පානමුරේ ඇවිළෙයි – පොලිසියේ 2කගේ වැඩ තහනම්

468

* අත්අඩංගුවේදී තිදරු පියෙකු මියයෑම

ඇඹිලිපිටිය පනාමුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සිරමැදිරියේදී ගෙල වැලලාගෙන අභිරහස් අන්දමින් මියගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පළ කළ ප‍්‍රදේශවාසීන් පොලිසිය වටකරගෙන ටයර් පුළුස්සමින් කලහකාරී ලෙස හැසිරීම නිසා එම ප‍්‍රදේශයේ ඊයේ (17 දා) උදෑසන උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

ඇඹිලිපිටිය කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් පනාමුර පොලිසිය වටකරගෙන සිටි පිරිස් පාලනය කර විසුරුවා හැරීමට අවට පෙලිස් ස්ථාන දෙකක නිලධාරීන් කැඳවීමට සිදු වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය.

පානමුරේ ඇවිළෙයි - පොලිසියේ 2කගේ වැඩ තහනම්

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ තම බිරිඳට සහ දරුවන්ට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරු සිරමැදිරිය තුළදී කමිසයෙන් ගෙළ වැලලාගෙන මියගොස් සිටි බවයි.

එහෙත් පනාමුර ප‍්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම පුද්ගලයා රැුගෙන ගොස් පොලිසිය තුළදී අමානුෂික ලෙස පහරදීමේදී ඔහු මියගොස් ඇති බවත් පසුව ඔහුගේ සිරුර එල්ලා ඔහු සියදිවි හානිකර ගත් බවට ප‍්‍රකාශ කරන බවත්ය.

පානමුරේ ඇවිළෙයි - පොලිසියේ 2කගේ වැඩ තහනම්

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරු මියයන අවස්ථාවේ පනාමුර පොලිසියේ රාති‍්‍ර රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයා සහ කොස්තාපල්වරයා වහාම කි‍්‍රයාත්මක වන පරිදි වැඩතහනමට ලක්කර ඇත.

මෙම සිද්ධියෙන් මියගොස් අත්තේ පනාමුර වැල්පොත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ 38 හැවිරිදි කරලපින්නගේ ඉන්දික ජයරත්න නමැති තිදරු පියෙකි.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මෙම පුද්ගලයා 2017 වර්ෂයේ සිට තම බිරිඳට සහ දියණියන් තිදෙනාට අමානුෂික ලෙස පහරදී ඇත.

මෙම පහරදීම් සම්බන්ධයෙන් 2017 සිට පොලිසිය වෙත පැමිණිලි රාශියක් ලැබී ඇති අතර අවස්ථා කීපයකදීම මෙම පැමිණිලි අධිකරණය වෙත පවා ඉදිරිපත් කර තිබිණි.

එහිදී අවස්ථා කීපයකදීම මෙම පුද්ගලයාට අධිකරණයෙන් තරයේ අවවාද කර තිබූ බවද පොලිසිය පවසයි.

ඉකුත් 12 වැනිදා මෙම සැකකරු තම 14 හැවිරිදි වැඩිමහල් දියණියට කොස්සකින් පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ පැමිණිල්ලක් කර තිබිණි. පහරකෑමට ලක් වූ දියණිය රෝහල් ගත කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කරද්දී සැකකරු ප‍්‍රදේශය අතහැර පලාගොස් සිටි අතර ඥාතියකු ලබාදුන් තොරතුරකට අනුව පෙරේදා රාති‍්‍ර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා සිරමැදිරියේ රඳවා සිටියදී ඊයේ අලූයම 3.45 ට පමණ මොහු ඇඳ සිටි කමිසයෙන් සිරමැදිරියේ ජනේලයේ එල්ලී ඇත.

ඒ අවස්ථාවේ වහාම කි‍්‍රයාත්මක වී ඇති පොලිස් නිලධාරීන් සැකකරු රෝහල් ගත කර ඇති අතර එහිදී මොහු මියගොස් ඇති බව හෙළිව තිබේ.

විරෝධතාකරුවන් විසින් කොට යොදා මාර්ගය අවහිර කරමින් මාර්ගය මැද ටයර් පුළුස්සා විරෝධතාවය දක්වන්නට වීම නිසා එහි කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබේ. පසුව මෙම ස්ථානයට ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතා පැමිණ මේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන බවත් ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීමෙන් පරීක්‍ෂණයක් මෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීමෙන් තවත් පරීක්‍ෂණයක් පවත්වන බවත් කීය.

එහෙත් විරෝධතාකරුවන් තම විරෝධය අත් නොහල අතර පොලිසිය ඉදිරිපිටින් ඉවත් වී නැවත පනාමුර නගරයට පැමිණ කළු කොඩි ඔසවා රතිඤ්ඤා පත්තු කරමින් පොලිසියට බැණ වදිමින් විරෝධතාවය දක්වන්නට විය.

ඉන් අනතුරුව ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය පැමිණ පරීක්‍ෂණ සිදු කරන ලදී. මහෙස්ත‍්‍රාත්වරිය පොලිස් භූමියෙන් පිටවන්නට මෝටර් රථය වෙත යද්දී පොලිසිය ඉදිරිපිටට රැුස්වූ විරෝධතාකරුවන් පිරිසෙන් වැලි සහ වතුර පිරවූ බෝතල් ප‍්‍රහාරයක් එල්ල විය. එය එම ස්ථානයේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ පාවල වැදී බිම වැටිණි.

මෙම සිදුවීම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද විරෝධතාකරුවෝ ගල් පහරවල් එල්ල කළහ. ඒ සරත් වීරසේකර අමාත්‍යවරයා මියගිය අය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්වලට විරෝධය පාමිනි. කිහිප අවස්ථාවකට මාධ්‍යවේදීන්ට පහර දීමට ඇතැම් විරෝධතාකරුවන් උත්සාහ ගත් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මාධ්‍යවේදීහු එම ස්ථානයෙන් ආරක්‍ෂිතව පිටත් කර හරිනු ලැබූහ.

අමතර පොලිස් බලඇණි ද කැඳවා ඇතිවී තිබූ තත්ත්වය පාලනය කිරීමට පියවර ගැනුණු අතර ඊයේ දහවල් වන විට පනාමුර ප‍්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පැවතිණි.

මෙසේ අභිරහස් අන්දමින් මියගිය පුද්ගලයාගේ මරණ පරීක්‍ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඔහුට පහර දුන් බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති. ‘බුදු අම්මෝ මාව මරණවෝ’ යැයි කියමින් සැකකරු කෑගැසූ බවද ප‍්‍රදේශවාසීහු කියා සිටියහ.

එහෙත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු කලහකාරී ලෙස හැසිරීම නිසා අවම බලය යොදා ඔහු පාලනය කිරීමට සිදු වූ බවයි. සැකකරු ඒ අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිටි බවද පොලිසිය පවසයි.

රත්නපුර දිස්ති‍්‍රක් භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ විමර්ශනයක් පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, ඕමල්පේ – ප‍්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment