පාන් නැත්නම් කේක් කන්න කිව්වට දැන් පාන්-කේක් කාලා හමාරයි

138

දැන් තියෙන්නේ බටර් කේක් නෙවෙයි! මාජරීන් කේක්….

උත්සව සමයට කේක් විකිණෙන්නේ නෑ!

පාන් නැත්නම් කේක් කාපල්ලා’ යැයි කීවේ 1780 දී ප්‍රංශ අග රැජිනිය වූ මාරි ඇන්ටෝනිට් ය . ඒ එකල ප්‍රංශ සාගතයේදී මියැදෙමින් සිටි තම දරුවන්ට පාන් ලබා දෙන ලෙස රටේ ජනතාව කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙසය. සමාජයේ ප්‍රකට මේ කියමන හේතුවෙන්ම රැජිනගේ ජීවිත ගමන අවසාන වන්නේ ගිලටීනයෙනි. ඒ පරණ කතාවය, අලුත් කතාව අපට අදාළය. දැන් අපට පාන් මෙන්ම කේක් ද තිබේ. එහෙත් කේක් නොව පාන් කන්නටද අතේ මිටේ මුදල් හිඟය. මේ බව වැඩියෙන්ම දැනෙන්නේ මේ උත්සව සමය නිසාය. මේ උත්සව සමයේ මිනිසුන්ගේ සාක්කු හිස් වී ඇත. දැන් රටේ ජනතාව පාන් කේක් කන්නට නොව කටට රහට බත්වේලක් කන්නටද එක් වරක් නොව සිය පාරකට වඩා සිතන්නේය . කෙසේ හෝ ජීවත් විය යුතු නිසා තියෙන දෙයක් රත්කරගෙන කන්න මිනිසුන්ට සිදු වී තිබේ. නත්තල වෙනුවෙන් වන හැම සූදානමක්ම අපේක්ෂාවකි. කෙටියෙන්ම කියතොත් නත්තල යනු අපේක්ෂාවේ මංගල්‍යයකි. එසේ වුවද මේ වසර පුරා අප සියලු දෙනා ජීවත්වූයේ අපේක්ෂා භංග වූ පිරිසක් ලෙසය. බාල, තරුණ, මහලු භේදයක් නැතිව ඒ තත්ත්වයට මුහුණ පා ඇත.

“දැනට අවුරුද්දකට දෙකකට කලින් නත්තල, අලුත් අවුරුද්ද කියන්නේ අපට බිස්නස් සරුම දවස්. දෙසැම්බරයට සතියකට දෙකකටවත් කලින් මේ බිස්නස් හැදෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට අවුට්ලට් (outlet) එකට ගේන කේක්, ස්වීට්ස් වර්ග අපට මදිවෙන අවස්ථා වැඩියි. දැන් මේ තියෙන ටිකවත් විකුණගන්න බැරුව ඉන්නේ.”

මේ කතාව අපට කියන්නේ නමක් තිබෙන බේකරි නිෂ්පාදන ජාලයක ගම්පහට නොදුරු ශාඛාවක කළමනාකරුවෙකි. “නම් ගම් දාන්න එපා තියෙන බිස්නසුත් නැතිවෙලා මට රස්සාවත් නැතිවෙයි” ඔහු කාරුණික ඉල්ලීමක් කරන්නේය. ඇතිව තිබෙන තත්ත්වය අපි ප්‍රායෝගිකව අත්දුටුවෙමු. බොහෝ දෙනෙක්ට කේක් ගෙඩියක් රසකවිල්ලක් ගැනීමේ අවශ්‍යතාවක් ඇත්තේම නැති තරම්ය. වෙනදාට පුරුද්දක් වශයෙන් කේක් හෝ රස කැවිලි ගන්නා අය පවා ඒ ගැන එතරම් උනන්දුවක් නැති බව අපට සහාය වූ කළමනාකාරවරයා කීවේය.

“මෙතන සෙනඟ ගැවසෙන තැනක් මේ පැත්තේ පොළ තියෙනවා. රෙදි සාප්පු තියෙනවා, එහා පැත්තේ ක්ලාසස් තියෙනවා. එතකොට මෙතනට තේ එකක් බොන්න ආවත් කේක් එකක් අරගෙන ගෙදර යන අය හිටියා. එත් දැන් ‘ස්පංචි’ එකක්වත් ගන්න කවුරුත් නෑ. එහෙම තියෙද්දී නත්තලට, අවුරුද්දට මිනිස්සු මේවා ගනියි කියලා විශ්වාස කරන්න බෑ.” ඇත්ත, බොහෝ දෙනෙක් තමන් නගරයට පැමිණියේ ඇයිදැයි යන්න පවා තේරුම් ගන්නට නොහැකිව සිටින අන්දමක් පෙනෙන්නට තිබේ. ගෙදරට ගෙනියන දේ පවා තීරණය කරන්නේ පාර මාරුවන අතරේ නිච්චි නිනවූ නැතිවය. අනෙකුත් සියලුම බඩු බාහිරාදිය සේම මේවායේද මිල ඉහළ ගොසිනි. ඉතින් කවර කතාද?

තත්ත්වය තවදුරටත් තේරුම් ගැනීමට ‘සඳමාලී’ කියන කතාවද ඇසිය යුතුය. මොරටුවට මඳක් නුදුරින් එතරම් ජනාකීර්ණ නොවන ප්‍රදේශයක පදිංචිව සිටියද නත්තල් සමයේ දී ‘සඳමාලී’ ට කේක් ඕඩර වලින් අඩුවක් නැත. නගරයේ සිටින බොහෝ කිතුනුවන්ගෙන්ද සඳමාලිගේ කේක් වලට විශාල ඉල්ලුමක් තිබිණි. “මම සාමාන්‍යයෙන් දෙසැම්බර්වලට කලින්ම ගිහින් පිටකොටුවෙන් කේක් ඕඩර් වලට ඕනා කරන බඩු ටික ගන්නවා. මේ සැරෙත් මම නොවැම්බර් මැද සතියෙම ගිහින් බඩු ටික ගෙනාවා. ඒත් තවම මට ඕඩර් ඇවිල්ලා තියෙන්නේ එකයි. අවුරුද්දකට දෙකකට කලින් මට එහෙම වුණානම් බයක් නෑ. මොකද උපන්දින පාර්ටි, වෙඩින්, වෙන වෙන උත්සව තියෙනවා. එත් දැන් ඒවත් අඩු නිසා ගත්ත බඩුවලට ගිය වියදම අපරාදේ. අනික වෙනදා මම දරන වියදම වගේ පස් හය ගුණයක වියදමක් ගියා මට මේ බඩු ටික ගන්න”ස්වයං රැකියාවක් ලෙස කරගෙන ආ ව්‍යාපාරද තිබෙන්නේ අනතුරුදායක කලාපයක බව සඳමාලි නොකියා කියන්නේය. සඳමාලිගේ කතාව අනුමත කරන තවත් බොහෝ පිරිසක් සමග අපි කතාබස් කෙරුවෙමු. ජෙනිටා තමන්ගේ බිස්නස් නවතා බොහෝ කල් බව කීවාය.

“අරගල පටන් ගන්නකොටම මට තේරුණා තවදුරටත් මේ බිස්නස් හරියන්නේ නෑ කියලා. තියෙන සල්ලිත් නිරපරාදේ වියදම් කරන්නේ මොකටද කියලා මට හිතුනා. මොකද මම ඉන්නේ ක්‍රිස්තියානි කතෝලික වැඩි පිරිසක් ඉන්න ලයින් එක පටන් ගන්න හරියේ වගේ. ඒ කියන්නේ වත්තල ඉඳලා දිගටම එහෙමයි. නත්තල කියලා නෑ, ඕන තරම් උත්සව පාර්ටි තියෙනවා. එත් ටිකෙන් ටික ඒවා අඩු වෙනකොට මට තේරුනා තවදුරටත් මේක ඇදගෙන යන්න බෑ කියලා.

මෙවර අලුත් අවුරුද්දේදී හා නත්තලේදී බේකරිකරුවන්ද මුහුණපා සිටින්නේ බරපතළ අර්බුදයකටය. ඒ වෙනදා තරම් කේක් ඇනවුම් ආදිය තමන්ට නොලැබෙන නිසාය. බොහෝ බේකරිකරුවන් කියන්නේ මේ වනවිට පාන්, බනිස් වැනි බේකරි නිෂ්පාදන බොහොමයක් අලෙවි කර ගැනීමේ අපහසුතා නිසා කේක් ඇනවුම් ගැන තිබූ බලාපොරොත්තු ද සුන්ව ඇති බවය. “දැන් අපි පාන් හදන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. මොකද මිනිස්සු දැන් පාන් ගෙඩියකට ලොකු ගානක් වියදම් කරන්න කැමති නෑ. ඇත්තටම පහුගිය සතියේ රුපියල් දහයකින් අඩු කළා කියලා, ඒක දැනෙන්නේවත් නෑ. මේ පාර කේක් ඕඩර් ඇත්තෙත් නෑ. සාමාන්‍යයෙන් අපි නත්තලටයි, සිංහල අලුත් අවුරුද්දටයි වැඩකරන අයට කීයක් හරි වැඩිපුර ගෙව්වේ ඒ ඕඩර්ස් වලින්. මේ පාර ඒකත් නෑ .” පානදුරයේ දර පෝරණු බේකරියක් කරන ධර්මරත්න කියන්නේය. ඔහු හීල්ලුවේ නැත. එහෙත් වචන බර කර කියූ ආකාරයට ඔහුගේ ව්‍යාපාරයද ඉක්මනින් වැසෙන ලකුණු පෙනෙන්නට තිබිණි.

පාන් නැත්නම් කේක් කන්න කිව්වට දැන් පාන්-කේක් කාලා හමාරයි

එලෙසම පාන්, බනිස් කේක් බිස්කට් වෙළෙඳාම් කරන සංචාරක වෙළෙඳුන් මුහුණ පා හිඳින්නේද දරුණු අර්බුදයකටය. සති අග පොළවල කුඩා ප්‍රමාණයේ බනිස්, කේක් වර්ග, කැවිලි වර්ග වෙළඳාමේ යෙදෙන අය බොහෝය. සුනිල් එවැන්නෙකි. සුනිල්ගේ ස්වීට්ස් ලෑල්ල වටා එක රොක් වී සිටි සෙනඟ අද දකින්නට නැත. සුනිල්ගේ ස්වීට්ස් ලෑල්ල මැස්සන්ට සහ ඇඹලයන්ට සින්න වී ගොසිනි. දරුවන් කැටුව පොළට එන සමහර මවුපියන් සුනිල්ගේ කඩජෝරු ලෑල්ල දෙස හොරැහින් හෝ බැලීමට දරුවන්ට අවස්ථාවක් දෙන්නේ නැත.

“හෙණයක් පාත් වුණා වගේ. හැමදේම අහස උසට නැගලා අපිට යන එනමං නැති වෙලා තියෙන්නේ. මේ කෑමවලට මොනවා කරන්නද කියලා මට හිතාගන්න බෑ . තාම එක බිස්නස් එකක් ආවේ නෑ. මිනිස්සුන්ට සල්ලි නෑ. මටත් නෑ මමත් මේක කරන්නේ මගේ දරුපවුල වෙනුවෙන්. මාසෙක විතර වෙලේ ඉඳලා කටට රහට කෑම ඩිංගක් කෑවේ නෑ. දරුවෝ දෙන්නා අඬනවා උන්ට ඒවා කන්න බෑ කියලා. මේ කේක් කෑලි පුස් කනවා, මේ බිස්කට් වලට හුලං වැදිලා පෙඟෙනවා, ඒකත් පාඩු මටමයි. මේ කේක් පුස් කෑවොත් ආයේ හදාගෙන ඇවිල්ලා විකුණන්න දැං මට වත්කමක් නැ.”

සාමාන්‍යයෙන් නත්තල සමරන ඕනෑම ගෙදරක නත්තල් කෑම මේසය සරුවට ගැනීම සිරිතක්ව තිබේ.

“සාමාන්‍යයෙන් හැම නත්තලකටම වගේ අපේ ගෙදර නත්තල් කේක් එකක් අපිම හදනවා. එකට ආමන්ඩ්, රටඉඳි, මුද්දරස්පලන් වගේ ගොඩක් දේවල් දලා තමයි හදන්නේ. පොඩි හරි ගණන් වැඩි දේකට තිබුණේ ආමන්ඩ් විතරයි. ඒකත් අපට දරන්න පුළුවන් සාධාරණ මිලක්. ඒත් දැන් හැමදෙයක්ම තුන් ගුණේකින් ගණන් වැඩි වෙලා. නත්තල් කේක් එකක් තියා බටර් කේක් එකක්වත් හදන්න බෑ. කොහොමහරි බටර් කේක් එකක් හරි හැදුවා කියමුකෝ එත් ඊට පස්සේ අනිත් දේවල් ගන්න සල්ලි මදි වෙනවා. මේ පාර නත්තලට අපි හිතන් ඉන්නේ දේව මෙහෙයන්වලට විතරක් සම්බන්ධ වෙලා නත්තල අපිට පුළුවන් විදිහට සමරන්න. දෙවියන් වහන්සේට වුණත් අපි විඳින මේ වේදනාව තේරෙනවා ඇති.”

නත්තල් සිරිය විඳින්නට බලාපොරොත්තුවෙන් සිටි නමුත් දැනටමත් ආශා භංගත්වයට පත් ඇය නමින් වින්ඩි. දුකත් කනස්සල්ලත් මැද දෝලනය වෙමින් අපට එලෙස පැවසුවාය. වින්ඩි සහ වින්ඩිගේ පවුලේ උදවියට පමණක් නොව ශ්‍රී ලංකීය සමස්ත කිතුනුවන්ට අත් වී ඇත්තේ එකම ඉරණමකි.

“පාන් නැත්තම් කේක් කාපල්ලා” මෙවැනි ප්‍රකාශයන් තිබුණට පාන් හෝ කේක් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍යවල සැබෑ මිල ගණන් සහ මෙම උග්‍ර ගැටලුවේ ඇති සැබෑ ස්වරූපය දන්නේ බේකරි ආහාර නිෂ්පාදනයේ නියැළි සිටින්නන් පමණි. සමස්ත ලංකා බේකරි නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ඒ ගැන පැහැදිලි කළේය.

“අපි අවස්ථා දෙකකදී 10 ඒවා දෙකක් අඩු කරා. ඒත් මිනිස්සු හැමෝම කතාවෙන්නෙ ඊයේ පෙරේදා අඩු කළ රුපියල් 10 ගැන විතරයි. අපිට පුළුවන් උපරිමය තමයි අපි මේ නිෂ්පාදනවල මිල ගණන් අඩු කරලා තියෙන්නේ. සියලුම බේකරි හිමියන්ගේ මුලින්ම ඉල්ලන්න කැමතියි මේ රුපියල් විස්සේ වාසිය ජනතාවට ලබා දෙන්න කියලා. පසුගිය අවුරුදුත් එක්ක බලනකොට මේ කාල වකවානුවේ අපේ මේ බේකරි නිෂ්පාදන සියල්ල 50% කින් කඩන් වැටිලා තියෙන්නෙ. මොකද මිල ගණන් අධික ලෙස ඉහළ යෑමත් සමග ජනතාව බේකරි නිෂ්පාදන මිලදී ගැනිම ප්‍රතික්ෂේප කරනවා.

ඉස්සර කේක් කිලෝ එකක් රුපියල් 300ක් වගේ සාධාරණ මිල ගණන් යටතේ තමයි වෙළෙඳපොළේ විකිණුවේ. ඒත් අද වෙනකොට අසාමාන්‍ය විදිහට මේ සියලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් බටර් කේක් කිලෝ එකක් රුපියල් දාහක් පන්නලා. මුලින්ම කියන්න ඕනේ බටර් කේක් කිව්වට ඇත්ත නම “මාජරින් කේක්”. පාන් ගෙඩියක් රුපියල් 180. අපි මේ පිළිබඳව විටින් විට රජය දැනුවත් කළත් මේ සඳහා නිසි පිළියමක් අද වෙනතුරුත් අපිට ලැබිලා නෑ. කේක් හදන්න අවශ්‍ය වෙන ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි බටර් කියන්නේ කියන්නේ. දැන් බටර් කිලෝ එකක් රුපියල් 3500ත් පැනලා. බේකරිවලින් බටර් දාලා කේක් හැදුවොත් දෙන්න වෙන්නේ රුපියල් 3000ක් වගේ ගානට. රුපියල් දාහක් දීලා කේක් ගන්නේ නැති මිනිස්සු රුපියල් තුන්දහක් දීලා කීයටවත් කේක් ගන්නේ නෑ. ඊට පස්සේ වෙන්නේ බේකරි හිමියන්ට මේ කේක් ගෙදර අරගෙන යන්න තමයි. බටර් මෙච්චර ගණන්
ගිහිල්ලා තියෙන්නේ රජය විසින් පනවලා තියෙන අධික බද්ද. මිනිස්සුන්ට හොඳ දේවල් දෙන එක නවත්තලා තියෙන්නේ රජය විසින්මයි. බේකරි හිමියන්ට බටර් ආනයනය කරනකන් බලාගෙන ඉන්න බෑනේ. මොකද එයාලත් කරන්නේ ව්‍යාපාරයක්. බටර් වෙනුවට තියෙන හොඳම පිළියම තමයි මාජරින්. ගානත් අඩුයි අනික මාජරින් ලංකාවේත් නිෂ්පාදනය කරනවා. කේක් හදන්න අවශ්‍ය අනෙක් ප්‍රධාන අමුද්‍රව්‍යක් තමයි බිත්තර. දැන් බිත්තරයක් රුපියල් 60 පන්නලා. දැන් බිත්තර කියන්නේ සුඛෝපභෝගී ද්‍රව්‍යක් බවට පත්වෙලා. බිත්තරයක් රුපියල් 60ට අරගෙන කේක් කිලෝ එකක් රුපියල් 300 විකුණන්න අපිට බැහැනේ. මේ අවස්ථාවේදී බේකරි හිමියනුත් අසරණයි ජනතාවත් අසරණයි. මේ අධික බදු පැනවීම සහ දරාගත නොහැකි විදුලි බිල කොහොමද ව්‍යාපාරිකයෝ දරන්නේ. පැටිස් එකට කට්ලට් එකට රෝල් එකට 15%ක බද්දක් සහ පාන් ගෙඩියට 5%ක බද්දක් ගහලා තියෙන්නේ. රජයෙන් සිදුකරන මේ අසාධාරණයත් එක්ක බේකරි නිෂ්පාදකවරු මිරිකිලා හෙම්බත් වෙලා ඉන්නේ. මේ යන විදිහට බේකරි කර්මාන්තයේ අනාගතය ගැන අපිට කියන්නත් බෑ.”

ඔහු පවසන ආකාරයට වර්තමානයේ බේකරි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමත් සමග බේකරි නිෂ්පාදකවරුන් ඊට පිළියමක් ලෙස ආදේශක අමුද්‍රව්‍ය භාවිත කරනවා. මෙය මිනිස් ශරීරයට හිතකරද?

මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. එච්. විජේසිරිවර්ධන කියන කතාව ඇසිය යුත්තකි.

“ශරීරයට අහිතකර ආහාර ද්‍රව්‍ය හෝ ආහාර රසකාරක වැනි ඕනෑම දෙයක් පිළිබඳව වාර්තාවක් හෝ ඔත්තුවක් සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් වෙත ලැබුණොත්, අපි එම ආහාරය හෝ රසකාරක රජයේ රස පරීක්ෂක වෙත යොමු කරනවා. ඉන්පසු එමගින් ලැබෙන රස පරීක්ෂණ වාර්තාවට අනුව 1980 අංක දරණ 26 දරන ආහාර පනත ට අනුව නඩු පැවරීමේ අයිතිය අප සතුව තියෙනවා. දැනට ආහාර සඳහා භාවිතා කරන සියලුම රසකාරක, ආදේශක ලංකාවේ අනුමත කරල තියෙන දේවල් නිසා ගැටලුවක් නැහැ. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේම දෙයක් ඕනවට වඩා ආහාරයට ගත්තොත් එවිට එය මිනිසුන්ට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්.” සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයෙන් අපි මේ පිළිබඳව විමසා බැලුවෙමු. එහි ප්‍රකාශකයෙකු කී කාරණය දැනගැනීම වැදගත්ය.

“ආහාර සියල්ලේම මිල ඉහළ යෑමත් නිසා ව්‍යාපාරිකයන් වෙනත් ආකාරයකින් හෝ ලාභයක් ලැබීමට කටයුතු කරනවා. එහි දී ඉදිරියෙන්ම සිටින දෙයක් තමයි ආහාර ආදේශක. මෙම ආදේශක භාවිත කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආහාරයක් සඳහා භාවිත කළ යුතු මාත්‍රාවන් පිළිබඳව ආහාර නිෂ්පාදකවරුන් දැනුවත් කරනවා. නිර්දේශිත මාත්‍රාවට පිටින් ආහාර නිෂ්පාදනය කළොත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.”

ඉතින් අප පාන් පමණක් නොව කේක් ද කෑ යුතුය. ඒ, අතමිට සරු දිනකය. එතෙක් නත්තලෙත්, අලුත් අවුරුද්දෙත් දත් මිටි කෑමෙන් පමණක් සැනසෙමු.

මල්මි රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment