර්මාන්තශාලාවක රැුකියා ඇබෑර්තුවක් සඳහා මුහුණ දුන්නේ දෙදහස් නවය වසරේදීය. වසර 11ක් පාකිස්තානයේ සේවයේ නියුතුව සිටියදී පසුගිය සිකුරාදා 3 වැනිදා උදේ පාකිස්තානයේ සියල්කොට් හි අදාළ කර්මාන්තශාලාවේදී අන්තවාදීන්ගේ ප‍්‍රහාරයකට ලක්ව මියගිය ප‍්‍රියන්ත ගැන ඔහුගේ දෙවැනි අයියා එතැන් සිට කතාව අපට කීවේය.

‘‘මමත් මල්ලිත් කාලයක් එකම ආයතනයක සේවය කළා. මල්ලි හැම වැඩටම ඉතා දක්ෂයි. ඔහුට මේ ආයතනයේ සේවය සඳහා ආරාධනාවක් ලැබුණා. ඔහු යන විට ඒ ආයතනය තිබුණේ මැෂින් පහක් පමණයි. මේ වන විට මැෂින් 2500ක් සහිත විශාල ආයතනයක් බවට පත් කරන්නට මල්ලිට හැකියාව ලැබුණා. ඒ නිසා ආයතනය භාර ප‍්‍රධානියා මල්ලිට බොහොම කැමතියි. ඔහු මල්ලිට කිහිප වතාවක්ම කිවුවා පවුලේ සියලූ දෙනාම පාකිස්තානයට කැටුව එන ලෙස.

නමුත් මල්ලිට වුවමනා වුණේ ලංකාවට ඇවිත් පුතාලා දෙන්නයි, බිරිඳයි, අම්මලා, සහෝදර සහෝදරියෝ එක්ක සතුටින් ජීවත් වෙන්න. ඔහු පහුගිය 2020 වසරේ ලංකාවට එන්න සෑහෙන්න උත්සාහ කළා. නමුත් ආයතනයෙන් ඉවත් වෙන්න ඔහුට ඉඩක් දුන්නේ නෑ. ඉකුත් දින කිහිපය තුළම ආයතන ප‍්‍රධානියා රාජකාරිමය කටයුත්තක් සඳහා ජර්මනියට පිටත්ව ගොස් තිබුණා. ආයතනය මුළුමනින්ම පාලනය කර තිබුණේ මල්ලි. මේ අවස්ථාවේ වැටුප් ගැටලූවක් සමග ආයතනය තුළ උද්ඝෝෂණයක් පැවතිලා තියෙනවා. එහිදී මල්ලි ගත් තීරණයට එරෙහිව තමයි මේ මිනිස්සු මල්ලිට ජීවිතය අහිමි වන තරම්ම දඬුවමක් ලබා දීලා තියෙන්නේ. ඒ හැරුණම ඔවුන්ගේ ආගමට හෝ වෙනත් යමකට ගරහන දෙයක් කියන්න තරම් මල්ලි මෝඩ නෑ. ඔහු ඉතා හොඳින් පකිස්තාන් වැසියන්ගේ ක‍්‍රියාකලාපයන් අවබෝධ කරගෙනයි ජීවත් වුණේ.

මල්ලි මේ ආයතනය මොන තරම් දියුණුවක් කරා ගෙනගියා ද කියනවා නම් යුරෝපයේ ඇඟලූම් කර්මාන්ත ශාලා පිළිබඳ වන ලැයිස්තුවේ මුල් පෙළට මේ ආයතනයේ නම රඳවන්න තරම් ඔහුගේ හැකියාව දක්ෂකම ඉහළ තැනක තිබුණා. ‘වර්ල්ඞ් කප්’ කි‍්‍රකට් ටීම් එකට වගේම වෙනත් ප‍්‍රසිද්ධ ක‍්‍රීඩා කණ්ඩායම් සඳහා ටීෂර්ට් මහලා දුන්නේ මේ ආයතනයෙන්.

දැන් මොන තරම් මල්ලිගේ ගුණ කිව්වත් වැඩක් නෑ. ඔහු දස දුක් විඳලා මේ ජීවිතෙන් සමු අරගෙන යන්න ගිහින්. අම්මා අදටවත් මේ මොහොතටවත් මල්ලි මැරුණු බවක් දන්නේ නෑ. ඇයට ඒ දුක දරා ගන්න බැරි වේවි. ඇය දැන් ඉතා වයසයි. නමුත් මල්ලිගේ දුරකථන ඇමතුම එනකම් මග බලාගෙන ඉන්න නිසා අපි කිව්වා එයාට ‘කොවිඞ්’ හැදිලා හොඳටම අමාරුයි කියලා.

ලෝකයක් අඬවලා මල්ලිගේ සිදුවීම. ඒත් මේ ලෝකෙට ඒක තවත් එක් සිද්ධියක් විතරයි. අදින් පස්සේ මල්ලිගේ පුතාලා දෙන්නටත් බිරිඳටත් මේ ලෝකේ තනි වෙන්න සිද්ධ වෙනවා. බිරියට ස්වාමියාත්, පුතාලා දෙන්නට තාත්තාත් ජීවිත කාලෙටම නැති වෙනවා. ඒ දුක ජීවත් වන කාලය පුරාවටම විඳින්න වෙන්නේ මල්ලිගේ සහෝදරයන් සහෝදරියන් බිරිඳ පුතාලා වන අපට පමණයි. ඝාතනයට ලක්වූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ දේහය ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට කටයුතු සිදුකෙරෙමින් තිබිණි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment