පාඨලී චම්පිකගේ දෙටු දියණිය විදුලි ඉංජිනේරු උපාධියෙන් පළමුතැනට

1303

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ වැඩිමහල් දියණිය වන අමා මන්දස්මිතා මෙනවිය පළමු පෙළ සාමාර්ථයක් සහ දෙපාර්තමේන්තුවේ පළමුවැනියා වෙමින් මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය පෙරේදා (22 වැනිදා) හිමි කරගෙන ඇත.

කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය අපොස සාමාන්‍ය පෙළ සහතික පත‍්‍ර විභාගයෙන් දිවයිනේ තෙවැනියා ලෙසත්, අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙසත් සමත්ව තිබේ. එසේම නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ දිවයිනේ ප‍්‍රථමයා ලෙසත් ඇය සමත් වී ඇත.

සිය වැඩිමහල් දුවගේ ජයග‍්‍රහණය පිළිබඳව පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුම තුළ තැබූ සටහන මේ වනවිට අන්තර්ජාල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ සුබ පැතුම් සහිතව ඉතා වේගයෙන් පැතිර යමින් තිබේ. පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුම තුළ තැබූ සටහනේ මෙසේ සඳහන් වේ.

‘‘මගේ දියණිවරු අයත් වන්නේ 1995 න් පසු ඇරඹෙන පරපුරටයි. මගේ වැඩිමහල් දියණිය අමා ඉකුත්දා මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය ලබා ගත්තාය. ඇයට පළමු පෙළ සාමාර්ථයක් ලබා ගැනීමටද දෙපාර්තමේන්තුවේ පළමුවැනියා වීමටද හැකි විය. ඇගේ ඒ ජයග‍්‍රහණයන් පිළිබඳව සඟවා ගත නොහැකි ආඩම්බරයක් මට තිබේ. ඇයට හා ඇගේ කණ්ඩායමේ ඇගේ සහෝදර සියලූ උපාධිධාරීන්ට මාගේ සුබ පැතුම්! අමා මේ ගමන ආවේ විවිධ දුක්ගැහැට මැදයි. මා ඇයගේ පියා වීම නිසා ඇයට ගැරහුම්, අපහාස, අවමාන ලැබිණි. ඒවාට ඇය මට සමාව දෙනු ඇතැයි සිතමි. එසේම ඒ සියලූ හැලහැප්පීම් මැද ඇගේ මව ඇයට විශාල ශක්තියක් වූ බවද කිව යුතුමය. ඇයට මා ඇමතුවේ ‘ලොකු පුතා‘ කියාය. පිටස්තරයන් ඉදිරියේ දී ඇය ‘අපේ ලොකු මිනිහා‘ විය. ඒ ඇමතුම ඇතැමුන් පුදුමයට පත් කළද ඇයට ඒ යෙදුම් ගැලපෙන්නේ තරුණියක් වුවද මවක් මෙන් සංයත හා පියෙක් සේ පරිණත නිසාය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment