පාන් නැත්නම් කේක් කිව්වට දැන් පානුත් නෑ කේකුත් නෑ!

161

● බේකරිකරුවෝ අමාරුවේ

● බේකරි විශාල සංඛ්‍යාවක් වැහිලා

● දුප්පතාගේ කෑම වේලටත් තට්ටු

පානුයි පරිප්පුයි කහට කෝප්පයයි දුප්පතාගේ හිතවතා කියලා තමයි ඉස්සර කතාවටත් කිව්වේ. ඒත් දැන් දුප්පතාට තියා අත මිට මුදල් ගැවසෙන මිනිස්සුන්ටත් පානුයි පරිප්පුයි කන්න කලින්, කහට කෝප්පයක් බොන්න කලින් දෙතුන් පාරක් හිතන්න වෙලා. තුන් වේලම කටට රසට කෑම වේලක් කන්න බැරි මිනිස්සු සිය දහස් ගණනක් එක් වේලක් හරි තමන්ගේ කුසගින්න නිවා ගත්තේ පාන් කෑල්ලකින්. එහෙමත් නැත්නම් බනිස් ගෙඩියකින්.

සුපිරි තට්ටු මන්දිර වලට වගේම දුගී දුප්පත් පැල්පත්වලටත් වලටත් පාන් කියන්නේ නුහුරු නුපුරුදු කෑමක් නෙමෙයි. ඒත් දැන් පාන් කෑල්ලක් කන්නවත් වත්කමක් නැති මිනිස්සු මේ රටේ ඕනෑවටත් වැඩියෙන් ඉන්නවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සහ එළවළු පලතුරු වල මිල ගණන් ඉහළ යෑම නිසා මිනිසුන් පාන් සහ බේකරි නිෂ්පාදන වලටත් කෙටි කෑම වලටත් වැඩි වශයෙන් යොමු වුණා. නමුත් දැන් බේකරි නිෂ්පාදනවල පවා මිල දෙතුන් ගුණයකින් වැඩිවෙලා.

මීට මාස කිහිපයකට කලින් රුපියල් 50ට 60ට අලෙවි වූ පාන් රාත්තලක නව මිල රුපියල් සීයත් පහු කරලා. ඒ වගේම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පවා එකට එකක් ඉහළ ගිහින්. පාන් වල මිල ගණන් ඉහළ යෑම නිසාම වෙනදාට පාන් රාත්තලක් මිලදී ගත්ත මිනිස්සු දැන් පාන් බාගයක්, පාන් කාලක් මිලදී ගන්න පුරුදු වෙලා.

කොහොම වුණත් මේ මාස පහ හය ඇතුළත පාන් වල මිල වෙනස් වීම සම්බන්ධයෙන් කිහිප වතාවක්ම විවිධ තොරතුරු වාර්තා වුණා. පසුගිය දොළොස් වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් විස්සකින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදු වන බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දුන්නා.

රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් දින ගණන් සති ගණන් මිනිසුන් පෝලිම්වල සිටින අවස්ථාවක පාන් බනිස් ඇතුළු කෙටි ආහාර පාන වල මිල ගණන් මෙලෙස ඉහළ දැමීම පිළිබඳව ජනතාවට තිබුණේ අප්‍රසාදයක්.

නමුත් මේ විදියට පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවීම ගැන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට කීවේ මේ වගේ කතාවක්.

“බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම ගැන ජනතාව මේකට හිමියන්ට දොස් කියනවා. නමුත් පාන් හා බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දාන්නේ බේකරි හිමියන්ගේ වුවමනාවකට නෙමෙයි. මේ වෙද්දි පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය සියල්ලකම මිල 400% කින් වැඩි වෙලා. සීනි, පිටි, මාජරින්, බිත්තර තෙල් හැමදේකම මිල ගණන් ඉහළ ගිහින්.

කෑම හදන්න ගන්න අමුද්‍රව්‍ය වල මිල ගණන් සීයට හාරසීයකින් ඉහළ ගියාම රුපියල් 60ට පාන් රාත්තලක් විකුණන්නේ කොහොමද?”

වෙනදාට රුපියල් 84.50 කට මිලදී ගත් පිටි කිලෝවක් දැන් රුපියල් 300කට ආසන්න මුදලක් වැය කර මිලදී ගන්නට බේකරි හිමියන්ට සිදුව ඇති බවට ජයවර්ධන මහතා පෙන්වා දෙනවා. ඒ නිසා සුපුරුදු මිලට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන අලෙවි කිරීමට හැකියාවක් නැති බව ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

ඒ වගේම රට පුරාම ඇති වෙලා තියෙන ඉන්ධන අර්බුදය නිසාත් බේකරි ආශ්‍රිත කටයුතු අතරමග නතර වෙලා කියලා අපට දැනගන්න ලැබුණා. කොවිඩ් කාලසීමාව තුළ බේකරි සියයට හතළිහකට ආසන්න ප්‍රමාණයක් වසා දැමීමට සිදුවුණා. පවතින ඉන්ධන අර්බුදය සහ ආර්ථික ගැටලු නිසා මේ වෙද්දි බේකරි සියයට පනහකටත් වැඩි ප්‍රමාණයක් වහලා දාලා.

වෙනදාට ගමෙන් ගමට නගරයෙන් නගරයට පාන් අරගෙන යන ජංගම පාන් අලෙවි රථය එහෙම නැත්තං චූන් පාන් ලොරිය දැන් දකින්නේ කලාතුරකින්. ඉඳහිටක පාන් ලොරිය ආවත් පාන් මිල දී ගන්න පිරිස පවා අඩුවෙලා.

“මිනිස්සු පාන් ගණන් ගිහින් කියලා අපිට බනිනවා. අපි කුලියට වාහන අරගෙන, රුපියල් දෙතුන් දාහට තෙල් ගහගෙන තමයි බිස්නස් කරන්නේ. බේකරිවලට සල්ලි දීලා, වාහන වල කුලිය ගෙවලා තෙල් ටික ගහ ගත්තාම ලාභයක් නෑ. මේ බිස්නස් එකෙන් හම්බෙන සල්ලි වලින් දවසක් ජීවත් වෙන්නත් බැහැ. අපි දැන් පාන් බිස්නස් කරන්නේ නොකර බැරි කමට.”

ජංගම අලෙවි රථයකින් පාන් අලෙවි කරන ප්‍රියන්ත කීවේ ඒ වගේ කතාවක්.

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා, පාන් සමඟ මිනිසුන්ගේ කොයි තරම් සමීප සම්බන්ධතාවක් තියෙනවා ද කියලා ඒ වචන ටික අපූරුවට පැහැදිලි කරනවා. ඒත් දැන් බඩගින්න නිවා ගන්න පාන් කෑල්ලක් කන එකත් පණ යන වැඩක්. පාන් කන එක වගේම පාන් හදන එකත් පණ යන වැඩක් කියලා අපිට කිව්වේ බේකරි හිමියෙක් වන කැලණියේ සුමනසිරි.

“දැන් අපිත් එක්ක වැඩ කරන සේවකයන්ට පඩි නඩි ගෙවා ගන්නත් බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. අමුද්‍රව්‍ය වල මිල ගණන් අහස උසට. මේ බේකරි ආශ්‍රිතව මිනිස්සු කී දෙනෙක් ජීවත් වුණාද. කීදෙනෙක් මේ කර්මාන්තය හින්දා ජීවිතය ගැටගහ

ගන්නවාද? ඒත් දැන් බේකරි කර්මාන්තය බාගෙට බාගයක්ම කඩා වැටිලා තියෙන්නේ. වෙනදාටනම් ණයත් අරගෙන හරි බය නැතුව රස්සාව කරන්න තිබ්බා. දැන් ණයක් අරගෙන වත් බේකරි රස්සාව කරන්න බැරිවෙලා තියෙන්නේ.”

කොහොම වුණත් රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඇතැම් වෙළෙඳුන් බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල අත්තනෝමතිකව ඉහළ දමන බවට ද අපට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති වරයා මේ විදියට අදහස් දැක්වූවා.

“රටේ පාලනය දුර්වල වුණාම කලු කඩ මාෆියාව හිස ඔසවනවා. ඒකෙන් බඩේ පාර වදින්නේ අමාරුවෙන් ජීවිතය ගැට ගහගන්න මිනිස්සුන්ට. පිටි සමාගම්, වගේම වෙනත් අමුද්‍රව්‍ය ගෙන්වන සමාගම් හිතෙන හිතෙන මිල ගණන් වලට ඒවා විකුණනවා. අමාරුවෙන් හරි මේ කර්මාන්තය පවත්වාගත යුතු නිසා තාමත් කිහිපදෙනෙක් මේ අමුද්‍රව්‍ය මිලට අරගෙන බේකරි නිෂ්පාදනය පවත්වාගෙන යනවා. නමුත් මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් ඉදිරියේදී දිවයින පුරාම තියෙන බේකරි ටික වහලා දාන්න සිද්දවෙයි”

මේ විදිහට බේකරි කර්මාන්තය ආශ්‍රිතව ඇති ගැටලු බොහෝමයක් පිළිබඳව බේකරි හිමියන්, වෙළෙන්දන් විවිධ අදහස් ඉදිරිපත් කළා. වරද කාගේ වුණත් එහි ප්‍රතිඵල අත්විඳින්නේ අහිංසක ජනතාව. ඒ ගැන අරගල භූමියේ හිටිය කාන්ති වචන ගොනු කළේ ආවේගයක් වේදනාවත් මුසු වූ හඬකින්.

“අපේ කොල්ලෝ කෙල්ලෝ මේ රට වෙනුවෙන් සටන් වදිනවා. උන්ගේ බඩගින්න නිවන්න පාන් බනිස් ටිකක්වත් දෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. එක එක්කෙනා එක එක්කෙනා පිට වරද පටවනවා. හැබැයි තැලෙන්නේ අහිංසක ජනතාව. තුන්වේලම බත් කෑවේ නැති මිනිස්සු වේලක් දෙකක් පිරිමහා ගත්තේ පාන් බනිස් වලින්. එහෙම නැත්තං රොටීයකින්. එහෙමත් නැත්නම් කෙටිකෑම කින්. ඒ හැම දෙයක්ම දැන් මිනිස්සුන්ට නැතිවෙලා.”

පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යෑම නිසා කොළඹ සහ ඒ අවට බෝඩින් වල ජීවත්වෙන පිරිස ද අපහසුවට පත්ව ඇති බව ඒ පිළිබඳව සොයා බැලීමේදී අපට වාර්තා වුණා. ඒ වගේම දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙලෙස පාන් ඇතුළු ආහාර ද්‍රව්‍ය රාශියක මිල ඉහළ දැමීම ගැන අපි විවිධ පුද්ගලයන් සමඟ සාකච්ඡා කළා.

කොළඹ අවට මහල් නිවාස සංකීර්ණවල ජීවත් වන බොහෝ මිනිසුන් වගේම පැල්පත්වල ජීවත්වන මිනිසුන්ට පාන් බනිස් වල මිල ඉහළ යෑම තදින්ම බලපානවා. පවුලේ සාමාජිකයන් පස් හය දෙනෙක් එකතු වෙලා එක පාන් රාත්තලක් බෙදාගෙන කන සිද්ධීන් පවා අපට වාර්තා වුණා.

අඩුමතරමින් කන්න බොන්න ටික හරි තිබුණානම්, අමාරුවෙන් හරි ජීවිතේ ගැටගහගන්න තිබ්බා කියලා අපිත් එක්ක කතා කරපු ගොඩක් මිනිස්සු කිව්වා. ඇත්තටම රැජින කිව්වේ ඒත් නැත්නම් පාන් කාපල්ලා කියලා. ඒත් පානුත් නැත්නම් කන්න වෙන්නේ මේ මහ පොළොවේ පස් ද කියලා මිනිස්සු තවමත් ප්‍රශ්න කරනවා.

කුමාරි ඉරුගල්බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment