පාතාලයේ නීලක වෙඩිකා නසී – පෙර දිනක බිරිඳගේ අතපයත් කපලා

792

පරිවාස භාරයට පත් කිරීමට හෝරා කිහිපයක් තිබියදී සිය දරුවා රඳවා තිබූ නිවසට පැන ටී. 56 ගිනිඅවියකින් වෙඩි තබා යකා නටමින් ඔහුගේම දරුවා පැහැර ගෙන ගිය ඉලිබේ රංජිගේ පුතා නොහොත් ‘නීලක’ නමැති අපරාධ කල්ලි සාමාජිකයා ඊයේ (17 දා) සවස පොලිසිය හා සිදු වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

මෙම සැකකරු විසින් දරුවා පැහැරගෙන ගිය බවට පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු හොරණ බැල්ලපිටිය බීඩිකොළ හන්දිය ප‍්‍රදේශයේ සැඟව සිටි නිවස වැටලූ පොලිසිය හා විශේෂ පොලිස් කාර්ය බළකා නිලධාරීන්ට සැකකරු වෙඩිතබා ඇත.

එහිදී එල්ල වූ වෙඩි පහරකින් හොරණ නීලක නමැත්තා තුවාල ලබා ඇත. තුවාල ලබා සිටි සැකකරු හොරණ මූලික රෝහලට ගෙන යමින් සිටියදී මෙලෙස ජීවිතක්‍ෂයට පත් වූ බව පොලිසිය සඳහන් කළේය.

පාතාලයේ නීලක වෙඩිකා නසී - පෙර දිනක බිරිඳගේ  අතපයත් කපලා

මොහු සමඟ සිටි සැකකරුවකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පැහැරගත් දරුවා එම නිවසේ සිට නැති අතර දරුවා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. දරුවා වෙනත් ස්ථානයක තබා ඇතැයි පොලිසිය විශ්වාසය පළ කළේය.

මිනීමරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන මෙම පාතාල කල්ලි සාමාජිකයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි ද පොලිසිය පවසයි. ඊයේ (17 දා) පෙරවරු 7.40ට පමණ ත‍්‍රිරෝද රථයකින් දරුවා රඳවා සිටි නැන්දාගේ නිවස ඉදිරිපිටට පැමිණ ටී 56 ගිනිඅවියකින් අහසට වෙඩි තබා තර්ජනය කර නිවස තුළට ගොස් දරුවා පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

නීලක නමැත්තා රිමාන්ඩ් භාරයේ සිටි අවදියේදී ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවක් පැවැත්වීම හේතුවෙන් මීට සතියකට පමණ ඉහතදී සිය බිරිඳගේ අත් පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා හිසට ද බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි බව පොලිසිය කියයි.

ඊට අමතරව ඔහුගේ අනියම් බිරිඳ සමඟ සබඳතාවක් පැවැත්වූ බව කියන ත‍්‍රිරෝද රථ රියැදුරෙකු ද බුලත්සිංහල හල්වතුර ප‍්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයකු බව ද පොලිසිය කියයි.

නීලක නමැත්තා ඔහුගේ බිරිඳව මීට සතියකට පමණ ඉහතදී කපා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ එකම දරුවා අධිකරණය මගින් ඔහුගේ මව භාරයට තාවකාලිකව පත්කර තිබිණි. අද (18දා) පරිවාසයට යොමු කිරීම සඳහා දරුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි. එසේ තිබියදී ඊයේ (17 දා) පෙරවරුවේ සැකකරු ටී 56 ගිනිඅවියෙන් අහසට වෙඩි ප‍්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර එහිදී කිසිවෙකුටත් තුවාල සිදු වී නැතැයි පොලිසිය කියයි.

මීට වසර කීපයකට ඉහතදී හොරණ කිරිගලහේන ප‍්‍රදේශයේ වධකාගාරයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත. නීලක නමැත්තා ඇතුළු පිරිසක් තියුණු ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයේ සිට ඇප මත පැමිණ තිබූ බව පොලිසිය කියයි.

එම සැකකරු හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා දැඩිව ඇබ්බැහි වූවකු බවත් පොලිසිය කියයි.

පානදුර අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්‍ෂණ පැවැත්වීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියත් සමඟම නීලක නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා අවට පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා තිබිණි.

ඒ අනුව සැකකරු සැඟව සිටින නිවස පිළිබඳ පොලිසියට ලැබුණ තොරතුරකට අනුව පානදුර අපරාධ කොට්ඨාසය හා දූෂණ මර්දන පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇත.

නිවස වටලා ඇති බව දුටු සැකකරු පොලිසිය වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟ පොලිසිය පෙරළා එල්ල කළ වෙඩි ප‍්‍රහාරයට ලක්ව සැකකරු තුවාල ලබා තිබේ. තුවාල ලැබ සිටි සැකකරු හොරණ රෝහලට ගෙන යන අතරතුර මියගොස් ඇත.

කැස්බෑව ජයසිංහ – ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක,
සහ හඳපාන්ගොඩ – රජිත

advertistmentadvertistment
advertistmentadvertistment