පාඩු ලබන ප්‍රාදේශීය ගුවන් විදුලි වසා දමයි

246

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ මස 31 වැනිදායින් පසු ගුවන් විදුලි සංස්ථාවේ දැඩි ලෙස පාඩු ලබන සියලු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා අදාළ සංඛ්‍යාත ඔස්සේ ජාතික ගුවන් විදුලි නාලිකා සමග ඒකාබද්ධව පවත්වාගෙන යෑමට එම සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව සියලුම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා මේ මස 31 වැනිදා සිට අදාළ සංඛ්‍යාත ඔස්සේ ජාතික ගුවන් විදුලි නාලිකා සමග ඒකාබද්ධ කරන ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම සංස්ථාවේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සේවා/සංවර්ධන) සහ සියලු ගුවන් විදුලි ප්‍රාදේශීය සේවා සහකාර අධ්‍යක්ෂවරුන් සහ පාලකවරුන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

මේ අනුව ගුවන් විදුලි සංස්ථාවේ සියලු ප්‍රාදේශීය සේවා එදිනෙන් අවසන් වනු ඇති බව ප්‍රකාශ වේ.

මේ අතර රුහුණ, රජරට සහ කඳුරට යන ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා සිංහල ස්වදේශීය සේවය සමගත් යාපනය ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය සහ පිර එෆ් එම් සේවය දෙමළ ස්වදේශීය සේවය සමගත් ඒකාබද්ධව කරන ලෙසටත් එම චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

කෙසේ වුවද වයඹ සහ දඹාන රේඩියෝ යන ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා සම්බන්ධයෙන් ගන්නා පියවර එකී චක්‍රලේඛයේ සඳහන් කර නැත. එසේ වුවත් එම සේවා ස්ථිර ලෙසම අවසන් කරනු ඇති බව ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද රේඩියෝ ශ්‍රී ලංකා ඉංග්‍රීසි නාලිකාව තවදුරටත් 97.4/97.6 ඵ්‍ය‘ ඔස්සේ දීපව්‍යාප්ත සේවාවක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන ලෙස ද අදාළ චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දන්වා ඇත.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment