පාන්ඩයාගේ කතාවට ක්‍රිකට්වලින් උත්තර!

2163

වාර්තාකරු – ඔබ මෙවරත් චාමිකට බැට් එකක් දෙනවද?
හර්දික් – මුලින්ම ඔහු මෙහි එන්න ඕනනේ. ඔහුට තරග තහනමක් පනවා තිබෙනවා නේද?
වාර්තාකරු – ඒක අත්හිටු වූ තරග තහනමක් පමණයි.
හර්දික් – ඇයි ඔහුට තහනමක් පැනවුණේ?
වාර්තාකරු – හරියටම දන්නෙ නැහැ...
හර්දික් – හොඳයි මම තවම ඔහු දුටුවේ නැහැ මුලින්ම ඔහුව හමුවෙලා බලමු.

මේ දෙබස ඇතිවූයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක හර්දික් පාන්ඩයා සහ ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් අතරය. දිනය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ආරම්භයට පෙර දා ය. ඒ කියන්නේ පසුගිය දෙවැනිදා හවසය. ස්ථානය මුම්බායිහි සුප්‍රසිද්ධ වන්කඩේ ක්‍රීඩා සංකීර්ණයයි. තරගාවලිය ආරම්භයට පෙර පැවැති අදාළ මාධ්‍ය හමුවට ඉන්දියාව වෙනුවෙන් සහභාගී වූයේ හර්දික්ය. ඔහු මෙවර ඉන්දීය කණ්ඩායමේ නායකයා ය. රෝහිත් ෂර්මා සුපුරුදු පරිදි ආබාධයකට ලක්ව සිටින අතර විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබුණි. කෙසේ වෙතත් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර දැන් සිටම තම සංචිතය සවිමත් කිරීමේ අරමුණෙන් කටයුතු කරන ඉන්දියාව ඔවුන්ට නව නායකයකු ද සොයමින් සිටී. ෂර්මා ලකුණු අතර සිටිය ද ඊටත් වඩා ඔහු ආබාධ අතර සිටීම ඉන්දියාව කලකිරවන කාරණයකි.

ඒ අනුව පසුගිය අයිපීඑල් තරගාවලියේදී ශූරතාවය දිනාගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට නායකත්ව ලබා දුන්, නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරන පාන්ඩයා ඔවුන්ගේ අලුත්ම තුරුම්පුව ලෙස ඔවුන් හඳුනාගෙන ඇත. මෙවර ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට ඉන්දියාව තම කණ්ඩායම යෙදෙව්වේ ඒ තුරුම්පුවට නායකත්වයේ කිරුළ පළඳලාය.

එම මාධ්‍ය හමුවේ දීම පාන්ඩයා ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්ද කර තිබුණි. ඒ ආසියානු කුසලාන තරගාවලියේදී ඔවුන්ගෙන් තරගය ඉවතට ගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නතර කිරීමට තමන් මෙවර කටයුතු කරන බවයි.

“අපි පරණ ගනුදෙනු විසඳ ගන්න බලා ගෙන නෙවෙයි එන්නේ, අපිට අවශ්‍ය හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න විතරයි. නමුත් ඔව්, ඔවුන්ට ඉන්දියාවෙ දී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන බව අපි දැනෙන්න සලස්වනවා. අපිට ඔවුන්ට ඇනුම්පද කියන්න අවශ්‍ය නැහැ. අපේ කාය භාෂාව ම ඇති වේවි ඔවුන් ව අපහසුතාවට පත් කරන්න. ඒ වගේම ආසියානු කුසලානයේ දී තරගය අපෙන් ඉවතට ගෙන ගිය ක්‍රීඩකයින්ව මේ පාර නතර කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

පාන්ඩයාගේ කතාවට ක්‍රිකට්වලින් උත්තර!
පැතුම් නිශ්ශංකට එදා දුන් දැවී යාම

ඇනුම්පද නොකියනවා කියා හර්දික් එහිදි පවසා ඇත්තේ කුමක්ද? ඔහු චාමික කරුණාරත්න ඉන්දියාවට ආවාද නැද්ද කියා මේ මාධ්‍ය හමුවට ඒමට පෙර නොදැන සිටින්නේ කෙසේද? ඒ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට ගොස් දවස් දෙකක් ඉක්මවා තිබුණි. එමෙන්ම අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය පසුගිය 28 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. හර්දික් පාන්ඩයාගේ නායකත්වයෙන් යුතුව පන්දු වාර 20-20 ඉන්දීය සංචිතය ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ එදිනය. ඒ අනුව චාමික මෙවර තරගාවලියට පැමිණෙන බව පාන්ඩයා හරි නම් දැන ගන්නට තිබුණේ මීට සතියකට පමණ උඩදීය. ඔහු දැන් සාමාන්‍ය ක්‍රීඩකයකු ද නොවේ. එම කණ්ඩායමේ නායකයාය. ප්‍රතිවාදීන්ට එරෙහිව සැලසුම් සකස් කරන්නේ ඔවුන් කවුරුන් ද යන බව හරි හැටි දැන ගෙනය. ඒ අනුව ඉන්දීය නායකයා ශ්‍රී ලංකා කණ්ඩායම කවුරුන්ද යන්න ඊට පෙර නො දැන සිටියාද? අඩුම තරමේ තම රටට ආවේ මොකාද කියලවත් හොයා බලන්නෙ නැති නායකයෙක් ද දැන් ඉන්දියාවට සිටින්නේ? සිදු වූයේ එවැනි නොදැනුවත්කමක් නොවේ.

පාන්ඩයා චාමිකව සහ ශ්‍රී ලංකාව ද අවතක්සේරු කිරීමකි. ඒ අනුව ඔහු චාමිකව නොව දසුන් ශානකද මෙවර ඉන්දියාවට ආවේදැයි ප්‍රශ්න නොකරා නම් තමයි පුදුමය. මේ ආකාරයටම ආසියානු කුසලාන තරගාවලියේ දී ද පාන්ඩයා ගේ ලොකු අයියාගේ චරිතයට පණ පෙවූ අයෙක් එදා සිටියේය. ඔහු ගාම්භීර්ය. ශ්‍රී ලංකාව මීට පෙර ආසියානු කුසලාන 5ක් දිනා ගත්තේ කෙසේදැයි හෝ දිනා ගත්තා දැයි තමන්ට මතක නැති බව ගාම්භීර් එදා කීවේය. එදා ගාම්භීර් කී ඇනුම්පදයට ශ්‍රී ලංකාව පිළිතුරු දුන්නේ හයවැනි වරටත් ආසියානු කුසලානය දිනලාය. දසුන්ගේ කණ්ඩායම අතින් එදා පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය ආදී කටමැත දොඩවන හැම ක්‍රිකට් ලොක්කෙක් ගේම ගාම්භීරකමේ හුළං බැස්සේය.

මෙදා පාන්ඩයාට වූයේද ගාම්භීර්ට එදා සිදු වුණු දෙයමය. ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන තරඟයේ ජයග්‍රහණය සොයා යමින් සිටි හර්දික්ව කරකවා අත හරිමින් මෙන් දවා ගත් චාමික තමන් කවුදැයි හර්දික් ට එදා හරියටම පෙන්වා දුන්නේය. එම තරගයේ 5 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ චාමිකගේ පළමු පන්දුවට ම හර්දික් හයේ පහරක් එල්ල කළේය. එහෙත් දෙවන සහ තුන්වන පන්දු දෙකේදී හර්දික් ව අන්දමන්ද කරමින් පන්දු දෙකක් යොමු කළ ඔහු සිව්වන පන්දුවේදී හර්දික්ගේ ඉනිම නිමා කළේය.

තමා කවුදැයි එදා හර්දික්ට පෙන්වූ චාමික හර්දික්ගේ කණ්ඩායමේ ප්‍රබලම පිතිකරු වන සූර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල පළමු තරගයේ ඔහු යොමු කළ පළමු පන්දුවේදී ම දවා ගත්තේය. ඒ දවා ගැනීමෙන් ඔහු පෙන්නුම් කළේ මෙවරද තමන් ඉන්දියාවට පැමිණි බව හර්දික්ට පෙන්නා දීමක් වැනි දෙයකි. කොටින්ම එය හර්දික්ට තරු පෙනෙන දැවී යාමකි. එය එසේ වන්නේ සූර්යකුමාර් යනු අද ලොව අංක එකේ පන්දුවාර විස්සයි විස්ස පිතිකරු නිසාය. එම තරගයේ ශ්‍රී ලංකාව ගමන් කළ අයුරු අනුව හර්දික්ට පමණක් නොව මුළු ඉන්දියාවටම තරු පෙනෙන්නට යන සෙයක් දිස් වුණි. ඒ අවමානයෙන් ඉන්දියාව ගලවා ගත්තේ ඔවුන්ගේ තෙවැනි විනිසුරු වූ ජෙයරාමන් මදන්ගෝපාල් ය. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යමින් සිටි මෙන්ම පරණ තරහක් පිරිමහන්න මෙන් මේ වන විට ඉන්දියාවට එළව එළවා පහර දෙන නායක දසුන් ශානකගේ ඉනිම එම තරඟයේ දී නතර වුණේ මදන්ගෝපාල්ගේ උපක්‍රමයක් හේතුවෙනි. මේ වන විට දසුන් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ලොව වැඩිම පන්දු වාර 20-20 ලකුණු ලාභියා වේ. එම තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට පන්දු 22ක් තුළදී ලකුණු 34ක් අවශ්‍යව සිටි මොහොතේ තෙවැනි විනිසුරුට යොමුකළ තීරණයක් සඳහා අහේතුකව මදන්ගෝපාල් විනාඩි පහකට ආසන්න කාලයක් ගත නොකරන්නට ශ්‍රී ලංකාවට එම තරගයද ජය ගන්නට හැකිව තිබුණු බව බොහෝ දෙනාගේ මතයයි. එය වඩාත් තහවුරු වූයේ දෙවන තරගයේදී නායක දසුන් පෙන්වූ දස්කම් නිසාය. දසුන් එදා පළමු තරගයේදී පන්දු 27කදී වේගවත් ලකුණු 45ක් ලබා ජයග්‍රහණයේ රිද්මය සොයා ගෙන තිබුණේ ය. එහෙත් ඒ රිද්මය අනවශ්‍ය ලෙස කාලය ගත කිරීමකින් බිඳ දමන්නට මදන්ගෝපාල් ක්‍රියා කළේය. දසුන් ඉන් අනතුරුව දැවී ගියේය. දසුන් ඊට පෙර මුහුණ දුන් පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගත්තා දැයි රූපවාහිනී කැමරාවෙන් නරඹන විට පන්දුව බිම වැදී ගිය බව හොඳටම නිරීක්ෂණය විණි. එය එසේ වෙද්දී ද පන්දුව ඊට පෙර පිත්තේ වැදුණා දැයි පසුව නිරීක්ෂණය කළේය. බිම වැදුණු පන්දුවක් පිත්තේ වැදුණා දැයි ආයෙත් බලන්නේ අසවල් දෙයකට දැයි විචාරක මහත්වරුන්ටද ඒ අවස්ථාවේදී කියවිණි. එහෙත් මදන්ගෝපාල් ඉන්දියාවට අවශ්‍ය දේ කර දුන්නේය.

පාන්ඩයාගේ කතාවට ක්‍රිකට්වලින් උත්තර!
පාන්ඩයා චාමිකට පිත්තක් තිළිණ කරමින්

මේ මදන්ගෝපාල්ම පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේ දී පැතුම් නිශ්ශංකට එරෙහිව ආන්දෝලනාත්මක දැවීයාමක් සංඥා කළේය.

ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නවීන උල් හක් ගේ පන්දුවකට පැතුම් නිශ්ශංක පහරක් එල්ල කළේය. කඩුලු රකින්නා එම පන්දුව රැක ගත්තේය. ප්‍රධාන විනිසුරු එය දැවී යෑමක් කීවේය. පැතුම් එය තෙවන විනිසුරුට යොමු කළේය. රූපවාහිනී තිරයේ දිස්වූයේ පන්දුව පිත්තේ නොවදින බවකි.

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ද එය නොදැවී යෑමක් ලෙස සිතූහ. එහෙත් තෙවන විනිසුරුකමට නොව ගව පාලනයකටවත් තමන් නුසුදුසු යැයි පෙන්වමින් මදන්ගෝපාල් එය දැවී යාමක් කළේය. ශ්‍රී ලංකාව පසුව ආසියානු ශූරයන් වුවද එම පළමු තරගයෙන් පරාජය වූයේය.

මේ සටහන තබන විට ඉන්දියාව සමග අවසන් පන්දුවාර විස්සයි විස්ස තෙවැනි තරගය නම් ආරම්භ වී නොතිබුණි. එහෙත් මුල් තරග දෙකේදී කළ හරිය හොඳටම ප්‍රමාණවත්ය. තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේ දී හර්දික් කියූ කිසි දෙයක් මුල් තරඟ දෙකේ නම් ඉටු නොවුණි. පළමු තරගය ජය ගත්තේ ද දශමයෙනි. දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලැබුවේය. එය වසර හතකට පසුව ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් ලෙස සටහන් විය. නායක දසුන් ඉන්දියාවට එරෙහිව පසුගිය ඉනිම් 5 තුළ රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 255කි. ඊට වැය වූ පන්දු ගණන 124කි. ඒ අනුව දසුන්ගේ එහි ප්‍රහාරාත්මක වේගය 200 ද ඉක්මවා

ගොස් තිබේ. එක පන්දුවකට ලකුණු දෙකකි. හර්දික් කීවේ ආසියානු කුසලාන තරගාවලියේ දී තමන්ව පරාජය කරන්නට වැඩි දායකත්වයක් දුන් ක්‍රීඩකයන්ව මෙවර දමනය කරන බවකි. එහෙත් එදා ඩුබායි හිදී ශ්‍රී ලංකාවට ජය ගෙන එන්න වැඩි දායකත්වයක් දුන්නේ පැතුම් ලකුණු 52ක් සහ දසුන් පන්දු 18කදී නොදැවී ලකුණු 33ක් රැස් කර කඩුලු 6ක ජයක් ලබමිනි. කුසල් මෙන්ඩිස් ද ලකුණු 37ක් ලැබීය. මෙදා ඉන්දියාවට බැට දුන්නෝද ඔවුහුම වෙති.

පාන්ඩයා මීට පෙර 2021 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ චාමික කරුණාරත්නට පිත්තක් තිළිණ කළේය. මේ සටහන ආරම්භ කළේ මෙවරද ඔහු චාමිකට එවැනි සමරු තිළිණයක් ලබා දෙන්නේ දැයි හර්දික් පාන්ඩයා ගෙන් විමසූ විට ලැබුණු පිළිතුරක් ඇසුරෙනි. පාන්ඩයා ට එවැනි හොඳ ගතිගුණ ද වේ. දෙවෙනි තරගයේදී පන්දු 20කින් ලකුණු 50ක් ලබා ශ්‍රී ලංකා වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය ලබා ගත් දසුන්ට ඉනිම අවසානයේ ළඟට විත් සුබ පතන්නට ද පාන්ඩයා නොපැකිළිණි.

එසේම චාමිකගේ පරමාදර්ශී ක්‍රීඩකයා වන්නේද පාන්ඩයා ය. පාන්ඩයා එදා ඔහුට පිත්තක් තිළිණ කළ විට ඒ පිළිබඳව සටහනක් තබමින් චාමික ඒ බව ප්‍රකාශ කර තිබුණි. “මාගේ පරමාදර්ශී ක්‍රීඩකයා වන හර්දික් ගෙන් මෙවැනි තිළිණයක් ලැබීම මට මහත් ගෞරවයක්. ඔබ හොඳ මනුෂ්‍යයෙක්. මට මේ දෙය කවදාවත් අමතක වෙන්නෙ නැහැ.”

චාමික එදා එසේ සටහන් කර තිබුණි. ඒ චාමික සිය මංගල පන්දු වාර 20-20 තරඟයට ක්‍රීඩා කළ දිනයට කිට්ටු දිනයකි. දැන් චාමික පන්දු වාර 20-20 තරග 40කට ක්‍රීඩා කළ අයෙකි. හැබැයි ඔහු ඉදිරියේ පන්දුවට පහර දෙන්නේ අම්මා තාත්තා වුවද තමන් බලන්නේ ඒ කඩුල්ල කෙසේ හෝ දවා ගැනීමට බව චාමික මීට පෙර රූපවාහිනී මාධ්‍යයට කීවේය. තමන්ට සහ රටට එරෙහිව පාන්ඩයා කී ඇනුම්පදයට චාමික සහ ශ්‍රී ලංකා කණ්ඩායම උත්තර දුන්නේ කටඋත්තර නැති වෙන්නට ය. ශ්‍රී ලංකා මාධ්‍ය ඉදිරියේ පාන්ඩයා එදා හැසුරුණේ චාමිකව පමණක් අවතක්සේරු කරමින් නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ කියන්නේ ඔබගේ රටෙන් කවුරු ආවත් අපට කමක් නැතැයි පාන්ඩයා එදා නොකියා කීවේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment