පාන්ට් බලන්න එන අය හිරිහැරයක් වෙලා

492

හදිසි මෝටර් රථ අනතුරකින් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ගේ සුවදුක් බැලීම පිණිස රෝහලට පැමිණෙන පිරිස නිසා පාන්ට් ගේ විවේක සුවයටද බාධාවන් එල්ල වී ඇති බව ඔහු ගේ පවුලේ සාමාජිකයෝ සඳහන් කර සිටිති.

ඉන්දියාවේ ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා” පුවත්පතට මේ පිළිබඳව සඳහන් කර ඇති පාන්ට් ගේ ඥාතීන් පවසන්නේ රෝගීන් බැලීම පිණිස වෙන් කර ඇති නියමිත වේලාව නොතකමින්ද මෙසේ පිරිස් පැමිණෙන බවයි.

පසුගිය සිකුරාදා අලුයම පාන්ට් විසින් පදවාගෙන පැමිණි මෝටර් රථය ඔහුට නින්ද යෑම හේතුවෙන් මාර්ගයේ බෙදුම් වැට කඩාගෙන ගොස් සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා පාන්ට් රෝහල්ගත කෙරිණි.

අනතුරෙන් මෝටර් රථය ගිනි ගැනීමට ලක් වූ අතර අධිවේගී මාර්ගයේ බස් රථයක රියැදුරකු සහ කොන්දොස්තරවරයකු විසින් මෝටර් රථය ගිනි ගැනීමට පෙර අනතුරට පත් පාන්ට් ඉන් ඉවතට ගෙන තිබුණි.

ඉන්දියාවේ ඩෙහරාඩුන් හි මැක්ස් රෝහලේ මේ වන විට පාන්ට් ප්‍රතිකාර ලබමින් සිටින අතර දේශපාලනඥයන්, ක්‍රීඩකයන් සහ කලාකරුවන් ද පාන්ට් බැලීම සඳහා රෝහලට පැමිණෙන පිරිස් අතර වන බව රෝහල් බලධාරීහු සහ පාන්ට් ගේ පවුලේ සාමාජිකයෝ සඳහන් කරති.

හින්දි නළු නිළියන් වන අනිල් කපූර්, අනූපම් කේර්, ක්‍රිකට් ක්‍රීඩක නිටිෂ් රානා වැනි අය ද පාන්ට් බැලීමට පැමිණ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment