පාදෙනියලා එළියට බැහැලා තිබෙන්නේ යටින් හංගලා ගහන දෙබිඩි ප‍්‍රතිපත්තියයකට

540

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ මෙහෙයවීමෙන් සබරගමුව පළාතේ සියලූ රෝහල්වල සේවයේ නියුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ යන වෘත්තීය සමිති වලට අයත් සාමාජිකයන්ගේ
සහභාගිත්වයෙන් දැවැන්ත පාගමනක් සහ උද්ඝෝෂණයක් රත්නපුර නගරයේදී පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය සහ පා ගමනට මෙම සංගම් නියෝජනය කරමින් දෙදහසක පමණ පිරිසක් එක්ව සිටි අතර මෙම පා ගමන රත්නපුර ශික්ෂණ රෝහලින් ආරම්භ වී රත්නපුර නගරයට පැමිණ ඔරලෝසු කණුව අසලදී උද්ඝෝෂණය පැවැත්විණි.

මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව අදහස් දැක් වූ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා,

අද ගොවියෝ, ගුරුවරු මහපාරේ, මිනිස්සු මහපාරේ, සෞඛ්‍ය වෘත්තිකයොත් මහපාරේ. දැන් වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනයක් සිදුවනවා. අපිත් හිතුවා පත්වීම් බේරගන්න බැරිව මේ වැඩ වර්ජනය කළා කියලා. නමුත් මේක පට්ටපල් බොරුවක්. අනුරුද්ධ පාදෙනිය කියනවා කෙහෙළිය රඹුක්වැල්ලගේ ලෙටර් හෙඞ් එකෙන් පොරොන්දු දෙන්න එපා කියලා. ඒ පොරොන්දු තමයි මේ රටේ හෙද, පරිපූරක අතුරු වෛද්‍ය සේවාවේ විෂමතාවන්ට දුන්න පොරොන්දු. ඒනිසා පාදෙනියලා එළියට බැහැලා තිබෙන්නේ යටින් හංගලා ගහන දෙබිඩි ප‍්‍රතිපත්තියයක් මතයි. උඩ තියෙන්නේ පත්වීම්. නමුත් යටින් තියෙන්නේ සෞඛ්‍ය වෘත්තිකයින්ට අයිතිවාසිකම් දෙන්න එපා කියලා. ගුරුවරුන්ට පඩි වැඩි කරන්න එපා කිව්වෙත් මේ හාදයාමයි. අද මොහු වෘත්තීය අයිතිවාසිකම් නොදෙන්න දඟලනවා. ඒ නිසා අපි කියනවා පාදෙනිය මහත්තයෝ රඹුක්වැල්ල මහත්තයෝ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් දීපල්ලා. අපි නැත්නම් නොනවතින අරගලයක් කරනවා, මේ අයිතිවාසිකම් දිනාගන්න.

රජයේ හෙද නිලධාරීන්ගේ සම්මේලනයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ඇතුළු සෞඛ්‍ය සංගම්වල නිලධාරීන්ද පිරිසක් අදහස් දැක්වූහ.

රත්නපුර – අසිත ඉන්දික වීරවර්ධන, නිවිතිගල – ධර්මසිරි ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment