පාගමනට පහර දුන් පොලිසියට  නීති පියවර ගන්නැයි ඉල්ලා පෙත්සමක්

190

සමාජවාදී තරුණ සංගමය විසින් පසුගිය 24 වැනිදා කොළඹදී ‘අරගලයට නව බලයක් : තරුණ බලය යළි කොළඹට’ යන තේමාව යටතේ පැවැත්වූ සාමකාමී පාගමනට අමානුෂික ලෙස පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමට නියෝග කරන ලෙස එම සංගමයේ ජාතික කමිටු සාමාජික, අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා ඊයේ (26 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ සුනිල් වටගල මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් නම්කර තිබිණි.

පාගමන පැවැත්වීමට පෙර පොලිසියට දැනුම් නොදුන් බවට චෝදනා කරමින් විශාල පොලිස් නිලධාරීන් පිරිසක් තමන් ඇතුළු පාගමනේ නිරතව සිටි පිරිසට ඉතා අමානුෂික ලෙස බැටන් පොලු භාවිත කරමින් පහර දුන් බවත්, ඉන් දරුණු ලෙස තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල්ගත කළ බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.

පොලිසිය එසේ අසත්‍ය චෝදනා කළත්  පාගමන ආරම්භ කිරීමට පැය ගණනාවකට පෙර විධිමත්ව ඒ බව පොලිසියට දැනුම් දීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබූ බවත් එලෙස දැනුවත් කර තිබියදීත් සිදුකළ එම ප්‍රහාරය නිසා සාමකාමීව රැස්වී අදහස් දැක්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් පොලිසිය දැඩිව උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අධිකරණයට වැඩිදුරටත් දන්වා තිබිණි.

එබැවින් එකී අමානුෂික පහරදීම සිදුකළ හා ඒ සඳහා අණ දුන් සියලුම නිලධාරීන් පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කරන ලෙසත් හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment