පාපන්දුවට නව ජවයක් ලැබුණු සුපර් ලීග් තරගාවලියක්

116

ජාත්‍යන්තරයේ ක‍්‍රියාත්මක කෙරෙන වෘත්තිමය පාපන්දු තරගාවලියක ස්වරූපයට අනුවර්තනය කිරීමේ අභිප‍්‍රාය ඇතිව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන අභිනවයෙන් හඳුන්වා දුන් ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව තහවුරු කර ගැනීමට බ්ලූ ස්ටාර්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූයේ එම ගෞරවය පළමු වරට කළුතර දිස්ත‍්‍රික්කයට ද රැගෙන යමිනි.

පුරා වසර 17 ක් තිස්සේ ලත් පරාජයේ අමිහිරි වේදනාව මැනවින් අවබෝධ කර ගනිමින් සංවිධානය වූ කළුතර බ්ලූ ස්ටාර්ස් ක‍්‍රීඩකයන් මෙවර තරගාවලිය පුරා ප‍්‍රදර්ශනය කළේ ජයග‍්‍රාහී මානසික මට්ටමකින් බව පෙනෙන්නට තිබුණේ සමාරම්භක තරගයේ සිටමය. එහි කූටප‍්‍රාප්තිය දැක ගන්නට හැකියාව ලැබුණේ ඉකුත් අඟහරුවාදාය (11) සවස කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ක‍්‍රියාත්මක කෙරුණු බ්ලූ ඊගල්ස් සමාජය සමග තරගයේදී ඊට එරෙහිව ලත් ගෝල් 03 – 02 ක තියුණු ජයග‍්‍රහණයත් සමගිනි.

ඒ අනුව මෙවර තරගාවලිය පුරා ජයග‍්‍රහණ 07 කින් සහ එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් සටහන් කර ගත් ප‍්‍රසාද ලකුණු 22 ආශ‍්‍රිතව ආරම්භක ‘‘සුපර් ලීග් අභියෝග කුසලාන” පාපන්දු සටනේ ශූරයින් ලෙස අභිෂේක ලැබීමට කළුතර බ්ලූ ස්ටාර් ක‍්‍රීඩකයන්ට හැකි වීම කැපී පෙනුණි.

ශූරතාව තහවුරු කරගත් බ්ලූ ස්ටාර් පාපන්දු සමාජයට ‘‘සුපර් ලීග් අභියෝග කුසලාන” සමගින් මුදලින් රුපියල් මිලියන 5ක් හිමිවන අතර එය අඟහරුවාදා (18) කොළඹ බත්තරමුල්ලේ පිහිටි වෝටර්ස් එජ් පරිශ‍්‍රයේදී උත්සවාකාරයෙන් ප‍්‍රදානය කිරීමට ජස්වර් උමාර් මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන විධායක කමිටුව පියවර ගෙන තිබේ.

සැලසුම් සහගත පුහුණුව හා තරග රටාව මෙන්ම තරග ක‍්‍රමවේදයන් තරගයෙන් තරගයට වෙනස් කරමින් ප‍්‍රතිවාදීන් අභිබවා යෑමට කළුතර ක‍්‍රීඩකයන්ට හැකි වීම මෙවර තරගාවලියේ ජයග‍්‍රහණයේ ප‍්‍රමුඛතම රහස බවට පත්ව තිබුණි.

පුහුණුකරුගේ උපක‍්‍රමශීලීත්වය මෙන්ම ඒ සඳහා ලබාදුන් ක‍්‍රීඩක දායකත්වයත් ඉහළ අගයක් ගත්තේය. පෙර පෙළ සහ මැද පෙළ මෙන්ම පසු පෙළ ක‍්‍රීඩකයන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතු පන්දු හුවමාරුව ද ඒ අතර කැපී පෙනුණි.

මෙවර තරගාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ ‘‘සී හෝර්ක්ස් පාපන්දු සමාජය” සමත් වූයේ තමන් මුහුණ දුන් තරග ආශ‍්‍රිතව ප‍්‍රසාද ලකුණු 19 ක් හිමිකර ගනිමිනි. ඒ සඳහා පැමිණි ගමනේදී ජයග‍්‍රහණ 06 ක් සහ ජය පරාජයෙන් තොරව නිම වූ එක් අවස්ථාවක් සී හෝර්ක්ස් පිල හමුවේ සටහන් විය. දෙසැම්බර් මස 06 දින අප් කන්ටි‍්‍ර ලයන්ස් පිල ට එරෙහිව ක‍්‍රීඩකයන් යෙදවීමේ දී සිදු කළ අපරීක්ෂාකාරී බව නොවන්නට සී හෝර්ක්ස් පිලට මීට වඩා සතුටින් තරගාවලිය හමාර කරන්නට ඉඩ තිබුණි. එහිදී සිදු කළ වරදට දඬුවමක් ලෙස ඔවුන් ලත් ප‍්‍රසාද ලකුණු 03 ක් අහිමි වී ගියේය.

ප‍්‍රසාද ලකුණු 19 ක් වාර්තා කර ගනිමින් සී හෝර්ක්ස් පිල සමඟ සමතැන් ගත්තද මෙවර තරගාවලියට හඳුන්වා දී තිබුණු කොන්දේසියකට අනුව තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට ප‍්‍රබල කොළඹ පාපන්දු සමාජයට සිදු වුණි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් සහ ජයග‍්‍රහණ 06 ක් සටහන් කර ගනිමින් කැපී පෙනෙන දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට ප‍්‍රබල කොළඹ ක‍්‍රීඩකයන්ට ද හැකි වීම කැපී පෙනුණි. ප‍්‍රසාද ලකුණු 17 ක් සමග මෙවර තරගාවලියේ 04 වැනි ස්ථානය කොළඹ රිනවුන් ක‍්‍රීඩා සමාජයට හිමි වන අතර වාරයේ දක්ෂ ක‍්‍රීඩකයන් පිරිවරාගත නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් සමාජයට සෑහීමට පත්වන්නට සිදුවන්නේ 05 වැනි ස්ථානයෙන්ය. ඔවුන් ලත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 16 කි.

දෙපිලම සටහන් කර ගත් ජයග‍්‍රහණ සංඛ්‍යාව 05 කි. තරග 02 ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට රිනවුන් පිලට හැකි වූ අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට අප් කන්ටි‍්‍ර ලයන්ස් සමාජයට හැකි විය.

මෙවර තරගාවලියේ 06 වැනි ස්ථානය පානදුර රෙඞ් ස්ටාර්ස් පාපන්දු සමාජයට ද 07 වැනි ස්ථානය ශ‍්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයට ද 08 වැනි ස්ථානය වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු සමාජයට ද 09 වැනි ස්ථානය කොළඹ රත්නම් ක‍්‍රීඩා සමාජයට ද 10 හෙවත් අවසන් ස්ථානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ බ්ලූ ඊගල්ස් පාපන්දු සමාජයට ද හිමි වෙමින් නිමාවට පත්විණි. රත්නම් සහ බ්ලූ ඊගල්ස් යන දෙපිලට ආරම්භක තරගාවලියේ එකදු ජයග‍්‍රහණයක් හෝ සටහන් කර ගැනීමට නොහැකි වීම ද කැපී පෙනුණි.

මෙවර තරගාවලිය පුරා මනා පන්දු පාලනයක නිරත වෙමින් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ ජයග‍්‍රාහක කළුතර බ්ලූ ස්ටාර්ස් ක‍්‍රීඩා සමාජයේ ෂෙනාල් සංදේශ් ඉහළින්ම කැපී පෙනුණේ සමස්ත ගෝල් ලාභීන් අතර පෙරමුණේ පසු වෙමිනි. ෂෙනාල් සංදේශ්
රැස්කළ ගෝල් සංඛ්‍යාව 10 කි.

රෙඞ් ස්ටාර්ස් පිල නියෝජනය කළ මොහොමඞ් රහමාන් සහ කොළඹ පාපන්දු සමාජය නියෝජනය කළ මොහොමඞ් ආකීබ් ගෝල් 08 බැගින් වාර්තා කළ අතර ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සුපිරි ආක‍්‍රමණික ක‍්‍රීඩක අහමඞ් වසීම් රාසික් (අප් කන්ටි‍්‍ර ලයන්ස්) ට ලබා ගත හැකි වූ ගෝල් සංඛ්‍යාව 06 කි. ඒ අනුව ගිය චමෝද් ඩිල්ෂාන්, ස්මයිල් අබුමෙයර්, රිෆ්කාන් මොහොමඞ් සහ මොහොමඞ් හස්මීර් ගෝල් 05 බැගින් ද මොටෝහීරෝ තකහීරෝ සහ ජෙරී ඔබෙම්බේ ගෝල් 04 බැගින් ද රැස් කරමින් කැපී පෙනුණි.

ගෝල් රකින්නන් අතරේ ඉහළින්ම උදයංග පෙරේරා, සුපුන් කවීෂ් සහ රාසික් රිෂාඞ් කැපී පෙණුනි. මොහොමඞ් මුබාරක්, සුජාන් පෙරේරා, නුවන් ගිම්හාන සහ මොහොමඞ් ඉම්රාන් ද ඒ අතරේ කැපී පෙණුනි.

දේශීය පාපන්දු ක‍්‍රීඩා ලෝලීන්ට හා ක‍්‍රීඩකයන්ට සතුට දනවන කරුණක් ලෙස ඉකුත් අපේ‍්‍රල් මස 19 දින කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ජන්මය ලැබූ ‘‘ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු කුසලාන” කුළුඳුල් තරගාවලිය සඳහා තෝරා ගෙන තිබූ කණ්ඩායම් සංඛ්‍යාව 10 කි. එම තරගාවලිය ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරිණි.

ලීග් ක‍්‍රමයට තරග පැවැත්වීමෙන් නියම සුදුස්සා තෝරා ගැනීමට හැකියාව ලැබෙන බව මොනවට පැහැදිලිව පෙනුණු අවස්ථාවක් මෙවර තරගාවලිය ආශ‍්‍රිතව ප‍්‍රදර්ශනය වූයේ අවසාන තරගයට මත්තෙන් ශූරයින් තීරණය නොවීමත් සමගිනි. මෙමගින් දේශීය ක‍්‍රීඩකයාගේ දක්ෂතා සංවර්ධනයක් මෙන්ම පාපන්දු ක‍්‍රීඩාවේ පෝෂණයක් ඇති වූ බව නම් නිසැකය.

ජාත්‍යන්තරයේ එක තැන පල්වෙන ශ‍්‍රී ලාංකේය පාපන්දු ක‍්‍රීඩාවට නව ජවයක් ලැබුණු බව පෙනෙන්නට තිබුණු අතර මෙමගින් දේශීය පාපන්දුව ඉදිරි පියවරක් තබනු ඇති බවට විශ්වාසය පළ කළ හැකිය.

අවසන් ප‍්‍රසාද ලකුණු පුවරුව

ස්ථානය, සමාජය, තරග, ජයග‍්‍රහණ, ජය පරාජයෙන් තොර, පරාජ, රැස් කළ ගෝල්, එරෙහිව ගෝල්, ගෝල් පරතරය, ලකුණු.

01, බ්ලූ ස්ටාර්ස් ,

09, 07, 01, 01, 21, 09, 12, 22

02, සී හෝර්ක්ස්,

09, 06, 01, 02, 16, 11, 05, 19

03, කොළඹ,

09, 06, 01, 02, 22, 11, 11, 19

04 රිනවුන්,

09, 05, 02, 02, 10, 007, 03, 17

05, අප් කන්ටි‍්‍ර ලයන්ස්,

09, 05, 01, 03, 17, 08, 09, 16

06, රෙඞ් ස්ටාර්ස්,

09, 02, 04, 03, 18, 16, 02, 10

07, ඩිෆෙන්ඩර්ස්,

09, 02, 04, 03, 12, 12, 00, 10

08, නිව් යංග්ස්,

09, 02, 01, 06, 13, 31, -18, 07

09, රත්නම්,

09, 00, 03, 06, 05, 16, -11, 03

10, බ්ලූ ඊගල්ස්,

09, 00, 02, 07, 03, 16, -13, 02

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment