පාගොඩ ආනන්ද බාලිකා මාවතේ සුඛෝපභෝගී නිවසක ගණිකා මඩමක්

590

මිරිහාන පොලිස් වසමේ පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවත ප‍්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකොළොස් දෙනෙක් සහ කාන්තා කළමනාකාරවරියක් සහ පිරිමි කළමනාකාරවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

මෙම නිවසේ මහල් තුනේම වෙන වෙනම සම්භාහන ආයතන තුනක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි සම්බාහනය මුවාවෙන් ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය පැවසීය.

සෞඛ්‍ය නීති හා නිරෝධායන නීති මෙන්ම සංචරණ නීති කඩකරමින් මෙම ස්ථානයට සේවා ලබා ගැනීමට පුද්ගලයන් පැමිණ ඇති බවත් ජංගම දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාල සේවා හරහා (ඔන් ලයින් ක‍්‍රමයට) කාන්තාවන් රුපියල් 6000/= සිට රුපියල් 20,000/= දක්වා අධික මිල ගණන් යටතේ මුදලට විකුණා ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ කාන්තාවන් ගාල්ල, වෙන්නප්පුව, දඹුල්ල, සීදුව, බණ්ඩාරවෙල, මැදවච්චිය, බිබිල, වේයන්ගොඩ, කෑගල්ල, තණමල්විල, ඇඹිලිපිටිය වැනි ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18ත් 46ත් අතර පසුවන පදිංචිකාරිනියන් බවත් මෙම කාන්තාවන්ගෙන් කිහිපදෙනකු පළාත් අතර සංචරණ සීමා යොදා ඇති කාලයේදී මෙම නිවසට පැමිණ ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

මහල් තුනේ ආයතන තුනක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවසට කළමනාකාරවරුන් දෙදෙනෙක් සහ කළමනාකාරවරියක් සේවයේ යොදවා සිටි බවත් ඔවුන් තිදෙනා ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ සැකකාරියන් හා සැකකරුවන් නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර පොලිස් අධිකාරි කේ. එස්. රූපසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජන ශාන්ත කහටදෙනිය මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (54478) වසන්ත, (41127) රුවන්, (66480) ඉන්දික, පොලිස් කොස්තාපල් (12002) අබේධීර, (82932) මධුසංඛ, (71854) ලියනගේ, කාන්තා පොලිස් කොස්තාපල් (11486) මධුෂානි යන නිලධාරීහු විසින් සිදුකරනු ලබති.

එස්. ඞී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment