පාතාලය හික්කඩුවේ යකා නටයි – කටා රොෂාන් ඝාතනයට පළිගැනීමක්

591

දකුණේ තවත් ඝාතන දෙකක්

හික්කඩුවේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ඊයේ (31 දා) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකු ටී56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මීට වසරකට පෙර කටා රොෂාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඝාතනයට එකට එක කිරීමක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා කටා රොෂාන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු හික්කඩුවට පැමිණ මාස දෙකක් ගත වීමට පෙර මොවුන් මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම විත්තිකරුවන් දෙදෙනා කටා රොෂාන් ඝාතන නඩුවට ඉදිරිපත් වීම සඳහා යතුරුපැදියකින් ගාල්ල අධිකරණය වෙත යමින් සිටියදී ඔවුන්ට ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට තවත් යතුරුපැදියක පැමිණි කුලී ඝාතකයන් දෙදෙනා ටී56 අවියකින් වෙඩි තබා ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ වැටී තිබී ටී56 අවි හිස් පතරොම් කොපු 17 ක් පොලිසිය සොයාගෙන ඇත.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි අප්පුවාහන්දි ප්‍රසන්න මෙන්ඩිස් සහ 26 හැවිරිදි ඉසුරු ප්‍රසන්න යන අය බව පොලිසිය පවසයි.

ඉකුත් 2021 වර්ෂයේ දෙසැම්බර් 21 වැනිදා හික්කඩුව තාලගස්දෙණිය ප්‍රදේශයේදී රොෂාන් ද සිල්වා නොහොත් කටා රොෂාන් නමැත්තා තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කර තිබිණි. මිතුරකුගේ නිවසේ සාදයක් සඳහා යමින් සිටියදී මෙම ඝාතනය සිදුවිය.

කටා රොෂාන් නමැත්තා හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී තිබිණි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්න මෙන්ඩිස් සහ ඉසුරු ප්‍රසන්න යන සැකකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන් දෙදෙනා ද මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පුද්ගලයන් බව විමර්ශනවලින් හෙළි විය.

කටා රොෂාන් ඝාතනය සිදුවී වසරක් ගත වන්නට පෙර එම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෝ දෙදෙනා මෙසේ ඝාතනයට ලක්වූහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් හතරක් පත් කර ඇති බවත්ය.

හේමන්ත රන්දුණු, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment