පාඩු ආයතනවල අතිකාල දෙන්න මාසෙකට කෝටි 30ක්

93

දුම්රිය වාර්ෂික ආදායම කෝටි 200යි- වැටුප් හා අතිකාල කෝටි 260යි

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරය සතුව මුදල් නොමැති බව කීවත් මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයන්ට අනවශ්‍ය පරිදි විවිධ දීමනා හා අතිකාල සඳහා මසකට රුපියල් කෝටි තිහකට වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවන බව විගණන වාර්තා මගින් පෙන්වා දී තිබෙන බව විගණන නිලධාරීහු කියා සිටිති.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගනණාවක සේවකයන්ට හා විවිධ මට්ටමේ නිලධාරීන්ට ගෙවන අනවශ්‍ය දීමනා අනවශ්‍ය ලෙස අතිකාල ගෙවීම් නතර කළහොත් ඉන් විශාල මුදලක් රජයට ඉතිරි කරගත හැකිව ඇතැයි ද විගණන නිලධාරිහු කියා සිටිති.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම රුපියල් කෝටි දෙසීයක් (බිලියන 2) වුවත් වැටුප් හා අතිකාල දීමනා ලෙස වාර්ෂිකව රුපියල් කෝටි 260ක (බිලියන 2.6 ක්) වැයවන බව විගණන වාර්තා මගින් පෙන්වා දී ඇත.

රජයේ මුද්‍රණ දොපර්තමේන්තුව වසරකට රුපියල් කෝටි 80 (මිලියන 800) හා රුපියල් කෝටි 130 (මිලියන 1300) අතර මුදලක් විශේෂ දීමනා ලෙස ගෙවන බවද විගණනවල දී පෙන්වා දී ඇත. මීට අමතරව ඉකුත් වසරේ දී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පනස්හය දෙනකු සඳහා රුපියල් එක්කෝටි විසිහත් ලක්‍ෂයක මුදලක් දීමනා ලෙස ගෙවා දමා ඇතැයි ද රජයේ විගණනයේ දී තහවුරු වී ඇත. මෙයාකාරයට පාඩු ලබන රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දීමනා වරප්‍රසාද අතිකාල දීමනා ගෙවන බව ද විගණන වාර්තා මගින් දිගින් දිගට ම පෙන්වා දී තිබේ.

ඉකුත් වසර දහසක කාලයේ දී ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන වාර්ෂික විගණන වාර්තා යළි විමර්ශනයට ලක් කළ හොත් රාජ්‍ය ආයතන රැසක අනවශ්‍ය ගෙවීම් පිළිබඳ විස්තර ලබාගත හැකි බව ද ඔවුහු කියා සිටිති.

මෙම විගණන වාර්තාවල පිටපත් මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර තිබුණත් එම වාර්තා පදනම් කරගෙන මුදල් අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියකු ඒ කෙරෙහි කිසිදු අවධානයක් යොමුකර නැතැයි ද විගණන නිලධාරීහු කියා සිටිති.

ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ රාජ්‍ය සේවක වැටුප්, හා විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි තැනට පත්ව රට මූල්‍ය අර්බුදයක ගිලී තිබෙන මොහොතක අනවශ්‍ය වියදම් දීමනා කපා හරින ලෙසට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබුණ ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව ද ඔවුහු කියති.

පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයන්ට දෙසැම්බර් මස ලබාදෙන ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබුණත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉකුත් මස බෝනස් ලබා දී තිබිණි.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment