පාකිස්තාන ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

157

 බිෂ්මා මහරූෆ් සහ සිද්‍රා අමීන්ගේ ශතක සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව සමගින් පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානයට හැකියාව ලැබිණි.

 අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැති අදාළ තරගයේදී ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සත්කාරක ක්‍රීඩිකාවෝ පන්දුවාර 41.5කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පාකිස්තාන පළමු කඩුල්ල මුළු ලකුණු 25දී බිඳ වැටීමෙන් අනතුරුව පිටියට එක් වූ නායික බිෂ්මා මහරූෆ් සිද්‍රා අමීන් සමගින් එක්වී සිය කණ්ඩායම සුරක්ෂිතව ජයග්‍රහණය කර ගෙන ගියාය. ඒ පාකිස්තාන තෙවැනි කඩුල්ලට දෙදෙනා අතර ලකුණු 143ක ලකුණු සම්බන්ධතාවයක් ගොඩනගිමිනි.

 සිය එක්දින දිවියේ සිව්වැනි අර්ධ ශතකය වාර්ත කළ අමීන් පන්දු 119කදී ලකුණු 76ක් වාර්තා කළේ හතරේ පහර 7ක් සමගිනි. සිය 16 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ බිෂ්මා පන්දු 101කදී නොදැවී ලකුණු 62ක් රැස් කළේ හතරේ පහර 5ක් සමගිනි.

 ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 මුලු ලකුණු 46දී බිඳ වැටීමෙන් අනතුරුව මැදපෙළින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ නිලක්ෂි ද සිල්වා සහ ප්‍රසාදනී වීරක්කොඩි ශ්‍රී ලංකා 4 වැනි කඩුල්ලට ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවාය. ශ්‍රී ලංකා ඉනිමේ 29 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී සහ 30 වැනි පන්දුවාරයේ පළමු පන්දු දෙකේදී පිළිවෙලින් නිලක්ෂි ද සිල්වා (16), ප්‍රසාදනි වීරක්කොඩි (30) සහ ඕෂදී රණසිංහ (00) ගේ කඩුලු පිට පිටම දැවී යෑම මත ශ්‍රී ලංකා ඉනිම යළිත් කඩා වැටුණි.

 වේගවත් ඉනිමක් දියත් කළ කවීෂා දිල්හාරිට සහාය පිතිකාරිණියක් නොමැතිකමින් සිය පස් වැනි අර්ධ ශතකය එක් ලකුණකින් අහිමි වී ගියේය. ඒ අනුව කවීෂා ශ්‍රී ලංකා ඉනිම නිමාවන විටදී පන්දු 50කට මුහුණ දී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 49ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියාය.

 ලකුණු සාරාංශය

 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 47.5කදී සියලු දෙනා දැවී ලකුණු 169යි (චමරි අතපත්තු 25, ප්‍රසාදනී වීරක්කොඩි 30, කවීෂා දිල්හාරි (නොදැවී) 49, ගුලාම් ෆාතිමා 21/4, සාදියා ඉක්බාල් 30/2, ෆාතිමා සානා 24/2)

 පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දුවාර 41.5කදී කඩුලු 2ක් දැවී ලකුණු 170යි (සිද්‍රා අමීන් 76, බිෂ්මා මහරූෆ් (නොදැවී) 62, අචිනි කුලසූරිය 13/1, ඕෂදී රණසිංහ 35/1)

advertistmentadvertistment
advertistmentadvertistment