පාන් කතාව

758

ගතවූ වකවානුව තුළ අපගේ දෙසවන් වලින් ටිකෙන් ටික ඉවත් වූ නලා හඬ දෙකක් තිබේ. ඉන් පළමුවැන්න අයිස්ක්‍රීම්කාරයාගේ නලා හඬය. 1960 සිට 1990 දක්වා වූ වකවානුවේදී අයිස්ක්‍රීම්කාරයාගේ නලා හඬ මේ රටේ දූ දරුවන් පමණක් නොව මව්පියන්ගේත් කටට කෙල ඉනූ නලා හඬකි. එහෙත් වෙළඳපොළ නමැති සාධකය වඩාත් පුළුල් වී හැම තැනකම සුපර් මාර්කට් විවෘත වී අයිස්ක්‍රීම් බහුල වූ විට අයිස්ක්‍රීම්කාරයා පින්තූරයෙන් අතුරුදන් විය.

ඊළඟට අපේ දෙසවන් වලින් වියැකෙමින් පවත්නා හඬ වන්නේ චූන් පාන්කාරයාගේ සංගීත ශබ්දය ය. අයිස්ක්‍රීම්කාරයාගේ නලාව අතෙන් මිරිකන තනිකරම මැනුවල් භාණ්ඩයකි. චූන් පාන්කාරයාගේ සංගීත හඬ ඉලෙක්ට්‍රොනික් ගැජට්ටුවක සවිකළ ඩිජිටල් චිප් එකකින් නැගුනු හඬකි. චූන්පාන්කාරයා පිළිබඳ සංකල්පය ඉකුත් දශකයක කාලය තුළ දකුණු ආසියාවෙන් මතුවූ හොඳම ප්‍රචාරක උපක්‍රමයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. එහෙත් පාන් පිටි මිල ඉහළ ගොස් පාන් සහ බනිස් ඇතුළු බේකරි භාණ්ඩ නිෂ්පාදනවල මිල ඉහළ ගිය කල්හි චූන් පාන්කාරයාගේ බිස්නස් එක පල්ලෙහාටම බැස්සේය. ඒ නිසා වෙනදාට පාන්දර 5 සිට උදේ නවය දහය වනතුරුත් ඇසෙන චූන් පාන්කාරයන් හත් අට දෙනකුගේ නලා හඬ අද වන විට එක චූන් පාන්කාරයකුට පමණක් සීමා වී ඇත.

පාන් මිල ඉහළ යන්නේ ඩොලරයේ මිල වැඩි වූ බැවින් පමණක් නොවේ. ඒ මේ රටේ ප්‍රමුඛ තිරිඟු පිටි සමාගම් දෙකක් එකිනෙකා පරයා යමින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පටන් ගත් බැවිනි. අන්තිමේදී සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් 170 සිට 200 දක්වා වූ විවිධ මිල ගණන් වලටත් පෙති කපන ලද පාන් ග්‍රෑම් 500 රුපියල් 425 දක්වා වූ මිලකටත් තීන්දු විය. මේ නිසා පාන් කෑමට වඩා බත් කෑම අතිශයින්ම වැදගත් බව ජනතාවට මෙනෙහි විය. ඇත්තම කතාව නම් පිරිපහදු කරන ලද සුදු පැහැති පිටි වලින් නිපදවූ පාන් යනු වස වර්ගයකි. මේ පාන් වලින් දියවැඩියාව ඇතුළු රෝග බොහොමයක් වැළඳේ. පාන්වල ග්ලුටෙන් නමැති ද්‍රව්‍යය තිබේ. මෙයද ලෙඩවලට අත වැනීමකි. කටෙන් හපන පාන් කුසට ගිය ගමන් ආමාශික ඕජස් සමග එක්වී ග්ලයිකොජන් පිෂ්ඨය නිපදවේ. මෙය දියවැඩියා රෝගියාට මී පාසානම් දුන්නා හා සමානය.

එහෙත් පාන් යනු මේ මොහොත වනවිට මේ රටේ ආහාර සංස්කෘතියේ කොටසක් බවට පත්වී තිබේ. අලය නියඟලා වුවද එය කෑමට හැකි නම් සහ උදරය එයට පුරුදු වන්නේ නම් එය දිගටම පරිභෝජනය කිරීමේ අයිතිය ජනතාවට හිමිවේ. තිරිඟු පිටි නිෂ්පාදනය කරන මෙරට සමාගම් දෙක තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250 දක්වා අඩු කළොත් පාන් ගෙඩියක මිල රුපියල් 20 න් අඩුකළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා ඇත. ඒ නිසා රටේ ආහාර අර්බුදයක් පවතින මේ මොහොතේදී මෙතෙක් හම්බකළ ලාභ වලින් කොටසක් සමාජයට මුදා හැරීම සඳහා තිරිඟු පිටි මිල අඩු කිරීම පෙර කී සමාගම් දෙකේ යුතුකමය.

advertistmentadvertistment
advertistmentadvertistment