පාතාලයේ නවයක් ඉන්දියාවේදී ආයෙත් යුද්ධයක් පටන්ගන්න ගිහින්

976

හෙරොයින් ජාවාරම, මිනී මැරීම සහ අවි ආයුධ වෙළෙඳාම්වලටත් සම්බන්ධයි
කිඹුලා ඇලේ ගුණා සමග බුම්මා, පූකුඩිකන්නා, ලඩියා, වැල්ලේ සුරංග සහ ගාමිණිත් ඒ අතර

මෙරට පාතාලයට සහ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බොහෝ අපරාධකරුවන් සිටින්නේ විදෙස් රටවල්වල සැඟවීය. ඒ අයගෙන් 100 කට අධික පිරිසකට මේ වන විටත් ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබේ. ඒ දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහාය. එම අපරාධකරුවන් අතරින් වැඩි දෙනෙක් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොන්නට වැටෙන අපරාධකරුවන්ය. ඊට අමතරව පාතාලයට සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රබල ගණයේ පාතාලයින් 25 දෙනෙක්ම එම රතු නිවේදන නිකුත් වූවන් අතර සිටිති. ඒ සියලු දෙනාම මෙරට තුළ මත්කුඩු ජාවාරම සහ පාතාලය මෙහෙයවන දැවැන්තයන්ය.

මෙම අපරාධකරුවන්ගෙන් වැඩි පිරිසක් රැඳී සිටින්නේ එක්සත් එමීර් රාජ්‍යයේ ඩුබායිහීය. කොස්ගොඩ සුජී, ඇල්ටෝ ධර්මේ, මොහොමඩ් සිද්ධික්, මොහොමඩ් මුජහිඩ්, කිරුලපොන මොරිල්, ජූඩ් ප්‍රියන්ත, පද්මේ, රත්මලානේ ධර්මේ ඇතුළු අපරාධකරුවන් රැසක්ම සිටින්නේ එක්සත් එමීර් රාජ්‍යයේය. මෙම අපරාධකරුවන් එහි සිට පාතාල ක්‍රියාකාරකම් සහ හෙරොයින් ජාවාරම ජයටම සිදුකරගෙන යයි.

මෙරට පාතාලයේ ප්‍රබලයන් ලෙස වැජඹුණු මාකඳුරේ මධුෂ්, වෙලේ සුදා සහ කංජිපානි ඉම්රාන්ද සිටියේ ඩුබායි හීය. ඩුබාහි හැරුණු කොට කුඩු රජවරු කිහිප දෙනෙක්ම යුරෝපීය රටවල්වලද සැඟව සිටිති. ඒ අතරින් කුඩු ලාල් සිටින්නේ එංගලන්තයේය. ගොනාකෝවිලේ අංජු සහ කුඩු ලාල්ගේ දකුණු අත බඳු රූබන් සිටින්නේ ප්‍රංශයේය. බොරැල්ල මැගසින් පාරේ ප්‍රදීප්, එස්.ටී.එෆ්. නඳුන්, රත්ගම විදුර ඇතුළු මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාලයේ ප්‍රබලයන් රැසක්ම සිටින්නේ ඉතාලියේය. එකළ නම කියූ සැණින් දේශපාලනඥයන් පවා දණින් නැමුණු මෙරට පාතාලයේ ප්‍රබලයෙක් වූ නාවල නිහාල්ගේද කලක් නවාතැන්පළ වූයේ ඉතාලියයි.

මෙම අපරාධකරුවන්ගෙන් රැසක්ම එම රටවල්වලට පැන ගත්තේ ඉන්දියාවට බෝට්ටුවෙන් ගොසින්ය. එලෙස ඉන්දියාවට බෝට්ටුවෙන් යන ඔවුන් ඉන්දියාවේ දී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා ගෙන ඉහත සඳහන් රටවල්වලට පැන ගොස් තිබේ. බහුතරයක් එලෙස පැන යන අතර තවත් පිරිසක් ඉන්දියාවේ රැඳී සිටිමින් මෙරට පාතාලය සහ හෙරොයින් ජාවාරම මෙහෙයවති.

එලෙස ඉන්දියාවේ සිටින ප්‍රබලම පාතාලයකු වූයේ තෙල් බාලායි. ඔහුට එහි කුලී රථ 200 ක්, ක්‍රීඩා සමාජයක් සහ තවත් ව්‍යාපාර රැසක් තිබී ඇත. එයට අමතරව දේශපාලනඥයන් සමගද සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබේ. මේ සියලු දේවල් ඔහු සිදු කරගෙන ගියේ හොරොයින් ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් හරහා ය. පසුව එහිදී සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර ඔහු මියගියේය. තවත් පාතාලයෙක් වූ අංගොඩ ලොක්කාද මෙරටින් පැන මියයන තුරුම ජීවත් වූයේ ඉන්දියාවේය.

කිඹුලා ඇළේ ගුණා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් “කෙනඩි බුම්මා”, බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩූ කන්නා”, සුරංග ප්‍රදීප් නොහොත් “වැල්ලේ සුරංග”, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා නොහොත් “කොට ගාමිණී”, ධනුක රොෂාන්, මොහොමඩ් අස්මින්, ලඩියා සහ තිලීපන් යන පාතාලයේ ප්‍රබලයන්ද සිටින්නේ ඉන්දියාවේය.

ඉන්දියාවේ සිට මෙරට පාතාලය සහ හෙරොයින් ජාවාරම් මෙහෙයවූ මෙම අපරාධකරුවන් පසුගිය 19 වැනිදා ඉන්දියන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරමට සම්බන්ධ බව හෙළි වීමත් සමඟයි. එරට බුද්ධි අංශ නිලධාරීහු කලක සිට මොවුන් පිළිබඳව නිරීක්ෂණය කර තිබුණි. එම වාර්තාවල දැක්වෙන්නේ 1999 වසරේ දෙසැම්බර් මස 18 වැනිදා කොළඹ නගර සභා පිටියේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයකට අදාළව අධිකරණයෙන් වසර 200ක සිරදඬුවම් නියමව සිටින “කිඹුලා ඇළේ ගුණා සමඟ 9දෙනකු මෙලෙස තමිල්නාඩු දෙමළ සරණාගත කඳවුරකදී අත්අඩංගුවට පත්ව ඇති බවයි.

පාතාලයේ නවයක් ඉන්දියාවේදී ආයෙත් යුද්ධයක් පටන්ගන්න ගිහින්
ඉන්දියාවේ පරීක්‍ෂණ සිදුකරන නිලධාරින්

අපේ රටේ මත්කුඩු ජාවාරමේ ආරම්භක පුරුක් අතර ඉහළින්ම සිටින්නේ කිඹුලා ඇළේ ගුණාය. දශකයකට ආසන්න කාලයක් තිස්සේ ගුණා සිටියේ ඉන්දියාවේය. ජීවත්වූ ප්‍රදේශයේ ඔහු ප්‍රභූ චරිතයකි. තමිල්නාඩුවේ තූත්තුකුඩියේ මුල් කාලයේ ජීවත් වූ ඔහු පාපන්දු කණ්ඩායමක්ද නඩත්තු කළේය. මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ඉන්දියානු පොලිස් අත්අඩංගුවට ද ඔහු පත්ව ඇතත් එරට ඔහුට ඇති දේශපාලන හයිහත්තිය නිසාම වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටියේ නැත.

ඉන්දියාවේ පමණක් නොව, මෙරටද ඔහුට ඇති දේශපාලන සම්බන්ධකම් බොහෝය. ඉකුත් මහා මැතිවරණයේදී පවා ඔහු ඉන්දියාවේ සිටියත් කොළඹ අපේක්ෂකයකුගේ ජයග්‍රහණයට සිය ගෝලබාලයන් මෙහෙයවා තිබුණේ කෝටි ගණනින් මුදල් විසිකරමිනි. අද ඔහු ප්‍රබල ඇමැතිවරයෙකි.

කිඹුලා ඇළේ ගුණා රටින් පලායන්නේ මහින්ද ආණ්ඩුව පැවැති සමයේ පාතාල අපරාධකරුවන් සුදු වෑන් රථවලින් පැහැර ගැනීමට ලක්වීමත් සමගිනි. බෝට්ටුවක නැඟී ඔහු ඉන්දියාවට යන්නේ සිය සහෝදරයා වූ සුරේෂ් ද කැටිවය. ඒ වන විටත් ඔහුට එරෙහිව බස්නාහිර පළාත් සභාවේ එවකට පොදු පෙරමුණේ සිටි ඇමැතිවරයෙක් වූ සුනිල් මෙන්ඩිස් ඝාතනයේ චෝදනාවක් තිබුණේය.

ඔහු ඉන්දියාවට පනින්නට ආසන්නතම හේතුව වන්නේ ඔහුගේ ගෝලබාලයන් සිව් දෙනෙක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැහැර ගැනීමකට ලක්ව දොම්පේ පැත්තේ සුසාන භූමියක වෙඩි තබා ඝාතනය කිරීමය. කිඹුලා ඇළේ ගුණා ඉන්දියාවට පළා ගියේය.

ඔහු ඉන්දියාවට පළා ගිය පසුව ඔහුගේ මස්සිනා යැයි කියනු ලබන පුද්ගලයෙක් ඇතුළු කිහිප දෙනෙක් වෙන්නප්පුව පැත්තේ වගුරුබිමක ඝාතනය වූයේය. එම ඝාතනයෙන් පසු ගුණා පොලිසියට ඉන්දියාවේ සිට අභියෝග කරන්නේ පොලිස් පරීක්ෂකවරයෙක් වූ ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරියව අතුරුගිරියේදී කුළී ඝාතකයන් යොදා වෙඩි තබා මරා දැමීමෙනි. කිඹුලා ඇළේ ගුණා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පොලිස් අධිකාරිවරයෙක්ව සිටියදී ඝාතනය කිරීමටද මාන බැලුවේය. ගුණාගේ එල්.ටී.ටී.ටී.ඊ. සම්බන්ධකම් සොයා ගනිමින් එල්.ටී.ටී.ඊ. යෙන් ඔහුට ලැබී තිබුණු ස්නයිෆර් වර්ගයේ ගිනි අවි සොයා කෙරුණු මෙහයුමක් අඩපණ කිරීමට එම පොලිස් නිලධාරියාව ඝාතනය කිරීමට මාන බලා තිබුණේය. ඒ ඔහුගේ සමීපතම ගෝලයෙක් වන කොට ගාමිණී යොදාගෙනය.

කොට ගාමිණීත් මුල් කාලයේම ගුණා සමග ඉන්දියාවට පැන්නේය. ගුණාගේ මත්කුඩු ජාලය ඉන්දියාවේ සිට මෙහෙයවනු ලැබුවේ කොට ගාමිණීය. මෙරටින් ඉන්දියාවට පැන ගන්නා පාතාලයේ අපරාධකරුවන්ට එරට රැඳී සිටීමට පහසුකම් සපයා දෙන්නේද ගුණාය. 1999 වසරේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් රැළියේදී එවකට ජනාධිපති ධුරයේ රැඳී සිටි ජනාධිපති අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්කර ගනිමින් පුරහල් භූමියේ පුපුරා යන මිනිස් බෝම්බයටද ගුණාගේ සම්බන්ධයක් පැවතුණි. එම බෝම්බකාරිය පුරහල් භූමියට එවන්නේ ගුණාගේ කණ්ඩායමක් හරහාය. ඒ අය පෙනී සිටියේ චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආධාරකරුවන් ලෙසිනි.

මේ පිරිස භාරව සිටින්නේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. දැන් ඔහු ජීවතුන් අතර නැත. ඒ දේශපාලන ගැටුමකින් ඔහු වෙඩි වැදී ඝාතනය වී ඇති බැවිණි. කිඹුලා ඇල සිට පැමිණි ගුණාගේ පිරිස් පරීක්ෂාවකින් තොරව පුරහල් භූමියට එදා ඇතුළු කිරීමට චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශයට බලපෑම්කර තිබුණේ එම දේශපාලනඥයාය. ඔහු ගුණාගේ සමීපතයෙකි. එම දේශපාලනඥයා පමණක් නොව, වතුකරය හොල්ලාගෙන සිටි ප්‍රබල දේශපාලනඥයෙක්ද ගුණාගේ සමීපතයෙක් විය. ඒ නිසාම ගුණා කිඹුලා ඇල පැත්තේ පවත්වාගෙන ගියේ පාතාල අධිරාජ්‍යයකි. ඒ කොලිවුඩ් චිත්‍රපටවල මෙන්ය.

කිඹුලා ඇළ පැත්තේ ජනතාවට එකල පොලිසියට යෑම තහනම්ය. පැමිණිලි විභාග කළේ කිඹුලා ඇළ ගුණාගේ පාතාලයේ පොලිසිය සහ උසාවියයි. වරක් එම කිඹුලා ඇළ ගුණාගේ පොලිසියට සහ උසාවියට ප්‍රහාරයක් එල්ලවන්නේ නාඳුනන කණ්ඩායමකිනි. ඒ මධ්‍යම රාත්‍රියකදීය. එම ප්‍රහාරය එල්ලවී විනාඩි තිහක් ගතවන්නට මත්තෙන් පොලිස් ලොක්කන් පිරිවරාගෙන දේශපාලනඥයන් රොත්තක්ම කිඹුලා ඇළට එන්නේ ගුණාට හානියක් වීදැයි සොයා බලන්නටය. පොලිස් ලොක්කන්ට දේශපාලනඥයන් අණ දෙන්නේ එම ප්‍රහාරය එල්ල කළ අය වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසටය.

ගුණාගේ රාජධානිය පැත්තේ එකල පොලිසිය පස් පාගන්නේ නැත. එම රාජධානිය අයත් වූයේ මෝදර පොලිස් වසමටය. එම පොලිසියේ ස්ථානාධිපතිවරයා පවා පත්වූයේ ගුණාගේ අනුදැනුම ඇතිවය. ඇතැම් පොලිස් නිලධාරීන් උසස් වීම් ගන්නටත් ස්ථාන මාරුවීම් සකස්කර ගන්නටත් හමුවන්නට යන්නේ ගුණාවය. එක දුරකථන ඇමතුමකින් ගුණා ඒ අවශ්‍යතා ඉටුකරනු ලැබීය.

ගුණා රටින් පැනගත් පසු ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් පවා නිකුත් කළේය. ඒ 2010 වසරේදීය. ඉන්දියානු පොලිසිය අවස්ථා දෙක තුනකදීම ඔහුව අත්අඩංගුවට ගෙන මුදා හැර ඇත්තේද එම රතු නිවේදනය නිකුත්කර තිබියදීය. ඒ කිසිදු අවස්ථාවක දී ගුණාව ශ්‍රී ලංකාවට භාරදුන්නේ නැත.

මෙවරත් ගුණාව ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ පාතාලයට බැස සිටින බුම්මා නමැති එල්.ටී.ටී.ඊ. වෙඩික්කරු ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයන් නවදෙනකු සමඟින්ය. බුම්මාද පාතාලයේ හඳුනා ගැනීම අනුව වැඩ්ඩෙකි. කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ව කොටහේනේදී ඝාතනය කළේ ඔහුය.

බුම්මාගේ මත්කුඩු තොගයක් ගිනි අවි රැසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ජා-ඇල පැත්තේ නිවසකින් සොයා ගන්නේ මෑතකදීය.

ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් “කෙනඩි බුම්මා” යනු කොන්ත්‍රාත් ක්‍රමයට මනුෂ්‍ය ඝාතන සිදුකරන වෙඩික්කරුවෙකි. පොලිස් වාර්තා අනුව කෙනඩි සිදුකර ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 6කට අධිකය. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම සහ දේපළ මංකොල්ලකෑම් යන චෝදනා ද ඔහුට එල්ල වී තිබේ. තවද මොහු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දක්‍ෂ වෙඩික්කරුවකු වූ මොහු යුද හමුදා ප්‍රහාරවලින් තුන් වරක්ම තුවාල ලබා තිබුණි.

අත්අඩංගුවට පත් වූ බාලචන්ද්‍රන් පුෂ්පරාජ් හෙවත් පූකුඩිකන්නා මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ප්‍රබල පාතාල සාමාජිකයෙකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ද මොහු සම්බන්ධතා පවත්වා තිබුණි. මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ආදි අපරාධ රැසක් මොහු විසින් සිදු කර තිබේ. කුඩු සෙල්වි ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ මොහු විසින්ය. එකල ඔහු බන්ධනාගාරගතව සිටියේය.

“කිඹුලා ඇළේ ගුණාගේ” සමීපතමයෙක් වන අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා නොහොත් “කොට ගාමිණී” මිනීමැරුම් 15ක් පමණ සිදුකර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම වැල්ලේ සුරංග නැමැත්තාටත් නීති විරෝධී අයුතු ජනරාශිය සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා රැසක් පවතී.

අතුරුගිරියේ ලැඩියා නැමැත්තා පාතාල කල්ලි නායක “සමයං” ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකි. එකල ඔහු අංගොඩ ලොක්කාගේ විශ්වාසවන්තම ගෝලයාය. හෙරොයින් ජාවාරමට සහ තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධ පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් අනෙක් අයද එලෙසම බරපතළ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය වෙති.

මිනීමැරුම්, ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම හවාලා ක්‍රමයට විදේශ මුදල් හුවමාරු කිරීම යන චෝදනා අත්අඩංගුවට ගත් පිරිසට එල්ලවී තිබේ.

එමෙන්ම පාකිස්තානය කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන හාජි සලීම් සමග සම්බන්ධ වෙමින් පකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු මොවුන් විසින් මෙහෙයවන බවට ඉන්දීය ඔත්තු සේවාව අනාවරණය කරගෙන තිබේ. පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ප්‍රධාන වශයෙන් මෙහෙයවන්නේ හාජි සලීම් බව නවදිල්ලියේ ත්‍රස්ත මර්දන කාර්යාලයේ වාර්තා පෙන්වා දෙයි.

බීබීසී පුවත් සේවය මේ පිළිබඳව තොරතුරු වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගත් ලාංකික සැකකරුවන් තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් යළි පණගැන්වීමට උත්සාහ කර ඇති බවට කරුණු අනාවරණය වන බවය. පසුගිය 19 දින අත්අඩංගුවට ගත් කිඹුලා ඇළේ ගුණා සහ කෙනඩි බුම්මා 2021 ජනවාරි මාසයේදීත් චෙන්නායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්ව තිරුචිරාපල්ලි විශේෂිත කඳවුරේ රඳවා සිටියේය. එම කඳවුරේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් වෙතින් සන්නිවේදන උපකරණ රැසක් හමුවීමෙන් පසු නැවත වරක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment