පාකිස්තානුවෝ ජයග්‍රාහි මාවතට පිවිසෙති

263

ශ්‍රී ලංකා දඟ පන්දුව ඉදිරියේ සාර්ථක වූ පාකිස්තාන පිතිකරුවෝ ශ්‍රී ලංකාව සමගින් ක්‍රියාත්මක පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනය (19 වැනිදා) නිමාවට පත්වෙද්දී තරගයේ වැඩි වාසි තමන් සතුකර

 ගැනීමට සමත්වී සිටියහ. ඒ අනුව ඊයේ දිනය නිමාවට පත්වෙද්දී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 222ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 120ක් පමණක් පිටුපසින් පසුවිය.

 සිව්වැනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා හඹායෑමට අපහසු ලකුණු 342ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි පාකිස්තානු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සාර්ථක සම්බන්ධතාවක් දියත් කිරීමට අබ්දුල්ලා සාෆික් සහ ඉමාම් උල්හක් සමත් විය.

 දිවා භෝජනයෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරුණු 5 වැනි පන්දු වාරයේදී නිරෝෂන් දික්වැල්ල කරන ලද දක්ෂ ස්ටම්ප් කිරීමක් හමුවේ පාකිස්තානු පළමු කඩුල්ලේ සම්බන්ධතාවට තිත වැටුණේ ඉමාම් උල්හක්ගේ ඉනිම ලකුණු 35කට සීමා කරමිනි.

 දෙවැනි කඩුල්ලට පිටියට පිවිසි යසර් අලී පිටියේ ස්ථාවර වීමට පෙර නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ධනංජය ද සිල්වා සමත් වූයේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ උඩපන්දුවක් රැක ගනිමිනි.

 අනතුරුව අබ්දුල්ලා සාෆික් සමගින් පාකිස්තානු තෙවැනි කඩුල්ලට පිටියට එක් වූ නායක බාබර් අසාම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් මැනවින් පාලනය කරමින් පාකිස්තානු ඉනිම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට සමත්විය. ඒ දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සබඳතාවක් ගොඩනඟමිනි.

 ඒ අතරවාරයේ සිය දෙවැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළ අබ්දුල්ලා සාෆික් දිනය නිමා වන විටදී හයේ පහර 1ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 112ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. සිය 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ බාබර් අසාම් ලකුණු 55ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් කඩුල්ලේ වැදී දැවී ගියේ පාකිස්තානයට තෙවැනි කඩුල්ල අහිමි කරමිනි.

 කෙසේ වෙතත් පාකිස්තානු ලකුණු පුවරුව මුළු ලකුණු 7ක් ලෙස සටහන් වෙද්දී අබ්දුල්ලා සාෆික් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුවද පිටියේ විනිසුරු කුමාර ධර්මසේන එය නොදැවීමක් ලෙස සටහන් කිරීම මත සිය ඉනිම ශතකයක ඉනිමක් බවට පරිවර්තනය කර ගැනීමට සාෆික් සමත්විය.

 සිව්වැනි දිනට ඊයේ තරගය ආරම්භ කරන විටදී දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා සිටියේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 86ක් ලබා සිය 14 වැනි ටෙස්ට් ටෙස්ට් ශතකයට ලකුණු 14ක් පිටුපසින් පමණක් පසුවිය. කෙසේ වෙතත් ඊයේ දිනයේදී එම ශතකය සම්පූර්ණ කිරීමට චන්දිමාල්ට අවස්ථාව ලබා නොදුන් පාකිස්තානු පන්දු යවන්නෝ අනෙක් අන්තයේ සිටි ප්‍රභාත් ජයසූරියගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ චන්දිමාල් ලකුණු 94ක් ලබා නොදැවී අනෙක් අන්තයේ රැඳී සිටියදීය.

පාකිස්තානුවෝ ජයග්‍රාහි මාවතට පිවිසෙති

advertistmentadvertistment
advertistmentadvertistment