පානදුර හෝටලයක මගුලකට ගිහින්  වලියක් ඇද ගත්ත දස දෙනා රිමාන්ඩ්

322

පානදුර කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවති විවාහ මංගල උත්සවයක් අතරතුර එහි දේපලවලට හානිකර පුද්ගලයින් හයදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයින් දස දෙනෙකු ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය පෙරේදා (17දා) පස්වරුවේ නියෝග කළාය.

මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි වීරසිංහ මොහන්දිරම්ගේ අවුශාන්ත පෙරේරා, උඩදෙනියගෙදර සුරංග කැළුම් උඩදෙනිය, වීරසිංහ මොහන්දිරම්ගේ දිලක්ෂ දීපාල් පෙරේරා, චින්තක රුවන් බාලසූරිය, හිරුන අංජන ලකී තිසේරා, උඩදෙනිය ගෙදර ප්‍රසාද් ගුණතිලක, මෙරිඤ්ඤලාගේ ඉන්දික ප්‍රදීප් මුණසිංහ, මල්වත්තගේ රොෂාන් අසංක පෙරේරා, දුක්ගන්නාරළලාගේ සුරේෂ් අයිවන් අබේරත්න සහ දේවතාපේඩිගේ ජගත් රොහාන් නමැති අයවළුන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පෙරේදා (16) පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වෙමින් සිට අනවසරයෙන් එහි පිහිනුම් තටාකයට බැස දියනෑම සම්බන්ධයෙන් හෝටල් කලමනාකාරීත්වය සමග ඇතිවූ ආරවුලකදී හය දෙනෙකුට පහරදී තුවාල සිදුකර ඇති බවත්, ඔවුන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සැරයන් සමන්ලාල් එදිරිසිංහ අධිකරණය හමුවේ කියා සිටියේය.

පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සැකකරුවන්හට ඇප ලබා දුනහොත් ප්‍රදේශයේ මහජන කැළඹීමක් පවා ඇතිවීමට ඉඩ ඇති බැවින් ඇප ලබාදීමට විරුද්ධ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිලූක එම්. සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කරන ලදී.

තම සේවාදායකයින් සිදුකර ඇත්තේ සැලසුම් කළ වරදක් නොවන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රජිව් පී. විතාන සහ නීතිඥ යාපාගේ ඉන්දු මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පහරදීම, අනර්ථයක් සිදුකිරීම, සාපරාධී බලහත්කාරය සහ අයුතු ජනරාශි යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් දිලුක එම්. සිල්වා, විත්තිය වෙනුවෙන් රජිව් පී. විතාන සහ යාපාගේ ඉන්දු යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනීසිටි අතර, පොලිසිය වෙනුවෙන් සැරයන් සමන්ලාල් එදිරිසිංහ (3081) කරුණු වාර්තා කලේය. නඩුව ලබන සැප්තැම්බර් 20 දා යළි කැදවීමට නියමිතය.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment