පාතාලයට පෙම්බැඳි සන්ෂයින් සුද්දා පාතාලයෙන්ම වෙඩිකයි… ප‍්‍රසිද්ධ ගායකයෙක් නළුවෙක් ලඟින්ම ඇසුරු කරලා

761

මිරිස්ස ධීවර වරාය අතිශය කාර්යබහුල වී තිබුණේය. මාළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ධීවර වරාය පිරී ඉතිරී ගොස් තිබිණි.

ධීවර වරාය ඉදිරිපිට කුඩා තේ කඩයකි. මාළු මිලදී ගැනීමට එන බොහෝ දෙනෙක් මේ තේ කඩයෙන් වඩයක් කා ප්ලේන්ටියක් බීමට පුරුදුව සිටියහ. 2020 වර්ෂයේ මැයි මාසයේ 30 වැනිදා පෙරවරුවේ මේ තේ කඩය ඉදිරිපිට කීපදෙනෙකුම තේ පානය කරමින් සිටියහ. ඒ අතර වඩයක් කමින් ප්ලේන්ටියක් පානය කරන හීන්දෑරී උස තරුණයෙකි. ්ඔහු සිටියේ තරමක තුෂ්නිම්භූත වූ බවකින් ය. ප්ලේන්ටිය පානය කළේ හතර අත නිරීක්‍ෂණය කරමින්ය. මේ කෙසඟ තරුණයා මිරිස්සට ආගන්තුකයකු නොවීය. ඔහු නමින් සන්ෂයින් සුද්දාය. ඔහුට අයත් බහුදින ධීවර යාත‍්‍රා දෙකක් මිරිස්ස වරායට සේන්දු වී තිබුණේය. සන්ෂයින් සුද්දා මිරිස්ස ධීවර වරායට පැමිණ සිටියේ මේ බෝට්ටු දෙකෙන් රැගෙන ආ මත්ස්‍ය අස්වැන්න විකිණීම සඳහා ය. මාරයා තමන් පසුපස ලූහුබඳිමින් සිටින බව සන්ෂයින් සුද්දා දැන සිටියේ නැත. ඒ වන විටත් නදුන් චින්තකගේ එහෙමත් නැත්නම් හරක්කටාගේ ගෝලබාලයන් දෙදෙනෙකු මිරිස්ස ධීවර වරාය වෙත පැමිණ සිටියේය. ඔවුහු සන්ෂයින් සුද්දා ප්ලේන්ටි පානය කරමින් සිටින අයුරු දුර සිටම නිරීක්‍ෂණය කරමින් සිටියහ.

‘හරක්කටා’ යනු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ වර්තමානයේ සිටින ප‍්‍රධානම ජාවාරම්කරුවන් කීපදෙනාගෙන් එකෙකි. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින හරක්කටා හෙරොයින් තොග පිටින් මෙරටට පටවමින් සිටියි. ශ‍්‍රී ලංකාවට රැුගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ 200කට අධික ප‍්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේය. ඒ හෙරොයින් තොගය අත්අඩංගුවට පත්වීම ගැන හරක්කටා සිටියේ දැඩි වෛරයකින් යුතුවය. හරක්කටා විශ්වාස කළේ තමන්ට අයත් මේ හෙරොයින් තොගය අල්ලා දීමට ඔත්තු ලබා දුන්නේ සන්ෂයින් සුද්දා කියාය. හරක්කටා සන්ෂයින් සුද්දා ඝාතනයට මරණ වරෙන්තු නිකුත් කරන්නේ ඉන් පසුවය. හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ගෝලයන් දෙදෙනෙකු ඒ සඳහා යොදවා සිටියේය. මිරිස්ස ධීවර වරාය අසලට පැමිණි මේ කුලී මිනීමරුවන් දෙදෙනා සන්ෂයින් සුද්දාගේ හැසිරීම නිරීක්‍ෂණය කරමින් සිටියේ අවස්ථාව ලැබුණු වහාම ක‍්‍රියාත්මකවීම සඳහාය.

පාතාලයට පෙම්බැඳි සන්ෂයින් සුද්දා පාතාලයෙන්ම වෙඩිකයි... ප‍්‍රසිද්ධ ගායකයෙක් නළුවෙක් ලඟින්ම ඇසුරු කරලා
ඝාතකයන් පැමිණි වෑන් රථය

ධීවර වරාය ඉදිරිපිට රැුස්ව සිටි ජනයා අතරින් මතු වූ කුලී ඝාතකයන් දෙදෙනා තේ කඩය ආසන්නයට ගමන් කරන්නට වූහ. හරක්කටා තමන් ඝාතනය කරන්නට අරඅඳිමින් සිටින බව ඒ වන විට සන්ෂයින් සුද්දා දැන සිටියේය. ඔහු දැඩි කුතුහලයකින් යුතුව හැසිරෙමින් සිටියේ ඒ නිසාය. එකවරම මතු වූ හරක්කටාගේ ගෝලයන් දෙදෙනා හඳුනාගත් සන්ෂයින් සුද්දා දැඩි ලෙස කලබලයට පත්වුණේය. පානය කරමින් සිටි තේ කෝප්පය පසෙකට දැමූ ඔහු ජීවිතය බේරා ගැනීමට දුවන්නට විය. හරක්කටාගේ ගෝලයන් දෙදෙනා සන්ෂයින් සුද්දා ලූහුබඳින්නට වූහ. එකකු අත තිබූ පිස්තෝලය සන්සයින් සුද්දා වෙත එල්ල කර කිහිපසැරයක් ක‍්‍රියාත්මක කළ ද එය ක‍්‍රියාත්මක නොවීය. ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් සුද්දා මිරිස්ස ධීවර වරායට ආසන්න අතුරු මාර්ගයක් ඔස්සේ දිව යන්නට විය. හරක්කටාගේ ගෝලබාලයන් දෙදෙනා ද ඔහු පසුපස දිවයමින් පිස්තෝලය ක‍්‍රියාත්මක කිරීමට කිහිපවරක් උත්සාහ කළේය.

එහෙත් වාසනාව තිබුණේ සන්ෂයින් සුද්දාගේ පැත්තේය. හරක්කටාගේ ගෝලයන් අත තිබු අවිය ක‍්‍රියාත්මක නොවීම නිසා සන්ෂයින් සුද්දාට අනතුරක් සිදුවුණේ නැත. ඔහු වැටි වැටී දිවගොස් මිරිස්ස වරාය ආසන්නයේ පිහිටි නිවසක සැඟවී දිවි ගලවා ගත්තේය. සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමට පැමිණි එකකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබුණේය. මේ සිදුවීම සන්ෂයින් සුද්දා දැඩි ලෙස කම්පනයට පත් කරවීමට සමත් විය. එතැන් පටන් ඔහු ජීවත් වන්නට පටන් ගත්තේ දැඩි ආරක්‍ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් ය. සන්ෂයින් සුද්දාට මිරිස්ස ප‍්‍රදේශය පුරා කිසියම් ප‍්‍රසිද්ධියක් ලැබෙන්නේ මේ සිදුවීමෙන් පසුවය. මිරිස්සේ සාමාන්‍ය ධීවර පවුලක උපත ලැබූ සුද්දා හොඳ අධ්‍යාපනයක් ලැබුවේ නැත. පාසල් අධ්‍යාපනයෙන් පසු බෝට්ටු රස්සාව තෝරාගත් සුද්දා ඒ හරහා ජීවිතය ජය ගැනීමට උත්සාහ කළේය. ඔහු හැම විටම සිහින මැව්වේ පොහොසතකු වීමටය. සුරූපී තරුණියන් ඇසුරට සුද්දා දැක්වූයේ දැඩි ලොල් බවකි. තරුණ වියට එළඹෙද්දී මිරිස්සේ තරුණියන් දෙතුන්දෙනකු සමඟම සුද්දා පේ‍්‍රම සබන්ධතා ගොඩනඟාගෙන සිටියේය. සුද්දාගේ ප‍්‍රථම පේ‍්‍රම වෘත්තාන්තය ගොඩනැඟුණේ නදීෂා නමැති රූමත් තරුණිය සමඟය. විවිධ හැල හැප්පීම් මැද මේ පේ‍්‍රම වෘත්තාන්තය කාලයක් තිස්සේ ගලාගෙන ගියේය. මොන බාධක කම්කටොලූ ආව ද මේ පේ‍්‍රම වෘත්තාන්තයට ඉන් බාධාවක් වුණේ නැත. මිරිස්ස ප‍්‍රදේශයේ පදිංචි පවුලක් මිරිස්ස මුහුදු තීරයේ සන්ෂයින් නමින් අවන්හලක් පවත්වාගෙන ගියහ. මේ අවන්හලට වැඩිපුරම ආවේ විදෙස් සංචාරකයන් ය. ඒ නිසාම අවන්හලෙන් විශාල ආදායමක් ලබා ගන්නට එහි හිමිකරුවන්ට හැකි විය. සන්ෂයින් අවන්හල හිමි යුවළට සුරූපී දියණියක විය. ඇය නමින් කවිතා ය. සුද්දාට සන්ෂයින් හෝටලය හිමි යුවළගේ එකම දියණිය කවිතා දැන හඳුනාගැනීමට අවස්ථාව ලැබුණේය. මේ දැන හඳුනාගැනීම පේ‍්‍රම සම්බන්ධතාවක් දක්වා දුරදිග යන්නට වැඩි කාලයක් ගත වුණේ නැත. මේ ආදර කතාව බොහොම රහසිගතව කාලයක් තිස්සේ ගලාගෙන ගියේය. එහෙත් වැඩි කාලයක් මේ පේ‍්‍රම කතාව රහසක් ලෙස තබා ගන්නට කවිතාට ඉඩ ලැබුණේ නැත.

පාතාලයට පෙම්බැඳි සන්ෂයින් සුද්දා පාතාලයෙන්ම වෙඩිකයි... ප‍්‍රසිද්ධ ගායකයෙක් නළුවෙක් ලඟින්ම ඇසුරු කරලා

‘‘උඹට මොලේ අමාරුවද මේ මාළුකාරයෙක් එක්ක පැටලූනේ. හොඳ හිතින් ඕක නතර කරපං. නැත්නම් අපි නරක මින්ස්සු කියන්න එපා. උඹට අම්මයි තාත්තයි දෙන්නම නැතිඋනා කියලා හිතාගනින්. සුද්දා සමඟ ඇතිකරගෙන තිබූ පේ‍්‍රම සම්බන්ධය හෙළි වූ දින කවිතාගේ දෙමවුපියන් ඇයට බොහොම දරුණු ලෙස බැණවැදුණේය.

‘‘උඹව කපලා මුහුදෙ දැම්මත් මාළුකාරයෙකුට නම් දෙන්නෙ නැහැ. කවිතාගේ මව ද ඇයට බැණ වැදුනාය. මොනතරම් තර්ජන, ගර්ජන එල්ල වුවද කවිතාට සුද්දා අමතක කර දැමීමට හැකියාවක් තිබුනේ නැත.

‘‘අනේ අපි දැන් මොකද කරන්නේ. මට ඔයා නැතිව මොහොතක්වත් ඉන්න බැහැ. ඔයා ගන්න ඕනැම තීරණයකට මං කැමතියි.’’

කවිතා සුද්දාට කීවාය. ඒ වන විට සුද්දා ප‍්‍රශ්න ගොඩකට මැදිව සිටියේය. ප‍්‍රථම පේ‍්‍රමය වූ නදීෂා අමතක කර දැමීමට ඔහුට හැකියාවක් තිබුනේ ද නැත. කවිතා වැනි රූමත් උගත් ධනවත් තරුණියක් අතහැර දැමීමට ද සුද්දාට සිත ඉඩ දුන්නේ නැත. අවසානයේ සුද්දා තීරණයකට ආවේය. අපි දෙන්නා කොහෙ හරි යමු. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. මට පුළුවන් ඔයාව බලාගන්න. කවදහරි දවසක අපිට අම්මලා කැමැති වෙයි. එදාට අපි ආපහු එමු. කවිතාගේ දේපළ පිළිබඳව ද ඇස ගහගෙන සිටි සුද්දා ඇය තම බිරිඳ කර ගැනීමට තීරණය කළේය. කාටත් හොර රහසේම සුද්දා කවිතා ද කැටිව වෙනත් පළාතකට ගියේය. ඇය නීත්‍යනුකූලව විවාහ කරගත් සුද්දා කුලී නිවසක නතර වී අලූත් ජීවිතයක් පටන් ගත්තේය. කාලයක් යද්දී කවිතාගේ දෙමාපියන් ජීවිතවලින් සමුගත්තේ ඇයට සියලූ දේපළවල අයිතිය හිමිකර දෙමින්ය.

කවිතාට විශාල දේපළක් හිමිවීමත් සමඟම සුද්දාගේ ජීවිතය කණපිට පෙරලෙන්නට පටන් ගත්තේය. කවිතාගේ පියා කරගෙන ගිය සන්ෂයින් අවන්හල එතැන් සිට පාලනයට ගත්තේ සුද්දා විසින්ය. මිරිස්ස වැල්ලේ කරනම් ගැසූ නිකම්ම නිකන් සුද්දා අවසානයේ ‘සන්ෂයින් සුද්දා’ ලෙස ප‍්‍රසිද්ධියට පත්වුණේය. සන්ෂයින් අවන්හල ඉතාම සාර්ථකව කරගෙන යන්නට සුද්දාට හැකිවිය.

සංචාරක කර්මාන්තය ඉතාම සාර්ථකව පැවැති සමයේ සන්ෂයින් සුද්දාට අසීමිත ධනයක් මේ අවහන්හල හරහා ලැබුණේය. සන්ෂයින් අවහන්හල වෙන්වී තිබුණේ විදේශ සංචාරකයන් සඳහා පමණි. සංචාරකයන්ට අවශ්‍ය කරන මත්පැන්, කොකේන්, මත්ද්‍රව්‍ය ඇතුළු මෙකී නොකී සියලූ දේ සන්ෂයින් අවහන්හල හරහා ලබා දෙන්නට සුද්දා කටයුතු කළේය. විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණි කාලසීමාවේ සෑම සතියකට වරක්ම එක් දිනක් රාත‍්‍රියේ විශේෂ සාද පැවැත්වීමට සන්ෂයින් සුද්දා කටයුතු කළේය. මේ සාදවලට මත්පැන්, මත්ද්‍රව්‍ය සුරූපි ළඳුන් සමඟින් සියලූ දේ අන්තර්ගත විය. රැුය පහන් වනතුරු පැවැත්වෙන මෙම සාදය හරහා සුද්දා වරකට රුපියල් දසලක්ෂයකට ආසන්න ලාභයක් ලබා ගත්තේය. කාලයක් ගතවෙද්දී සුද්දා විශාල ධනවතකු බවට පත්වුණේය. මොන දේ කළත් ධීවර කර්මාන්තය අමතක කිරීමට සුද්දාට හැකි වුණේ නැත. තමන් උපයන විශාල ධනය යොදවා බහුදින ධීවර යාත‍්‍රා දෙකක් මිලට ගත් සුද්දා ධීවර කර්මාන්තය සඳහා ඒවා යෙදෙව්වේය.

පාතාලයට පෙම්බැඳි සන්ෂයින් සුද්දා පාතාලයෙන්ම වෙඩිකයි... ප‍්‍රසිද්ධ ගායකයෙක් නළුවෙක් ලඟින්ම ඇසුරු කරලා

බහුදින ධීවර යාත‍්‍රා වලින් ලැබුණු ආදායම යොදවා ඔහු කාමර හයකින් සමන්විත පුංචි හෝටලයක්ද මිලට ගත්තේය. සන්ෂයින් සුද්දා විදෙස් සංචාරකයන්ට මේ හෝටල් කාමරවල නවාතැන් පහසුකම් ලබාදී ඉන් විශාල ආදායමක් උපයා ගත්තේය. අතමිට මුදල් යහමින් ගැවසෙද්දී විවිධ දුරාචාර සන්ෂයින් සුද්දා සොයා එන්නට විය. ඉන් ප‍්‍රධාන තැන හිමිවුණේ පරදාර සේවනයටය. සන්ෂයින් සුද්දා සුරූපී තරුණියන් ඇසුරට දැක්වූ දැඩි ලොල් බව නිසාම ඔහු විවිධ කාන්තාවන් සමඟ සබඳතා පවත්වාගෙන ගියේය. සුද්දාගේ ප‍්‍රථම පේ‍්‍රමය වූ නදීෂා ද ඔහු කිසිවිටෙකත් අමතක කළේ නැත. සුද්දා විවාහ වූ නිසා නදීෂාටද වෙනත් පුද්ගලයකු සමඟ විවාහ ගිවිස ගන්නට සිදුවිය. ඔහු නමින් සුමිත්ය. සුමිත්ද විවාහකයෙකි. දරු දෙදෙනකුගේ පියකු වූ සුමිත් ඒ විවාහය අතහැර නදීෂා කරකාර බැඳ ගත්තේය. සංචාරක මඟපෙන්වන්නකු වූ සුමිත් මහා කාලකණ්ණි චරිතයකි. මුදල් ලබාගැනීම වෙනුවෙන් තම බිරිඳ වුවද විකිණීමට ඔහු පසුබට වුණේ නැත. තම බිරිඳ නදීෂා විදේශිකයන්ගේ මනදොල පිනවා ගැනීම වෙනුවෙන් විකිණීමට සුමිත් කටයුතු කළේය. ඒ හරහා ඔහු විශාල ධනයක් උපයා ගත්තේය.

මේ කාලකණ්ණි ජීවිතය නදිෂා දැඩි ලෙස පිළිකුල් කළාය. ඒ වනවිට නදීෂා එක්දරු මවක්ව සිටියාය. තමන් මුහුණපා ඇති සියලූ ප‍්‍රශ්න සන්ෂයින් සුද්දාට නොසඟවා පැවසීමට නදීෂා කටයුතු කළේ ඇගේ පිළිසරණට ඒ වනවිට කිසිවෙක් හෝ නොසිටි නිසාය. අනේ සුද්දා මාව මේ අපායෙන් ගලවා ගන්න. මට මේ මිනිහ එක්ක දීග කන්න බැහැ. ඌ බලෙන් මේ වැඬේට මාව යොමු කරන්නේ. මට දැන් ජීවිතෙත් එක්ක තිත්ත වෙලා. තම ප‍්‍රථම පේ‍්‍රමය වූ නදීෂාට අත්වී ඇති ඛේදනීය ඉරණම ගැන සුද්දා සිය දහස් වාරයක් පසුතැවිලි වූවේය. මූ මහ තිරිසනෙක්නෙ. ඔයා බය වෙන්න එපා. මං ඔයාව බලාගන්නම් ඔයා දරුවත් එක්ක අම්ම ළඟට යන්න මට පුළුවන් ඔයාව ජිවිත කාලෙම බලාගන්න. සන්ෂයින් සුද්දාගේ උපදෙස් මත නදීෂා සිය දරුවා සමග මහගෙදරට ආවාය. මේ පවුල් දෙක අතර ආරවුල් හටගත්තේ එතැන් සිටය. සන්ෂයින් අවහන්හල විදේශ සංචාරකයන් සඳහා පමණක් වෙන්වී තිබුණද මෙරට ජනප‍්‍රිය ප‍්‍රසිද්ධ පුද්ගලයන් නිතර මෙහි ආහ. ජනප‍්‍රිය හා ප‍්‍රසිද්ධ චරිත ළඟින් ඇසුරු කිරීමේ අහිංසක ආශාවකින් සන්ෂයින් සුද්දා පෙළුණේය. ජනප‍්‍රිය චරිත සඳහා තම අවහන්හලේ දොරටු නොමිලේම විවෘත වුණේ ඒ නිසාය. සුරූපී ළඳුන්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය, මත්පැන් නොඅඩුව තිබූ නිසා සන්ෂයින් අවහන්හල වෙත ජනප‍්‍රිය පුද්ගලයන් කීපදෙනකුම යන්නට එන්නට පුරුදුව සිටියේය.
ඒ අතර මෙරට තරුණ ගායකයකු සහ නළුවකු ද වූහ. ඔවුන් දෙදෙනා නිතර සන්ෂයින් අවහන්හල වෙත ආවෝය. කාලයක් යද්දී මේ නළුවා සහ ගායකයා සන්ෂයින් සුද්දාගේ සමීපතම මිතුරන් බවට පත්වූහ. මුදල් බලය, විවිධ බලවත් පුද්ගලයන්ගේ ඇසුර නොඅඩුව ලැබුණු නිසා සන්ෂයින් සුද්දා ඒ වනවිට මිරිස්සේ වැඩකාරයකු බවට පත්වෙමින් සිටියේය. පාතලයේ කෙරුම්කාරයන් කීප දෙනකුම දැන හඳුනාගෙන මිරිස්සේ චණ්ඩියකු බවට පත්වීමේ සිහිනයක්ද සන්ෂයින් සුද්දාගේ හිතේ කාලයක් තිස්සේ පැලපදියම් වී තිබුණේය. ඒ වනවිට මෙරට පාතලයේ ගෝඞ් ෆාදර් ලෙස කුප‍්‍රකටව සිටියේ මාකඳුරේ මධුෂ්ය. මධුෂ් වැන්නකු දැන හඳුනාගෙන සමීප මිතුරකු බවට පත්කර ගැනීම හරහා තමන්ට විශාල බලයක් හිමිවනු ඇතැයි යන අඥාන සිතුවිල්ල සන්ෂයින් සුද්දාගේ හිතේ නිතර හොල්මන් කළේය. තම සමීප මිතුරන්ව සිටි නළුවා සහ ගායකයා මාකඳුරේ මධුෂ්ගේ සමීප මිතුරන් බව සන්ෂයින් සුද්දා හොඳින් දැන සිටියේය. මේ අතර මධුෂ් තම දරුවාගේ උපන් දින සාදය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සූදානම් වුණේය. ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ මිතුරන් විශාල පිරිසකටද ආරාධනා ලැබී තිබුණේය. මධුෂ්ගේ මිතුරන් වූ නළුවා සහ ගායකයාට ද ඒ සඳහා ආරාධනා ලැබුණේ සාදය රසවත් කිරීමට ගීත ගායනයෙන් එක්වීම සඳහාය.

සාදයට යෑමට පෙර නළුවා සහ ගායකයා මිරිස්සේ රවුමක් ගසන්නට ගියහ. ඒ අතර සන්ෂයින් සුද්දාට ද ඩුබායි යන්නට ඔවුන් ආරාධනා කළේය. අපි ඩුබායිවල ලොකු ෂෝ එකකට යනවා. ඔයත් එන්න අපි එක්ක යන්න. මධුෂ්වත් අඳුන ගන්න පුළුවන් එහෙ ගියාම.

ගායකයාගේ හා නළුවාගේ ආරාධනය සන්ෂයින් සුද්දා හිස් මුදුනින් පිළිගත්තේය. පාතාලය ගැන වැළඳී තිබූ උණ සුව කරගැනීමට මධුෂ් හමුවීමට ලැබීම ගැන සුද්දා සිටියේ දැඩි උනන්දුවෙන් යුතුවය. විශාල මුදලක් වැයකර නළුවා සහ ගායකයා සමඟ ඩුබායි රාජ්‍යය වෙත යන්නට සන්ෂයින් සුද්දාට හැකි විය. එහෙත් ඩුබායි රාජ්‍යයේදී සිදුවුණේ කිසිවකුත් නොසිතූ දෙයකි. මාකඳුරේ මධුෂ්ගේ උපන්දින සාදය ඩුබායි පොලිසිය වට කළේය. මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් මධුෂ් ඇතුළු පුද්ගලයන් 25 දෙනකු පමණ ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

ඒ අතර නළුවා සහ ගායකයා මෙන්ම පාතාලයට පෙම්බැඳි සන්ෂයින් සුද්දා ද වූහ. මාස ගණනක් තිස්සේ ඩුබායි සිරගෙවල්වල ලැග සිටි මේ පිරිස පසුව ශ‍්‍රී ලංකාවට පිටිවහල් කරනු ලැබීය. සන්ෂයින් සුද්දාට ද ඒ ආකාරයට නැවත ශ‍්‍රී ලංකාවට නිරුපද්‍රිතව එන්නට වාසනාව ලැබුණේය. එසේ පැමිණි පුද්ගලයන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන ඔවුන්ට ඇති වැරදි පිළිබඳ සොයා බැලීමට කටයුතු කර තිබුණේය. ඒ වනවිට සන්ෂයින් සුද්දාට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් පොලිස් පොත්වල සටහන්ව තිබුණේ නැත. ඒ නිසාම සන්ෂයින් සුද්දා ඇප මත මුදාහැරීමට පොලිසිය කටයුතු කර තිබුණේය.

මධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියෙන් පසු සන්ෂයින් සුද්දා මිරිස්සට එන්නේ වැඩකාරයකු ලෙසය. ඔහුට ගොඩනඟා ගැනීමට අවශ්‍ය වී තිබූ පාතාල ලේබලය ඒ වනවිට ඔහුට ලැබී තිබුණේය. මාකඳුරේ මධුෂ්ගේ සමිපතමයකු ලෙස සන්ෂයින් සුද්දා මිරිස්සේ ප‍්‍රසිද්ධ වන්නේ මේ සිද්ධියෙන් පසුවය. ඒ වනවිට තම ප‍්‍රථම පේ‍්‍රමය වූ නදිෂාගේ ප‍්‍රශ්නය උඩුදුවා තිබුණේය. සුමිත් ඉතාම දරුණු අන්දමින් නදිෂාට තර්ජනය කරමින් විවිධ අඩන්තේට්ටම් කරමින් සිටියේය. ඔහු දුරකථන ඇමතුම් ලබාදී නදීෂාට පමණක් නොව සන්ෂයින් සුද්දාටද මරණ තර්ජන එල්ල කළේය.

‘‘උඹ පරිස්සම් වෙලා හිටපං සන්ෂයින් සුද්දාට කියපං පුළුවන් නම් ජීවිතේ බේරගන්න කියලා මම උඹලට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ.’’ සුමිත් නදීෂාගේ ජංගම දුරකථනයට නිතර ඇමතුම් දෙමින් තර්ජනය කළේය.

නදීෂා සමග දැඩි වෛරයකින් පසු වුව ද සුමිත් තම දරුවාට දැඩි ලෙස ආදරය කළේය. දරුවාගේ සෑම උපන් දිනයකටම ඔහු රැගෙන ගොස් උපන්දින කේක් කපා තෑගි බෝග ලබාදී දරුවා සතුටු කර එවීමට සුමිත් කටයුතු කළේය. ඒ ඔහු තුළ තිබූ දරු සෙනහස නිසාය. සුමිත් නිතර නිතර නදීෂාට දුරකථනයෙන් කතා කර බැණ තර්ජනය කිරීමට පටන් ගැනීම නිසා සන්ෂයින් සුද්දා සිටියේ ඔහු කෙරෙහි දැඩි වෛරයකින් යුතුවය.

මේ වැඬේ හරියන්නෙ නැහැ. ඔයා මගේ ළඟට එන්න. මට පුළුවන් ඔයාව බලාගන්න ආරක්ෂා කරන්න. ඔයාට මහගෙදර ආරක්ෂාවක් නෑනෙ. සුමිත් ඔයාට මොනවාහරි කළොත් මං ඌව නැති කරලා දානවා. සන්ෂයින් සුද්දා නදීෂාට කරුණු පැහැදිලි කරදී ඇය මහ ගෙදරින් කැඳවාගෙන ගොස් ඔහුට අයත් සන්ෂයින් අවන්හලේ නතර කළේය. ඒ වනවිට සන්ෂයින් සුද්දා ද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට අතගසා සිටියේය. මිරිස්ස ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ආධිපත්‍ය ගොඩනඟාගෙන සිටියේ නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින්ය. හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීමේ කාර්ය භාර වී තිබුණේ මිරිස්සේ ලසන්ත වෙතය. හරක්කටා ඩුබායි සිට සියලූ ගනුදෙනු කළේ ලසන්ත සමගය. මිදිගම ලන්සියා මේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී සිටි තවත් ජාවාරම්කරුවෙකි.
කාලයක සිට සන්ෂයින් සුද්දා සහ හරක්කටාගේ ගෝලබාලයන් අතර පැවතියේ විශාල ආරවුලකි. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වී තිබූ මේ ආරවුල දිනෙන් දිනම උග‍්‍ර අතට හැරෙමින් තිබුණේය. සන්ෂයින් සුද්දා අපිට ලොකු තර්ජනයක් වෙනවා. ඌට වැඩක් දීලා ඌව අයින් කරලා දැම්මේ නැත්නම් අපට පස්සෙ කරදර වෙන්න පුළුවන්. ඒ නිසා ඌව ඉවරයක් කරලා දාන්න ප්ලෑන් එකක් ගහපල්ලා. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින හරක්කටා මිරිස්සේ ලසන්තට මේ ගැන කීවේය.

‘‘හරි බොස් අපි මේ වැඬේ ඉවරයක් කරලා දාමු. අපි ප්ලෑන් එකක් ගහන්නම් ඌව සීන් එකෙන් අයින් කරන්න.’’

සන්ෂයින් සුද්දා සහ සුමිත් අතර කාලයක සිට බද්ධ වෛරයක් දලූලා වැඩෙමින් තිබෙන බව මිරිස්සේ ලසන්ත දැන සිටියේය. සන්ෂයින් සුද්දා පරලොව යැවීමේ සැලසුම සඳහා සුමිත්ගේ ද සහාය ලබාගත යුතු බව තේරුම්ගත් ලසන්ත ඔහු මුණගැසී මේ පිළිබඳව සාකච්ඡුා කළේය.

‘‘අපට සපෝර්ට් කරපං මේ වැඬේ ඉවරයක් කරලා දාන්න. අපටත් ඌ එක්ක ඇරියස් එකක් තියනවා. සන්ෂයින් සුද්දා යන එන ගමන්බිමන් ගැන හොයලා කියපං ඉතුරු හරිය අපි බලාගන්නම්’’ ලසන්ත සුමිත්ට උපදෙස් දුන්නේය. ලසන්ත සහ හරක්කටාගේ කල්ලියේ සාමාජිකයන් තිදෙනෙක් ඉකුත් අගෝස්තු මස අවසන් සතියේ රාති‍්‍රයක එකට හමුවූහ. මිරිස්ස ප‍්‍රදේශයේ හෝටලයකදී මත්පැන් පානය කරමින් මොවුහු සන්ෂයින් සුද්දා පරලොව යවන ආකාරය ගැන සාකච්ඡුා කළහ. ප‍්‍රහාරය සඳහා අවශ්‍ය කරන ටී56 ගිනිඅවිය සහ වෑන් රථයක් සූදානම් කිරීමේ කාර්ය ලසන්ත විසින් කර දුන්නේය.

‘‘ගිය පාර සුද්දාට ගහන්න ප්ලෑන් කරපු එක එහෙමපිටින්ම අහක ගියා. මොකද පිස්ටල් එක අවුල් වෙච්ච නිසා. මේ පාර වැඬේ කරන්න ඉස්සර ට‍්‍රයල් එකක් ගිහින් බලන්න ඕනෙ. නැත්නම් අපට ගිය පාර වගේ හිස් අතින් එන්න වෙන්නෙ. දන්නවනෙ ලොක්කගෙ ඕඩර්ස් හරියටම කරන්න ඕනෙ.’’

ලසන්ත සිය ගෝලබාලයන්ට උපදෙස් දුන්නේය. හරක්කටාගේ ගෝලයන් සන්ෂයින් සුද්දා ඝාතනය කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් කරගෙන සුමිත්ගෙන් ඔත්තුවක් ලැබෙනතුරු බලා සිටියහ. පසුගිය 03 වැනිදා ප‍්‍රහාරය සඳහා සියලූ කටයුතු සූදානම් කරගෙන සිටියහ. අද වැඬේ ඉවරයක් කරලා දාන්න ඕනෙ. උඹ අද සුද්දාව ෆලෝකරලා ගහන්න ලේසි තැනක් සෙට් කරලා දීපං. ලසන්ත සුමිත්ට දුරකථනයෙන් කතා කර කීවේය. එදින උදේ 11.00ට පමණ සුමිත්ගෙන් ලසන්තට ඇමතුමක් ලැබුණේය. සුද්දා දැන් නදීෂලාගේ මහ ගෙදරට ගියා. කළුපාට වෑන්්එකේ ගියේ. තව ටිකකින් ඌ ආපහු යයි. කොල්ලො ටික එව්වොත් දැන් වැඬේ කරලා දාන්න පුළුවන්. සුමිත් ලසන්තට කීවේය. ඝාතන කල්ලිය කි‍්‍රයාත්මක වූහ. ඔවුන් මිරිස්ස වරකාපිටිය ප‍්‍රදේශයට ආවෝය. සුද්දාට වෙඩිතැබීම සඳහා යොදාගෙන තිබූ ටී56 ගිනිඅවිය නිවැරදි ආකාරයට කි‍්‍රයාත්මක වනවාදැයි පරීක්ෂා කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. ඝාතකයන් මහමඟ පාළු ස්ථානයක වෑන්රථය නවතා ටී56 ගිනිඅවියෙන් ප‍්‍රහාර තුනක් කැලෑබද ප‍්‍රදේශයකට එල්ල කර එය නිවැරදිව කි‍්‍රයාත්මක වනවාදැයි පරීක්ෂා කළේය. සන්ෂයින් සුද්දා එදින පෙරවරු 11.00ට පමණ නදිෂාගේ මහගෙදරට ආවේය. නදීෂා කාලයක් තිස්සේ නිදන්ගත රෝගයකින් පෙළෙමින් සිටියාය. ඇයට අවශ්‍ය ආහාර පාන සකසා දුන්නේ නදීෂාගේ මව විසින්ය. ඒ ආහාර පාර්සලය රැුගෙන ඒම සඳහා සුද්දා නදීෂාගේ මහගෙදරට ආවේය. පැයකට ආසන්න කාලයක් මහගෙදර ගත කළ සුද්දා ආහාර පාර්සලය ද රැුගෙන නිවසින් පිටවුණේ සන්ෂයින් අවන්හල වෙත යන අරමුණු ඇතිවය. එහෙත් මාරයා මහ මඟදත් විලිස්සාගෙන තම පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බව සන්ෂයින් සුද්දා මොහොතකටවත් සිතුවේ නැත.

වෑන්රථය ප‍්‍රධාන මාර්ගයට හරවා වැඩිදුරක් යන්නට ඉඩ ලැබුණේ නැත. කොහේදෝ සිට ආ ටී56 වෙඩි උණ්ඩ පෙළක් සුද්දාගේ සිරුර පසාරු කරගෙන ගියේය. අනපේක්ෂිත ප‍්‍රහාරයට ලක්වූ සුද්දා වෑන්රථය තුළම ඇද වැටුණේය. පාලනයෙන් තොරව ඉදිරියට ධාවනය වූ වෑන් රථය අසල තිබූ පාසලක තාප්පයේ ගැටී එයද පෙරළාගෙන ගොස් නතර වුණේය. ඒ වනවිට සුමිත් ද සන්ෂයින් සුද්දා අවසන් ගමන් ගොස් ඇත්දැයි තහවුරු කර ගැනීමට වෑන්රථය අසලට ගොස් පරීක්ෂා කළේය. ඒ වනවිටත් සන්ෂයින් සුද්දා අවසන් ගමන් ගොස් සිටියේය. ඉලක්කය සාර්ථක වී ඇති බව ලසන්තට දුරකථනයෙන් දැනුම්දුන් සුමිත් වහාම එම ස්ථානයෙන් ඉවත්වූයේ අත්පොලසන් දෙමින් තම පී‍්‍රතිය ප‍්‍රකාශ කරමින්ය. සන්ෂයින් සුද්දා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙන්නේ ඉන්පසුවය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත

ශී‍්‍ර දමින්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්, සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මේ වනවිට රට පීරමින් මිනිමරුවන් ලූහුබඳිමින් සිටිති.

(පොලිස් බුද්ධි වාර්තා ඇසුරෙන්)
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment