පාතාලය කටුබැද්දේ යකා නටයි – වෑන් රියක ගිය දෙදෙනකුට වෙඩි තබා මරා දමති

855

සති 3ක් තුළ පාතාලයේ 12 වැනි බිල්ල

ඝාතනයට ලක්වූ උක්කුවා වසර 17 ක් හිරේ සිට  ඇප ලැබූ අයෙක්

පාතාලය කටුබැද්දේ යකා නටයි - වෑන් රියක ගිය දෙදෙනකුට වෙඩි තබා මරා දමති

මොරටුව, කටුබැද්ද මංසන්ධිය ආසන්නයේ ඊයේ (29) දහවල් යතුරුපැදියකින් කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ.

එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ වෑන් රථයක සිටි පිංවත්තේ උක්කුවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු සහ තවත් පුද්ගලයකු ඊයේ දහවල් 12.30ට පමණ මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් මෙම අපරාධය සිදුකර පලාගොස් තිබේ.

ඝාතනයට ලක්වූ අයට වෙඩි ප්‍රහාර 11ක් එල්ල කර තිබුණි.

මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ පානදුර, පිංවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයි. එච්. නිලන්ත කුමාර සිල්වා (41) හෙවත් “පිංවත්තේ උක්කුවා” සහ පානදුර කළුදෑවල, හේනවත්ත පදිංචිව සිටි මොහොමඩ් අර්ෆත් ශම්සාන් (31) නමැති දෙදෙනායි.

ඝාතනයට ලක්වූ “පිංවත්තේ උක්කුවා” අපරාධයකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී ඇපමත මුදා හැර සිටි අයකු බව හෙළිවී ඇතැයි ද පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ දෙදෙනා ගමන්ගත් වෑන් රථය කටුබැද්ද දෙස සිට පිළියන්දල දෙසට ගමන් කරමින් තිබී ඇති අතර ඊට පසුපසින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටී පනස්හය ගිනි අවියකින් වෙඩි පිට වෙඩි තබා පලාගොස් තිබූ බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්වූ දෙදෙනා වෑන් රථයේ ඉදිරිපස අසුන්වල ලේවිලක් මැද වැටී සිටි බව පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ ටී පනස්හය හිස් පතරොම් කොපු 11ක් වැටී තිබි සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර කාලයක සිට පැවැති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඝාතනයට ලක්වූ පිංවත්තේ උක්කුවා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ අයකු බව ද හෙළිවී තිබේ.

ගතවූ සති කීපය තුළ පාතාලය අතර ඇතිවූ ගැටුම්වලදී ඝාතනයට ලක්වූ 12 වැනි බිල්ල මෙය වේ.

ඝාතනය සිදුවූ ආකාරය ගැන සොයා බැලීමට පොලිසිය අවට සීසීටීවී කැමරා පරීක්‍ෂා කරමින් සිටී.

මේ පිළිබඳව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, මහතාගේ අධීක්‍ෂණය යටතේ මොරටුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පුෂ්පකුමාර ෆර්නැන්ඩස් මහතාගේ මෙහෙයවීමේන් අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂණ දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරී කණ්ඩායමක් තවත් පොලිස් කණ්ඩායම් 2ක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ඝාතනයට සම්බන්ධ දෙදෙනා ඊයේ සවස් වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

හේමන්ත රන්දුණු ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් – චමින්ද සිල්වා, රත්මලාන පින්සිරි ආරියරත්න, ආර්. ඒ. එස් ප්‍රේමතිලක – බණ්ඩාරගම – එස්. ආර්. ප්‍රනාන්දු මොරටුව

advertistmentadvertistment
advertistmentadvertistment