පාතාලය මර්දනය කර අරින්නේ කවුද..?

1148

තෙල් පෝලිම්වල බලය අල්ලාගන්නා මැර කණ්ඩායම් තෙල් බෙදීම් අවුල් කර, පොලිසියට හා හමුදාවට ද පාට් දමා, පෝලිම්වල තෙල් අපේක්ෂාවෙන් සිටින්නන්ගේ බලාපොරොත්තු විනාශ කරන බව පෙරේදා (21) දිවයින කතුවැකිය මගින් අපි කීවෙමු. එසේම, ඊයේ (22) කතුවැකිය තුළින් ද අප කීවේ ලීසිං මාරයා නැවතත් පැමිණ ලීසිං ගෙවාගැනීමට නොහැකිව අසරණ වී සිටින අහිංසක ජීවිත බිලිගන්නා කතාවයි. මේ සිද්ධීන් දෙකම පාතාල මැරයන්ගේ ඍජු සම්බන්ධතා ඇති, සමාජය අනුමත නොකරන නොහික්මුණු, සාපරාධී අපරාධ වේ.

තත්ත්වය මෙසේ තිබියදී අවි ගත් පාතාලයන් විසින් දිගින් දිගටම ජීවිත බිල්ලට ගැනීම ආරම්භ කර ඇත. ගතවුණු සති තුනේදී පමණක් පාතාලයන් විසින් 8 දෙනකු වෙඩි තබා මරා දමා ඇති අතර, ඉන් කිහිප දෙනකුම මිය ගියේ දෙනෝ දාහක් බලා සිටියදී මහ දවල් ප්‍රසිද්ධ තැන්වලදීය. පෙරේදා (21) දහවල් පෑලියගොඩ මැනිං වෙළෙඳපළට කඩාවැදුණු මැරයෝ එහි සිටි පලතුරු වෙළෙන්දෙකු ටී-56 අවියකින් වෙඩිතබා මරාදැමීම පාතාලයේ අලුත්ම බිල්ලයි.

මෙසේ පාතාලයන්ගේ ඉලක්කය වී මිය යන ඇතැමුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහි සාක්ෂිකරුවන් බවට ද හඳුනාගෙන ඇත. මේ නිසා තත්ත්වය අතිශය දරුණුය. පාතාලයන් තමන්ට එරෙහි අනිකුත් පාතාලයන් මර්දනයට අවි අමෝරාගෙන මරාගැනීම මේ රටට අලුත් දෙයක් නොවුණත් මෙසේ දිගින් දිගටම මත්ද්‍රව්‍ය නඩුවල සාක්ෂිකරුවන් ඇතුළු පුද්ගල ඝාතන රැල්ලක් මතුවීම බරපතළ සමාජ ඛේදවාචකයකි. එය වඩාත් බියකරුවන්නේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ආහාර පෝලිම් පවතින, ලයිට් නැති නිසා අඳුරේ පසුවන මෙවන් සමාජ කඩාවැටීමක් පවතින මොහොතක පාතාලය ද හිස එසවීම රට අරාජිකත්වයෙන් අරාජිකත්වයට පත්වීමක් වන නිසාය.

මෙසේ පාතාලය හිස ඔසවන්නට හේතුව සහ මහ දවල් ඝාතන රැල්ලක් නිර්මාණය වන්නට ප්‍රධාන හේතුව මේ වන විට පොලිසිය අකර්මණ්‍ය වී සිටීම ද යන්න ප්‍රශ්නයක් මතුවේ. එසේ නම් පොලිසිය හා මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා ඊට වගකීම භාරගත යුතුය.

රඹුක්කන පොලිස් වෙඩිතැබීමේ සිද්ධියෙන් පුද්ගලයකු මිය යෑම නිසා අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන්නට රජයටම සිදුවීම නිසාත්, ඊයේ – පෙරේදා කුරුණෑගල පැත්තේ තෙල් පෝලිමක හටගත් කලහයකදී පොලිසිය ක්‍රියාකළ අයුරු විවේචනයට ලක්වීම නිසාත්, අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් නිසාත් පොලිසිය දැන් බොහෝ කටයුතුවලට මැදිහත්වීම කර අරිනු දක්නට ලැබේ. තෙල් පෝලිම්වල අර්බුද ඒ අතරින් ප්‍රධාන ය. එසේම, රටේ වත්මන් දේශපාලන වාතාවරණය මගින් පොලිසිය අකර්මණ්‍ය කරන තැනට වැඩ සිදුවෙමින් පවතින බව පෙනේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම මගින් සමස්ත පොලිසියම කලකිරීමට ලක්ව යම් තාක් දුරට අකර්මණ්‍ය වී තිබෙනු දක්නට ලැබේ.

පාතාලයන්ගේ කටයුතු පාලනය කර උන්ගේ අත-පය බැඳ තබන්නට හැකි වූ කාලයක් තිබුණු බව අපට මතකය. එකල බොහෝ පාතාල හා මත්ද්‍රව්‍ය කෙරුම්කාරයන් අවි පෙන්නන්ට ගොස් අවසන් ගමන් ගිය හැටි ද අපට මතකය. එසේ නම් මෙසේ හිටිහැටියේ සහ මහ දවල්, දෙනෝදාහක් බලාසිටියදී යළිත් පාතාලය අවදිවන්නේ කෙලෙසද? ඒ අතපසුවීම (හෝ අතපසු කිරීම) කුමක්ද යන්න අප හඳුනාගත යුතුය. පොලිසිය අක්‍රියද යන පැනය මතුවන්නේ එහිදීය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පළාත භාරව කටයුතු කරන කල බොහෝ සෙයින් පාතාලය නිහඬවූ බව කවුරුත් දන්නා කරුණකි. එසේම, ගෝඨාභය රාජපක්ෂ මහතා පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් අවම කිරීම සඳහා සැලකිය යුතු නායකත්වයක් දී කටයුතු කළේය.

එසේ නම් දැන් සිදුවන්නේ කුමක්ද? කවුරුන් හෝ පාතාලය උඩ සිට මෙහෙයවන්නේද..? නැතහොත් පාතාල කෙරුමන් ඇතුළු ජාවාරම්කාරයන්ට ඔහේ ඕන දෙයක් කරන්නට ඉඩදී පොලිසියට බකං නිලාගෙන ඉන්නට කවුරුන් හෝ බලපෑම් කරන්නේද හෝ ඉඩහසර ලබාදී ඇත්ද..? මෙවන් ප්‍රශ්න, ගැටලු රැසක් මේ සම්බන්ධව අපට තිබේ. රට ආර්ථික වශයෙන් කඩාවැටී, දරිද්‍රතාවෙන්, ජීවන අපහසුතාවෙන් ජනයා කල් ගෙවන සමයක භීෂණය වපුරා, පාතාල කෙරුමන්ට ඕනෑ ඕනෑ විදිහට කටයුතු කරන්නට ඉඩදෙනවා නම්, කොටින්ම පාතාලයට රජවෙන්නට ඉඩදෙනවා නම් එය සමාජය නැත්තටම නැති කිරීමකි.

මේ තත්ත්වය ඉතා හොඳින් තේරුම් ගෙන පාතාල භීෂණය වහා නතරකොට රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන්නට පොලිසිය සවිබල ගන්වන ලෙස අපි ආණ්ඩුවට සිහිපත් කරන්නට කැමතිය.

advertistmentadvertistment
advertistmentadvertistment