පානදුර ප්‍රා. ස. සභාපතිගේ නිවසට ගිනි තැබූ සැකකරුවන් අතර අතදරුවකු සිටින මවක්

727

පානදුර, මැල්වත්ත ප්‍රදේශයේ පිහිටි පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාගේ නිවසට ඉකුත් 09 දා රාත්‍රි ගිනිතබා එහි තිබූ, මුදල්, රන් භාණ්ඩ සහ දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පින්වත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් තිදෙනකු ඇතුළුව පුද්ගලයන් නව දෙනෙකු ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා 17 දා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ පානදුර කළුදෑවල, මැල්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

දෙවන සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මිණි පීරිස් මහත්මිය සිය සේවා දායකයා අත දරුවෙකු සමගින් සිටින බව අධිකරණයට කියා සිටීමෙන් පසු එම දරුවාට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කළේය.

විත්තිය වෙනුවෙන් නීතිඥ අමිල නාවලගේ, සුගත් හදුන්ගේ ඩබ්ලිව්. ඩී. තිසේරා, ලක්මිණි පීරිස්, දුල්සිකා රණසිංහ, මලීසා අමරසේන සහ සොනාලි රත්නායක යන නීතිඥ මහත්ම මහත්මීන් හත් දෙනෙක් පෙනීසිටියහ.

පොලිසිය වෙනුවෙන් පින්වත්ත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර, උප පොලිස් පරීක්ෂක පෙරේරා සහ කොස්තාපල් අධිකාරී (59102) පෙනී සිටින ලදී.

අර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම


ඇමැති ප්‍රසන්න රණතුංගගේ ගෙට ගිනි තැබූ සැකකරුවෝ කූඩු

පානදුර ප්‍රා. ස. සභාපතිගේ නිවසට ගිනි තැබූ  සැකකරුවන් අතර අතදරුවකු සිටින මවක්

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අයත් උඩුගම්පොළ පිහිටි තෙමහල් නිවස සහ නිවස අවට පරිශ්‍රයේ තිබූ වාහන ඇතුළු රාජ්‍ය දේපළ ගිනි තබා විනාශ කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් 06 දෙනකු ලබන ජුනි මස 01 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා 18 වැනිදා නියම කළේය.

කෙහෙල්බද්දර, උඩුගම්පොළ, වීදියවත්ත, මදුරුවිට, දොඹවල සහ අස්ගිරිවල්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් 06 දෙනා මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. සැකකරුවන්ට ඇප ලබා දීම සලකා බැලීම සඳහා සුවිශේෂී කරුණු ඇත්නම් එම සුවිශේෂ වූ කරුණ දිවුරුම් පෙත්සමක් මගින් තහවුරු කර මැයි 25 දිනට පෙර අධිකරණ රෙජිස්ට්‍රාර් වෙත භාර දෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයට අධිකරණයෙන් දැනුම් දුන්නේය. නඩුව ජුනි 01 වැනිදා නැවත කැඳවීමට නියම කෙරිණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක


හිටපු නියෝජ්‍ය ඇමැති සිරිපාලගේ දේපළවලට පහරදුන් 23ක් අත්අඩංගුවට

පානදුර ප්‍රා. ස. සභාපතිගේ නිවසට ගිනි තැබූ  සැකකරුවන් අතර අතදරුවකු සිටින මවක්

හිටපු නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතාගේ ගිරිතලේ පිහිටි නිවසට හා කාර්යාලයට ඉකුත් 9 දා පහර දී ගිනි තැබීම පිළිබඳව සැකපිට ඊයේ (19) වනවිට පුද්ගලයන් 23 දෙනෙකු මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේදී ද පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකරන වාහන 7ක්ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් හා වාහන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. සී. රත්නායක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාරියවසම් යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

මින්නේරිය – සුජිත් කරුණාතිලක

——————————————————————————————————————————

අත්තනගල්ල ප්‍රා. ස. සභාපතිගේ නිවසට පහරදුන් සැකකරු රිමාන්ඩ්

අරලියගහ මන්දිරය අසල සහ ගෝල්ෆේස් පිටියේ සිටි නිර්පාක්‍ෂික අරගලකරුවන්ට පහර දුන් ඉකුත් 09 වැනිදා රාත්‍රී අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පහරදී අලාභහානි සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණ සැකකරුවකු ජුනි මස 01 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා 18 වැනිදා නියම කළේය.

කලගෙඩිහේන, තිරිවානේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

සැකකරුට ඇප ලබාදීම සඳහා සලකා බැලීමට සුවිශේෂ වූ කරුණු ඇත්නම් මැයි 25 වැනිදාට පෙර ලිඛිතව අධිකරණ කාර්යාලයට භාර දෙන ලෙස සැකකරුට ඇප ඉල්ලා සිටි නීතිඥවරයා වෙත අධිකරණයෙන් දැනුම් දෙනු ලැබීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment