පාතාල නායිකාවක් වූ ජනමාධ්‍යවේදිනිය සැන්ඩ්‍රා බෙල්ට්‍රන්

427

විවාහ දෙකම පොලිසියේ උසස් නිලධාරීන් සමග

ඝාතන සිය ගණනක් සිදු කළත් සිර ගත වුණේ අවුරුදු හතකට

මෙක්සිකෝවේ සිට පැනමාව දක්වා 90 දශකයේදී කුඩු බෙදුවේ ඇයයි

රුධිරයෙන් සහ යකඩින් පදම් වූ පවුලක උපත ලැබූවත්, සුරූපී තරුණියක වෙද්දී ඇයට අවශ්‍ය වූයේ පෑනක් අතට ගන්නට මිස සිය අත් බෑගයේ පිස්තෝලයක් තබා ගන්නට නොවේ. ඒ නිසා පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය ජනමාධ්‍ය උපාධියක්ද ලබා ගත්තාය.

එහෙත් දෛවෝපගත ලෙස සිය ඉරණම ඇගේ සුරතට ලබා දුන්නේ උණ්ඩ පිරවූ පිස්තෝලයක් මිස, පෑනක් නොවේ. ඉක්බිති විශ්ව විද්‍යාලයකින් ලැබූ ජනමාධ්‍ය උපාධිය පසෙක ලා සමාජ තක්සලාවෙන් පිරිනැමුණු ඉගෙනුමට සරිලන පරිදි ඇය තම පරම්පරාවට අවේණික ගමන් මග ඔස්සේ දුර ගමනක යෙදුණාය.

ඒ මෙක්සිකෝවේ සිට පැනමාව දක්වාත්, කොළොම්බියාවේ සිට ජෝර්ජියාව දක්වාත් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ආධිපත්‍යය අතට ගත් පැසිපික් සාගරයේ අග රැජන යන විරුදාවලියට හිමිකම් ලබමිනි. සිය භාෂාවෙන් තම මව් රට වන මෙක්සිකෝව තුළ දී ලා රෙයිනා ඩෙල් පැසිපිකෝ යන නාමනේ හඳුන්වනු ලැබූ ඇයගේ සම්පූර්ණ නම සැන්ඩ්‍රා ඇවිලා බෙල්ට්‍රන්ය.

අනූව දශකයේ ආරම්භය තුළ මේ ආකාරයට දකුණු ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය විජිතය දිග් විජය කළ සැන්ඩ්‍රා බෙල්ට්‍රන් උපත ලබා තිබුණේ ද ප්‍රබල පාතාල නායකයෙකුගෙන් පැවත එන පරම්පරාවකය. 1960 වසරේ ඔක්තෝබර් මස 16 වෙනි දින සිදු වූ මෙම උපතට මව්පියන් වූයේ අල්පොන්සෝ ඇවිලා කොන්ටේ‍රරෝ සහ මාරියා ෆිලික්ස් යුවළය. මේ දෙදෙනාම ප්‍රබල පාතාල නායකයෙකු වූ රෆායෙල් කොන්ටේරෝගේ පරම්පරාවට අයත් වූ අතර, ඇය උපතින් ම මිගෙල් ෆිලික්ස් නමැති තවත් පාතාල නායකයෙකුගේ නෑණන්ඩිය බවට ද පත්වූවා ය.

ඇයගේ උපත සිදුවන විට මෙක්සිකෝවේ ආරක්ෂක අංශ කටයුතු කරමින් තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි නායකයන්ගේ අවශ්‍යතාවන්ට සරිලන ආකාරයට විනා ජනතාවට අවශ්‍ය ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් නොවේ. මෙන්න මේ පසුබිම හේතු කොට ගෙන, එරට පාතාල ලෝකයට පමණක් නොව ලොව අනෙක් රටවල පාතාලයින්ට ද එරට හොඳ අභය භූමියක් බවට පත්ව තිබුණේ ය.

පාතාල නායිකාවක් වූ ජනමාධ්‍යවේදිනිය සැන්ඩ්‍රා බෙල්ට්‍රන්

ඒ නිසා සැන්ඩ්‍රා බෙල්ට්‍රන්ගේ ළමා හා තරුණ විය ගොඩ නැගුණේ ද, එකී සංස්කෘතියට ආවේණික මත්ද්‍රව්‍ය. මිනීමැරුම්, ගණිකා වෘත්තිය ආදී කාරණා සාමාන්‍ය කරණය වී තිබූ ජන සමාජයක් තුළ ය. ඒ නිසා ඇය වඩාත් පහසු ව්‍යාපාරයක් වූ ගණිකා නිවාස පවත්වා ගෙන යමින් සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළාය.

මෙම පසුබිම යටතේ යෞවන වියට පත්වූ සුන්දර තරුණියක වූ සැන්ඩ්‍රා බෙල්ට්‍රන්ගේ ආදර සබඳතාවයන් ගොඩනැඟුණේ ද ධනවත් ව්‍යාපාරිකයන් බවට පත් වූ පාතාල නායකයන් සමග වීම පුදුමයට කරුණ නොවේ. මෙම පෙම්වතුන් හැරුණු කල රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සෑම දෙනකුම වාගේ ඇයගේ හොඳම මිතුරන් බවට පත්ව සිටියහ. මිත්‍රත්වයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන් සෑම දෙනකුටම අවශ්‍ය සුරූපිනියන් සපයනු ලැබුවේ, ඒ වන විටත් ඇය විසින් පවත්වා ගෙන යනු ලැබූ ගණිකා නිවාස වලින් වන බැවිනි. ඒ හේතු කොට ගෙන මේ ධනපතීන්ගේ මැදුරුවල පැවැති සෑම ප්‍රිය සම්භාෂණයකම ප්‍රධාන ආරාධිත අමුත්තියක් බවට පත්වීමට සැන්ඩ්‍රා බෙල්ට්‍රන්ට ගත වූයේ ඉතා කෙටි කාලයකි.

ඒ හරහා රටේ ඉහළම දේශපාලඥයන් ගණනාවක් හඳුනා ගැනීමේ අවස්ථාවද ඇයට උදාවූ අතර ඇයගේ ගණිකා නිවාස වල සිටි සුරූපිනියෝ මේ සබඳතාවන් තවදුරටත් ශක්තිමත් කර දීමට සැන්ඩ්‍රාට මහත් සේ උපකාරි වූහ. සැන්ඩ්‍රාගේ ගණිකා නිවාස වල සිටි තරුණියන් තුළ ද තම ස්වාමි දුව කෙරෙහි තිබුණේ අචල පක්ෂ පාතීත්වයකි. එයට හේතු වූයේ සැන්ඩ්‍රා නිරන්තරයෙන් ම ඔවුන්ගේ දුක සැප පිළිබඳව පමණක් නොව, ආරක්ෂාව ගැනද සොයා බැලූ හෙයිනි. විශේෂම කරුණ වූයේ තමා යටතේ සිටි තරුණියන්ට බලහත්කාරකමක් සිදු කරන්නට තැත් කළ හෝ සිදු කළ ඕනෑම ජගතකුට එරෙහිව තම රිවෝල්වරයෙන් උණ්ඩයක් මුදා හැරීමට ඇය දෙවරක් කල්පනා නොකිරීමය.

මේ ආකාරයට බලවතුන් සමග වූ ඇසුර වර්ධනය වීමත් සමග ගණිකා වෘත්තියෙන් ඔබ්බට සිය ව්‍යාපාර රැගෙන ගිය ඇය අවි ආයුධ ජාවාරමද, මත් ද්‍රව්‍ය බෙදා හැරීමද, ආරම්භ කරනු ලැබුවා ය. ඒ හැර තමන් නීත්‍යනුකූලව මුදල් ඉපයීමේ යෙදෙන බව රජයට සහ සෙසු ලෝකයාට අඟවනු පිණිස විවිධ ව්‍යාපාර ගණනාවක් ද පවත්වා ගෙන ගියාය.

බොහෝ දේශපාලනඥයන් සමග සමීප සබඳතාවන් පවත්වාගෙන යෑම හැරුණු කල ඇයගේ ඊළඟ තුරුම්පුව වූයේ තම හෙංචයින් කීප දෙනකු පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමය. ඔවුන් හරහා තමන්ට එරෙහිව මතුවුණු යම් යම් නීතිරීති ඒ මේ අත නවා ගැනීමටත්, තම නීත්‍යනුකූල ව්‍යාපාර සඳහා බදු මුදල් වංචා කරමින් අනියම් ලෙස කෝටි ප්‍රකෝටි ගණනින් හරි හම්බකර ගැනීමටත් ඇය සමත් වූවාය.

දෙවරක් විවාහ වූ සැන්ඩ්‍රා ඒ අවස්ථා දෙකෙහිදීම තම සැමියන් ලෙස තෝරා ගත්තේ මෙක්සිකෝ පොලිසියේ උසස් නිලධාරීන් දෙදෙනෙකි. සාමාන්‍යයෙන් අපරාධකරුවන්ගේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන්නේ අතීතයේ කිසි දිනක පොලිස් නිලධාරීන් පාතාලයට සම්බන්ධ කාන්තාවන් සමඟ විවාහ දිවියට එළඹී නැති බවකි.

එහෙත් ඒ වන විට ලොව දූෂිතම පොලිසිවලින් එකක් ලෙස සැලකුණු මෙක්සිකෝ පොලිසියේ නිලධාරීන්ට එය ගැටලුවක් නොවන්ට ඇත. අනෙක් පැත්තෙන් ඕනෑම පිරිමියෙකුගේ නෙත් සිත් ඇද බැඳ ගැනීමට සමත් සැන්ඩ්‍රා බෙල්ට්‍රන්ගේ රූ සපුවද ඒ සඳහා ප්‍රධාන තැනක් ගත්තා විය හැකිය. මෙම විවාහයන් හේතුකොට ගෙන සැන්ඩ්‍රාට වඩාත් ශක්තිමත්ව තම පාතාල ජාවාරම් වැඩි දියුණු කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදා වූවාසේම ආරක්ෂක අංශ වලින් එල්ල වන තර්ජන කලින් ම දැන හැඳින ගැනීමට අවස්ථාවක්ද උදාවන්නට ඇත.

නමුත් මෙම විවාහ ජීවිත දෙකටම වැඩි ආයුෂක් හිමි නොවුණේ මේ දෙදෙනාම නන්නාඳුනනා තුවක්කුකරුවන් අතින් ඝාතනයට ලක් වූ හෙයිනි. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ මෙක්සිකෝ පොලිසිය එම ඝාතනයන් දෙකම පිටිපසම සැන්ඩ්‍රා බෙල්ට්‍රන්ගේ හස්තය ක්‍රියාත්මක වන්නට ඇතැයි බොහෝ දුරට සැක කළා ය. නමුත් ඒ බව ඔප්පු කර ගත හැකි සාධක සොයා ගත නොහැකි වූවේය.

පොලිසිය එතැනින් නැවතුණ නමුත් සිය සැමියන් ඝාතනය වූ අවස්ථා දෙකෙහිදීම එම ඝාතනයන් පිට දමා තමාට පස මිතුරු පාතාල කණ්ඩායම් අතුගා දැමීමට ඇය පියවර ගත්තාය.

කාලයත් සමඟ සිය පවුලේ ව්‍යාපාරවල පරිපාලන බලය ඇය අතට පත්වෙද්දී සිය ජාවාරම් වඩ වඩාත් ව්‍යාප්ත කරවනු පිණිස ඇය විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරන්නට පටන් ගත්තාය.

ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ ඒ වන විට තරගකාරී මට්ටමින් ගොඩනැගෙමින් තිබූ අනෙකුත් පාතාල කල්ලි ගොඩ නැගීම මැඬ පවත්වා ඒවා තම අණසකට යටත් කර ගැනීමය. එසේ යටත් නොවන්නන් සිටී නම් කිසිදු පැකිලීමකින් තොරව ඔවුන් ඝාතනය කර දැමීමට ඇය මෙහොතකටවත් පසුබට නොවූවාය. මෙම සටනින් ජයගත් ඇය අනූව දශකයේ ආරම්භයත් සමග මෙක්සිකෝ පාතාලය සිසාරා තම අණසක පතුරවාලීමට සමත් වූවාය.

ලතින් ඇමෙරිකාව හරහා දකුණු ඇමෙරිකාවේ පැනමාව දක්වාත්, කොලොම්බියාවේ සිට ජෝර්ජියාව දක්වාත් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම තමන් සතු කර ගැනීමට මේ වන විට ඇය සමත්ව සිටියාය.

පාතාල නායිකාවක් වූ ජනමාධ්‍යවේදිනිය සැන්ඩ්‍රා බෙල්ට්‍රන්

මෙම මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මේ වන විට ඇයටම අයත් නෞකා ගණනාවක් තිබූ නමුත් ඒ කිසිවක් ඇගේ නමින් ලියාපදිංචි කර තිබුණේ නැත.

මේ කාලයේදී සිය විරුද්ධවාදීන් දෙසීයයකට අධික පිරිසක් ඇය අතින් ඝාතනයට ලක්වී සිටි අතර, ඒ කිසිවක් ඇයගේ ගිණුමට බැර කිරීම සඳහා අවශ්‍ය එකම සාක්ෂියක් හෝ සොයා ගැනීමට පොලිසිය සමත් වූයේ නැත.

එවකට ලොව පුරා ප්‍රචලිතව තිබූ ත්‍රස්තවාදී සංවිධාන සඳහා ආයුධ අලෙවි කිරීමද ඇගේ ව්‍යාපාරවල විශේෂ කොටසක් වූයේය. මේ කාලය වන විට මෙකී ජාවාරම් හේතු කොටගෙන ඇය විශාල මුදලක් ඉපයූ අතර, ඇගේ ආරක්ෂාව පිණිස වෙනමම ආරක්ෂක භට පිරිසක් යොදවා ගනු ලැබිණි. එමෙන්ම වනාන්තරයේ තැනින් තැන තිබූ රහස් ආයුධ ගබඩා ආරක්ෂා කිරීමට වෙනමම හමුදා ඛණ්ඩයක්ද ඇය විසින් ස්ථාපිත කළාය.

මේ කාලයේදී තවදුරටත් තම තම කටයුතු ව්‍යාප්ත කර ගැනීමට කල්පනා කළ සැන්ඩ්‍රා බෙල්ට්‍රන් ඒ සඳහා අනුගමනය කළේ දේශපාලනඥයන්ගේ ස්වභාවයේ ක්‍රියා මාර්ගයකි. ඒ උදෙසා කොලොම්බියාවේ සංචාරයක යෙදුණ සැන්ඩ්‍රා ඇයගේම ජාතියේ මිනිසෙකු වූ ජුවාන් ඩි ඩෝ රමිනෙෂ්ව එහිදී මුණ ගැසුණාය. දකුණු ඇමෙරිකානු පාතාලය තුළ මේ පුද්ගලයාව හඳුන්වනු ලැබුවේ ටයිගර් නොහොත් කොටියා යන අන්වර්ථ නාමයෙනි. එතනදී දෙදෙනා අතර වූ හමුවේ අරමුණ කුමක් වුවත්, අවසානයේදී කාටත් දක්නට ලැබුණේ මේ දෙදෙනා ඉතා කෙටි කාලයක් තුල දැඩි පෙම්වතුන් බවට පත්වී සිටින බවය. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ අරමුණ කුමක් වුවත් අවසානයේ දෙදෙනාගේම ව්‍යාපාර ජාලය වඩාත් ලාභදායී තත්ත්වයට ගෙන ඒමට සමත් වූයේය. එසේ වූයේ සැන්ඩ්‍රා විසින් බාධාවකින් තොරව මෙක්සිකෝව හරහා ඇමෙරිකා එක්සත් ජනපදයට මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට ඉඩ සලසා දීම හේතු කොට ගනිමිනි. එපමණක්ද නොවේ කොලොම්බියාවේ තිබූ ටයිගර්ගේ ගණිකා නිවාසවල සිටි තරුණියන් සහ දකුණු ඇමෙරිකානුවන් එක්සත් ජනපදයට යැවීමෙන්ද, ඇය විශාල ආදායමක් ඉපයූවාය.

දෙදහසේ නව සහශ්‍රකයේ ආරම්භය සැන්ඩ්‍රා බෙල්ට්‍රන්ට පමණක් නොව ලොව පුරා සිටි බොහෝ පාතාල අධිරාජ්‍ය හිමියන්ටද උදා කරනු ලැබුවේ අයහපත් කාල පරිච්ඡේදයකි. එයට හේතු වූයේ සමස්ත ලෝකය මුළුල්ලේ පාතාල අධිරාජ්‍යයන් මැඬ පැවැත්වීමේ වැඩසටහනක් ආරම්භ වූ හෙයිනි.

ඒ අනුව මෙක්සිකෝ රජයද සිය රටෙහි පාතාල කණ්ඩායම් මැඬ පවත්වනු සඳහා විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් හා මැති ඇමැතිවරුන් සමග ඇය තුළ පැවති සියලුම දේශපාලන සබඳතාද. අසීමිත මුදල් හා තමන් සතු මැර බලයද මේ අවස්ථාවේදී කිසිදු ප්‍රයෝජනයකට ගත හැකි නොවූයේ මෙකී මෙහෙයුම දියත් කර තිබුණේ අන්තර්ජාතික වශයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඬ පැවැත්වීමේ වුවමනාවක් පෙරදැරි කර ගනිමින් වූ බැවිනි. ඒ හේතුකොටගෙන එතෙක් අපරාජිතව සිටි සැන්ඩ්‍රා බෙල්ට්‍රන්ට පයක් ආපසු ඇද ගන්නට සිදුවී තිබුණි.

ඒ අතර වාරයේ ඇගේ බලයට අභියෝග කරමින් සතුරු මැර කල්ලිද නැගී සිටින්නට පටන් ගත් අතර, එක් පිරිසක් විසින් ඇගේ පුත්‍රයාවද පැහැර ගන්නා ලදී. ඔහුව නිදහස් කිරීමට නම් ඩොලර් මිලියන පහක කප්පමක් ඉල්ලා සිටි අතර, මේ පිළිබඳව ඇය පොලිසියටද පැමිණිලි කළාය. සාමාන්‍යයෙන් සිය ජීවිත කාලයේදී කිසිම විටක ඇයට පොලිසියේ පිහිට පතන්නට අවශ්‍ය නොවූයේ ඇය සැමවිටම ඊට වඩා බලසම්පන්නව සිටි බැවිනි. එහෙයින් මෙම සිදුවීම විසින් පෙන්නුම් කරනු ලැබුවේ ඇයගේ බලය මෙක්සිකෝව තුළ අභියෝගයට ලක් වී ඇති බවය.

අවසානයේ ඇයට තම පුත්‍රයා සොයා ගැනීමට හැකි වූ අතර, සැන්ඩ්‍රා එතැන් සිට වඩාත් ප්‍රවේශමෙන් සිය කටයුතුවල නියැළෙන්නට පටන් ගත්තේ අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා ගනිමිනි.

ඇයව අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි එකතු කරමින් ආරක්ෂක අංශද, දවසේ පැය විසි හතර මුළුල්ලේ ඇයව හඹා යමින් සිටි අතර, ඔවුනට 2001 වසරේදී ඉතා හොඳ ඔත්තුවක් ලැබිණි. ඒ අනුව මෙක්සිකෝවේ එක්තරා වරායකදී ඇය සතු කොකේන් ටොන් නවයක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත හැකි විය. සුපුරුදු පරිදි මෙම කොකේන් තොගය සඳහාද ඇයගේ සබඳතාව ඔප්පු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් නොතිබූ හෙයින් එවරද අත්අඩංගුවට පත්වීමෙන් ගැලවී සිටීමට ඇයට අවස්ථාව උදාවිය. මෙය සිදුවූයේ 2001 වසරේදීය.

එහෙත් ඊළඟ වසරේදී ඇයට මුහුණ දෙන්නට සිදුවූ ගැටලුවේදී පෙනී ගියේ සැන්ඩ්‍රාගේ බලයට පැහැදිලිවම අභියෝගයක් එල්ල වී ඇති බවය. මේ වන විට ආරක්ෂක අංශ ඇයව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සාක්ෂි එකතු කිරීම පිණිස දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටි අතර, ඇයගේ විරුද්ධවාදී පාතාල කල්ලිවල සහයෝගයද ඒ සඳහා ලැබෙන්නට පටන් ගෙන තිබිණි.

තවත් වසර තුන හතරක කාලයක් තිස්සේ සීරුවෙන් ඉව ඇල්ලූ ආරක්ෂක අංශවලට 2007 වසරේ සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා ඇයව අත්අඩංගුවට ගැනීමට හැකි වූයේය. ඒ තනිවම නොව ඇයගේ පෙම්වතා මෙන්ම තවත් පාතාල නායකයෙකුද වූ ටයිගර් නමැත්තාවද සමඟිනි.

නමුත් අනෙකුත් මෙක්සිකෝ කාර්ටලයන්හි සිටි පාතාල නායකයන් මෙන් නොව තමාට එරෙහිව සාක්ෂි තබා නොගන්නට ඇය මනාව ප්‍රවේශම් වී සිටියාය. ඒ නිසා ඇයට එරෙහිව ආරක්ෂක අංශවලට එක් කර ගත හැකි වූයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වීම, මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී ජාවාරම්වල යෙදීම ආදී චෝදනාවලට අදාළ සාක්ෂි යම් ප්‍රමාණයක් පමණි. ඒවාද කෙළින්ම ඇයට එරෙහිව තිබූ ඒවා නොවුණත් සැන්ඩ්‍රා බෙල්ට්‍රන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු සඳහා ප්‍රමාණවත් වූයේය. ඇයට ඒ චෝදනා වෙනුවෙන් සිරගෙදර ගත කිරීමට සිදුවූයේ වසර හතක කාලයක් පමණි. 2017 දී සිර ගෙදරින් නිදහස් වූ ඇය තම උපන් ගම කරා ගොස් ජීවිතය යළි ආරම්භ කරනු ලැබුවාය.

ඇයට නීතිය හමුවේ සුළු දඬුවමක් හිමිවුවත් සිය ජීවිත කාලය මුළුල්ලේ විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි කරනු සඳහා දායක වූ බව මුළු මහත් සමාජයම දන්නා කරුණකි. එහෙත් අදටත් කිසිවෙකුගෙන් ජීවිත තර්ජනයක් එල්ල නොවී ජීවත් වීමට ලැබී තිබීමෙන්ම පෙනී යන්නේ සැන්ඩ්‍රා බෙල්ට්‍රන්ගේ බල පරාක්‍රමය තවමත් අහෝසි වී නැති බවය.

මේ වන විට පාතාල ක්‍රියාකාරකම් වලින් බැහැරව සිටියත් අදවන විට මාධ්‍ය කේෂත්‍රයට නම් ඇය නැතිවම බැරි චරිතයක් වී අවසන්ය.

විවිධාකාර මාධ්‍ය සාකච්ඡා මෙන්ම ඇයගේ ජීවිත කතාව අළලා පොත පත, ටෙලි නාට්‍ය, රූපවාහිනී වාර්තා වැඩසටහන් මෙන්ම ජනප්‍රිය ගීතද රචනා වී ඇත. ඒ සියල්ල අතරින් වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ la reina del pacifico නොහොත් Queen of pacific චිත්‍රපටයයි.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment