පාඨලීට රට යන්න උසාවියෙන් අවසර

111

නොසැලකිලිමත් ලෙස හා අපරීක්‍ෂාකාරිව රිය පදවා තරුණයකු අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාට ලබන අපේ‍්‍රල් 8 වැනිදා සිට අපේ‍්‍රල් 27 වැනිදා කාලය තුළ දී විදේශගත වීමට අවසර ලබාදුන් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔහුට පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (16 දා* නියෝග කළේය.

එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා හා ගුවන් තොටුපළ බලධාරීන් වෙත යැවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය. ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි ශී‍්‍ර ලාංකිකයන් විසින් කරන ලද ආරාධනාවක් අනුව විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා එරටේ සංචාරය කිරීමට නියමිත බව පෙන්වා දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

එම නඩුවේ දෙවන විත්තිකාර තුසිත දිලූම් කුමාර නමැත්තා විසින් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ලබාදී ඇති රහස්‍ය ප‍්‍රකාශයේ පිටපතක් තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එහි දී කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයට සහ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට නියෝග කළේය. පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප ප‍්‍රදීප් මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

එම නඩුව ලබන 4 වැනිදා වැඩිදුර විභාගය සඳහා කැඳවීමට ද විනිසුරු දමිත් තොටවත්ත මහතා එහි දී නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment