පාන්දර තුනට නින්දට ගොස් හවසට කාර්යාලයට යන ජනපති පුටින්

1423

ජාත්‍යන්තර භූ දේශපාලනයේ ප‍්‍රමුඛතම චරිතයක් වන ව්ලැදීමීර් පුටින් රුසියාවේ නායකත්වයට පත්ව විසි වසරක් සපිරුණේ 2019 වසරේ දෙසැම්බර් මාසයේය. මේ දිනවල පුටින් ගැන නිතර අසන්නට ලැබෙන්නේ යුකේ‍්‍රන ආක‍්‍රමණය නිසාය. හිටපු කේජීබී ඔත්තුකරුවෙකු ව්ලැදීමීර් පුටින් 1999 දෙසැම්බර් 31 ජනාධිපති ධුරයට පත් වූයේ බිල් ක්ලින්ටන් එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හොබවමින් සිටියදීය. දැන් ඇමෙරිකාවේ ජනපති ජෝ බයිඩන් වේ. ජෝර්ජ් බුෂ්, බරක් ඔබාමා මෙන්ම ඩොනල්ඞ් ට‍්‍රප්ම් යන ජනපතිවරුන් සමගද පුටින් ගනුදෙනු කළේය. පුටින් ජනාධිපති ධුරයට පත් වන විට ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධුරයේ කටයුතු කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. ඇයගෙන් පසු මේ දක්වා ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා තවත් තිදෙනෙකු තේරී පත්ව තිබේ. සෝවියට් සංගමයේ ලෙනින්ග‍්‍රාඞ් හිදී 1952 වසරේ ඔක්තෝබර් 07 වැනිදා උපන් පුටින් 2012 වසරේ මැයි 07 වැනිදා සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙසින් රට පාලනය කරමින් සිටින්නේ සුවිශේෂී වූ ජනවරමකිනි. ඊට පෙර එනම් 2000 සිට 2008 දක්වා ජනාධිපතිවරයා ලෙසින් සේවය කළ හෙතෙම, ඉන්පසුව 1999 සිට 2000 සහ නැවතත් 2008 සිට 2012 දක්වා රුසියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙසින් සේවය කළේය. අග‍්‍රාමාත්‍යවරයා ලෙසින් සේවය කළ අවසන් ධුර කාලය තුළදී, යුනයිටඞ් රසියා දේශපාලන පක්ෂයේ සභාපති ලෙසින්ද හෙතෙම කටයුතු කළේය.

පුටින් ජනපතිවරයාගේ දේශපාලනය ගැන නොව අප අද අවධානය යොමුකරන්නේ ඔහුගේ දින චරියාව පිළිඳවය. 69 හැවිරිදි ලොව බලවත්ම පුද්ගලයා නින්දට යන්නේ අළුයම තුනට වීම විශේෂයකි. ඔහු උදෑසනින් අවදිවන්නෙක් නම් නොවේ. පුටින් පාතරාසය ගන්නේ මධ්‍යහ්න කාලයේය. ඔහු සාමාන්‍යයෙන් විශාල ඔම්ලට් එකක් ආහාරයට ගන්නා අතර වටු බිත්තර මෙන්ම පලතුරු යුෂ ද ඔහුගේ උදෑසන ආහාර වේලට එක්වන බව නිව්ස්වීක් සඟරාවේ පළකර තිබිණි. එසේම මෙයට විශාල කැඳ බඳුනක් ද එක්කර ගනී. නිව්ස්වීක් වාර්තා කරන්නේ පුටින්ගේ ආහාර වේලට අවශ්‍ය එළවළු පලතුරු ඇතුළු සියල්ල රුසියාවේ ආගමික නායකයාගේ ගොවිබිම් වලින් නිතිපතා යවනු ලබන බවයි. පුටින් සිය ආහාර වේලට පසු කෝපි බීම පුරුද්දකි. ඊළඟට, ව්‍යායාම කිරීමට කාලයයි. රුසියානු ජනපතිවරයා පැය දෙකක පමණ කාලයක් පිහිනීම වෙනුවෙන් ගත කරයි. ඔහු වතුරේ සිටින අතරතුර ‘‘රුසියාවේ ඉදිරි ගමන” ගැන කල්පනා කරයි. පිහිනුම් අවසන් වූ පසු පුටින් ව්‍යායාම් ශාලාවේ බර ඔසවයි. 2015 දී ඔහු එවක රුසියානු අගමැති දිමිත‍්‍රි මෙද්වදෙව් සමඟ ව්‍යායාම කරන අයුරු ඡායාරූප ගත කර තිබිණි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ පරිදි, ඔහුගේ ව්‍යායාම ඇඳුමේ මිල ඩොලර් 3,200 කි. පුටින්ගේ ප‍්‍රියතම ඇඳුම් වෙළඳනාම කිටන් සහ බි‍්‍රයෝනි බව බව පැවසේ. රුසියානු ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් සවස් වනතුරු කාර්යාලයට නොයයි. පළමුව, පුටින් සිය කාර්ය මණ්ඩලය ලබාදෙන කෙටි සටහන් කියවීමට ඔහුගේ මේසයේ වාඩි වේ. මේවාට දේශීය ඔත්තු සහ විදේශ කටයුතු පිළිබඳ වාර්තා මෙන්ම රුසියානු පුවත්පත් සහ ජාත්‍යන්තර මාධ්‍යවල ප‍්‍රධාන පුවත්ද ඇතුළත් ය. සිය රැකියාවෙන් ඔබ්බට, රුසියානු ජනාධිපතිවරයා එතරම් කියවන්නෙකු නම් නොවේ. ඔහු පරිගණකයට වඩා කඩදාසි ලේඛන හරහා ගනුදෙනු කරයි. ඊමේල් යවන්නේ නැත. පෞද්ගලික ජංගම දුරකතනයක් භාවිතා නොකරයි. ඔහු බොහෝ කටයුතු නිරතවන්නේ රාත‍්‍රී කාලයේය. විදේශ සංචාර අතරතුර රුසියානු ජනාධිපතිවරයාගේ කාලසටහන තවත් දැඩි වේ. ඔහු කොතැනක සිටියත් කවර හෝටලයකට ගියත් ඇඳ ඇතිරිලි, පලතුරු බඳුන් සියල්ල ජනපති ආරක්ෂකයන් විසින් අලූතෙන්ම ආදේශ කරනු ලැබේ. වැසිකිළියේ කඩදාසි රෝල් පවා අලූතෙන් තබයි. ක්‍රෙම්ලිනය විසින් අනුමත නොකරන සත්කාරකයකුගේ ආහාර ද පුටින් කිසිවිටෙකත් පිළිගන්නේ නැත. ඒ අනුව ආහාර විශේෂ පරීක්ෂාවකින් පසු ජනපතිට පිරිනැමේ. ලොව කොහේ ගියත් එසේය. පුටින්ගේ ප‍්‍රියතම ආහාරය පිස්ටාශි ඕ අයිස්ක‍්‍රීම් බව ටෙලිග‍්‍රාෆ් පුවත්පත මීට පෙර වාර්තා කළේය. මීට වසර කිහිපයකට පෙර පැවති ජී 20 සමුළුව අතරතුර ඔහු චීන ජනපති ෂී ජින්පිං වෙත අයිස්ක‍්‍රීම් බඳුනක් ද තෑගි කළේය. වාර්තාවලට අනුව, විධිමත් පිළිගැනීම් උත්සවවල හැර, පුටින් මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටියි. මෙය ඔහුගේ දේශපාලන පියවරක් විය හැකිය. ඔහුගේ පූර්වගාමියා වූ බොරිස් යෙල්ට්සින් නම් හොඳ බේබද්දෙකි. පුටින්ගේ ඉංග‍්‍රීසි භාෂා පන්තිවලට ඉඩ සැලසීම සඳහා ඔහුගේ වැඩ කාලසටහන සති අන්තයේ වඩාත් නම්‍යශීලීවේ. ඉරිදා දිනයේ ඔහු සමහර විට යාච්ඤා කර පව් සමා කර ගනී. කවරක් නමුත් ‘‘පුටින්ගේ ජීවිතය ක‍්‍රිස්තියානි ජීවිතයක් නොවන” බව ජනාධිපතිවරයාට සමීප රුසියානු නිලධාරීන් අවධාරණය කර තිබේ. සෑම සති කිහිපයකට වරක්, පුටින්ගේ කාලසටහන ඔහුගේ ප‍්‍රියතම විනෝදාංශවලින් එකක් වන අයිස් හොකී සඳහා වෙන් කර ඇත. රුසියානු ජනාධිපතිවරයා ක‍්‍රීඩාව නිරීක්ෂණය කරන්නේ නිකම්ම නොවේ. ඔහු ලීගයක ක‍්‍රීඩා කරයි. තම ආරක්ෂක කණ්ඩායම් සමග ක‍්‍රීඩාවේ යෙදෙයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment