පානදුරේ සලිඳු වාද්දුවටත් කුඩු බෙදලා…කෝටි ගණනක කුඩු සමග ගෝලයන් දෙදෙනකු අත් අඩංගුවට

877

උජිත වාද්දුව පින්වත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවුරුදු 35 කි. විවාහකයෙකි. හරිහමන් රැකියාවක් නොකළ මොහු ජීවත්වීම සඳහා විවිධ දෑ සිදු කළේය. එහෙත් ඒ කිසිදු දෙයක් දීර්ඝ කාලයක් කරගෙන යෑමට ඔහුට හැකි වූයේ නැත. එයට ප‍්‍රධානම හේතුව වූයේ ඔහු මත්පැන්වලට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීමයි.
 
 කලක් ගත වෙද්දී මොහු හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වූයේය. ඒ සමඟම ඔහුගේ ගති පැවතුම් මෙන්ම සිතුම් පැතුම්ද වෙනස් වූයේය. තම බිරිඳ දූ දරුවන් පමණක් නොව තමන්ගේ ජීවිතය ගැනද ඔහු කිසිදු තැකීමක් නොකළේය. ඔහුගේ එකම අරමුණ වූයේ දිනපතා හෙරොයින් පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීම පමණි.
 
 හෙරොයින් පානය කිරීමට මුදල් සොයා ගැනීම සඳහා මොහු සොරකම් පවා කිරීමට පෙළඹුණි. ඒ අතර දිනක් ඔහුට මිතුරකු මුණ ගැසුණි. ඔහු පානදුර ප‍්‍රදේශයේ මහා පරිමාණ කුඩු ජාවාරමේ යෙදෙන සලිදු නමැත්තාගේ ගෝලයෙකි. එලෙස මුණගැසුණු දෙදෙනා මෙලෙස කතා බස් කළහ.
 
 ”උජියා කොහොමද? කාලෙකින් දැක්කේ.”
 
 ”ඒක තමයි නුවන්. ඔහේ ඉන්නවා බං. මෙලෝ රහක් නෑ ජීවිතය.”
 
 ”ඇයි බං එහෙම කියන්නේ.”
 
 ”දන්නවනේ ජොබ් එකක් නෑ. උඹට නම් සරුයි වගේ.”
 
 ”බොරු කියන්න ඕනෙ නැහැනෙ. මම කාලා බීලා ආතල් එකේ ඉන්නවා.”
 
 ”මමත් ආසයි එහෙම ඉන්න. ඒත් කෝ බං ඒවට සල්ලි.”
 
 ”සල්ලි හොයන්න ක‍්‍රමද නැත්තෙ බං.”
 
 ”පිස්සුද බං මං නොකරපු දෙයක් නැහැ ඒත් හැමදාම කෝඩෙ තමයි.”
 
 ”දැන් හොඳින් සල්ලි හොයන්න බෑ බං.”
 
 ”ඒක නං ඇත්ත. උඹ මොකක්ද කරන්නේ. මටත් මොකක් හරි සෙට් කරලා දීපන්කෝ.”
 
 ”බොරු කියන්න ඕනේ නැහැනේ. අපේ බොසාගේ කුඩු ඞීල් කරන්නේ මම. හොඳ ඉන්කම් එකක් හොයනවා මාසෙට. කාල බීල සුද්ද වගෙ ඉන්නවා.”
 
 ”එහෙමද. අනේ මටත් ඒ වැඬේ සෙට් කරලා දියන්කෝ. අපේ ඒරියා එකේ මම විකුණන්නම්.”
 
 ”හැබැයි පුතෝ වංගු දාන්න බෑ. එහෙම කළොත් දන්නවනේ වෙන දේ. අපේ බොසා එක්ක බේරෙන්න බැහැ. අකුරට වැඩ ඕනේ.”
 
 ”මම එහෙම කරන්නේ නැහැ. බොසා ගැන අහලා තියෙනවා.”
 
 ”තව එකක්. උඹ කුඩු බිව්වට කමක් නැහැ. ගනුදෙනු අකුරට බේරන්න ඕනා. නැත්තං උඹටත් අඩි හයක් යට යන්න වෙයි.”
 
 ”ඒ ගැන බය වෙන්න එපා. කුඩු බිව්වට මං බිස්නස් එක උඹට කරලා දෙන්නම්.”
 
 එතැන් පටන් උජියා හෙරොයින් විකිණීමට පටන් ගත්තේය. කලක් ගත වෙද්දී වාද්දුව, පින්වත්ත ප‍්‍රදේශය ඔහුගේ හෙරොයින් රාජධානිය බවට පත්විය. ඉන්පසු ඔහුව සැවොම හැඳින්වූයේ ” පින්වත්තේ උජියා” යන අන්වර්ථ නාමයෙනි.
 
 මාස කීපයක් ඇතුළත හෙරොයින් විකුණා ඔහු විශාල මුදලක් සොයා ගත්තේය. එතනින් නොනැවතුන ඔහු ගෝලබාලයන් දමා තව තවත් හෙරොයින් විකුණුවේය. ඒ සමගම මොහු සහ ගෝල බාලයන් ප‍්‍රදේශයට මහත් පිළිලයක් විය. මොහුගේ හෙරොයින් පානය කළ ප‍්‍රදේශයේ තරුණයන් රැසකගේ ජීවිත නැත්තටම නැති විය. සමහරු ගෙවල් දොරවල් පවා උගස් කර මොහුගෙන් හෙරොයින් මිලදී ගත්තේය.
 
 කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පින්වත්තේ උජියාගේ හෙරොයින් ජාවාරම් පිළිබඳ තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව එම පොලිස් නිලධාරීහු උජියා ගැන අසා ගසා ගෙන සිටියහ. ඒ කොයි මොහොතක හෝ හෙරොයින් සමග ඔහු අත්අඩංගුවට ගැනීමටයි. පසුගිය සතියේ දිනක එම නිලධාරීන්ට තොරතුරක් ලැබුණි. ඒ පින්වත්තේ උජියාගේ හෙරොයින් තොගයක් පිළිබඳවයි. ලද තොරතුරට අනුව වැටලීම සිදුකළ එම පොලිස් නිලධාරීහු රුපියල් ලක්ෂ 80ක් වටිනා හෙරොයින් තොගයක් සමග පින්වත්තේ උජියා අත්අඩංගුවට ගත්හ.
 
 එලෙස අත්අඩංගුවට ගත් පින්වත්තේ උජියා අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත පොලිස් බාරයේ තබා ගත්තේය. ඒ මෙම හෙරොයින් ජාවාරමේ මහ මොළකරු කොටු කර ගැනීම සඳහාය.
 
 පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ මොහුගේ ප‍්‍රධාන ගෝලයා ” වෙරගම මැක්සියා” බවයි. මැක්සියා වාද්දුව වෙරගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවුරුදු තිස් හතකි. හරිහමන් අධ්‍යාපනයක් නොලද මොහුගේ ප‍්‍රධාන රැකියාව වූයේ හෙරොයින් විකිණීමයි. එලෙසම මොහු තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකි.
 
 උජියා පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ඔහුගේ හෙරොයින් කිසිදු බයක් සැකක් නොමැතිව බෙදාහැරියේ සහ විකුණුවේ මැක්සියාය.
 
 වාද්දුව පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාට ද මැක්සියා ගැන තොරතුරු ලැබී තිබුණි. එමනිසා පොලිස් පරීක්ෂක ගයාන් සිටියේ මැක්සියා ගන ඇස ගසාගෙනයි. පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් පවා තොරතුරු ලබාගත් ඔහු හැකි ඉක්මනින් මැක්සියාව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කළේය. ඒ පිළිබඳව තම පොලිස් නිලධාරීන්ව ද ඔහු දැනුවත් කර තිබුණි.
 
 දිනය පසුගිය දොළොස් වැනි දාය. එදින පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටියට වෙරගම මැක්සියා ගැන තොරතුරක් ලැබුණි.
 
 වහාම ඔහු ඒ පිළිබඳව තම ස්ථානයේ පොලිස් නිලධාරීන් දැනුවත් කළේය. එලෙස දැනුවත් කළ ඔහු පැවසුවේ ”කෙලෙස හෝ මැක්සියා අද අත්අඩංගුවට ගත යුතු බවයි.”
 
 මහ වාද්දුව ප‍්‍රදේශයේ වෙල් යායක පොලිස් නිලධාරීන් හොර රහසේ සැඟවී සිටියේය. මේ කිසිත් නොදත් මැක්සියා හෙරොයින් තොගයක් ද සමඟ එම ස්ථානයට පැමිණියේය. එලෙස පැමිණෙනවාත් සමගම රැකවල් ලාගෙන සිටි පොලිස් නිලධාරීහු එම හෙරොයින් ජාවාරම්කරුවද අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් ඔහු සන්තකයේ තිබුණි. වාද්දුව පොලිසියේ ඉල්ලීම මත අත්අඩංගුවට ගත් වේරගම මැක්සියාව රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ තබාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය. එලෙස රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින සැකකරුගෙන් පානදුර, වාද්දුව සහ කළුතර ප‍්‍රදේශයේ හෙරොයින් ජාවාරම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. දැනගන්නට ලැබෙන තොරතුරුවලට අනුව අත්අඩංගුවට පත් මෙම පුද්ගලයින් දෙදෙනා විකුණා ඇත්තේ පානදුර සලිදු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ හෙරොයින්ය.
 
 පානදුර සලිදු යනු තවත් මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. දැනට මාසයකට පමණ ඉහතදී හෙරොයින් සමග නීතියේ රැහැනට කොටු වූ උප පොලිස් පරීක්ෂකවරයා ප‍්‍රවාහනය කරමින් සිටියේ ද පානදුර සලිදුගේ හෙරොයින් තොගයකි.
 
 ඩුබායි රටේ සිට මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව පැවසුවත් එය එක්වරම පිළිගත නොහැකි කරුණකි. අනාවරණය වී ඇති කරුණුවලට අනුව මොහු මෙම ජාවාරමේ යෙදෙන්නේ මෙරට සිටයි. එලෙසම කළුතර දිස්ත‍්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබල ඇමැතිවරයෙකුගේ සහය ද මොහුට ලැබේ.
 
 පසුගිය දිනක හෙරොයින් පානයට ඇබ්බැහි වූ තරුණයෙක් සලිදුගේ නිවසට ගොස් සොරකමක් සිදුකර තිබේ. ඒ පිළිබඳව සොයා බැලූ සලිදු තවත් හෙරොයින් පානයට ඇබ්බැහි වූ තරුණයන් පිරිසක් ලවා එම තරුණයාට පහර දී තිබේ. එලෙස පහර දීමේදී එම තරුණයා මිය ගොස් තිබේ. පානදුර ප‍්‍රදේශයේ සිදු වූ මේ සිදුවීම පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු කරමින් පවතී. එම පරීක්ෂණ නිසියාකාරව සිදු වුණාද යන්න ඉදිරියේදී අපි අනාවරණය කරන්නෙමු.

– ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment