පාපන්දුවේ අනාගතය කොයි අත යාවිද?

102

බියකරු අන්ධකාරයක් පාපන්දු ක්‍රීඩා පිටිය අවටින් දිස්වේ. ඒ අඳුර දුරු කරන්නට සැරසෙන අයුරක් මෙතෙක් අපට දකින්නට නැත. ඒ අනුව අනාගතය පිළිබඳව ද මහත් අවිශ්වාසයක් ගොඩනැගී ඇත. කුමක් බලාපොරොත්තුවෙන් රැඳී සිටින්න දැයි සිතා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා ද පසුගියදා එම ධුරයෙන් ඉවත් වූයේය.

ඒ පිළිබඳව ඔහු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිඛිතව දන්වා තිබුණි.

සුජාන්ගේ ඉවත්වීම අපට පෙන්වා දුන්නේ කුමක්ද? පාපන්දු ක්‍රීඩාවට පාත් වී ඇති ජාත්‍යන්තර තහනම නම් ‘ලෝක බාධකය‘ ඉවත් කර ගන්නට පරිපාලකයන් හෝ බලධාරීන් තවමත් කිසිවක් කර ඇති බව නොවේද? කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ වහාම අපි සුජාන් පෙරේරා ඇමතුවෙමු. ඔහු අප සමග පැවසුවේ කුමක්ද?

“කොච්චර ඉන්ටර්වීව් දුන්නත් කාටවත් ගානක් නැහැ අයියා. ඒ නිසා ඕවා ලියලා තේරුමක් නැහැ. දැන් බෑන් වෙලා මාස පහකටත් ළඟයි. සාෆ් යන්න වෙන්නෙත් නැහැ. ප්ලේයර්ස්ල තමයි පව්.”

සුජාන් පෙරේරා අප හමුවේ පැවසූ දෙය ජාත්‍යන්තර පාපන්දු තහනමෙන් පසුව ශ්‍රී ලංකාව ඊට ප්‍රතික්‍රියා දැක්වූ අයුරු පිළිබඳ කැඩපතකි. අපේ පාපන්දු පාලකයන්ගේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන් මේ පාපන්දු තහනම ඉවත් කර ගැනීමට දශමයක හෝ උත්සාහයක් ගන්නා බව පෙනුනේ නම් සුජාන් මෙසේ කලකිරීමට පත් නොවනු ඇත. එහෙත් කවුරුන් කිසිවක් නොකරද්දී ක්‍රීඩකයන් කලකිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. සුජාන් පැවසූ අවසාන දෙය නම් “ප්ලේයර්ස්ලා තමයි පව්” යන්න නැවත නැවතත් ප්‍රතිරාව නැගෙමින් පවතී. මේ තහනමෙන් මිදෙන්නට අපි කුමක් කරමුද?

සංශෝධිත ව්‍යවස්ථාවට අනුව නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගත යුතුය. මේ සංශෝධිත ව්‍යවස්ථාව දැනට මාස 7ක පමණ සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ පුස්කමින් ඇත. එම ව්‍යවස්ථාවේ අඩංගු දේ මෙරට ක්‍රීඩා පනත හා නොගැටෙන ලෙස අවශ්‍ය ක්‍රමෝපායන් සිදුකර එය ලියාපදිංචි කිරීමේ කටයුත්තට ක්‍රීඩා අමාත්‍යාංශය තවමත් අත තබා ඇති බවක් නොපෙනේ. ඉතින් කොහොමද අප මේ තහනමෙන් මිදෙන්නෙ?

එකී සංශෝධිත ව්‍යවස්ථාව ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නියෝජිතයන්ගේ සහ මෙරට පාපන්දු ලීගවල අනුමැතිය ඇතිව ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කර ඇත. එහෙත් එය ක්‍රීඩා අමාත්‍යාංශයේ පිළිගත් නීතියක් බවට පත් වන තුරු අපට කොතරම් කල් බලා සිටින්නට සිදු වේද? ඒ වෙනුවෙන් කවුරුත් කටයුතු නොකරන්නේ මන්ද? එසේ බලා සිටින කාලය අනුව අපගේ පාපන්දු අනාගතය තීරණය වනු ඇත. මන්ද එය නීතියක් බවට පත්ව නිලවරණයක් එන විට කාලය අපට හොරෙන් ගත වී තිබෙන්නට පුළුවනි. මේ අප ගෙවන විනාඩියෙන් විනාඩියට ගතවන්නේ අපේ පාපන්දුව බේරා ගැනීමට තිබෙන වටිනා කාලය යි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති ඇතුළු පත් වූ නිලධාරි මණ්ඩලය ජාත්‍යන්තරයේ පිළිගන්නේ නැත. කෙසේ වෙතත් එම සභාපතිවරයා මේ වන විට තමාට එරෙහි වී ඇති නීතිමය ප්‍රශ්න කිහිපයක් විසඳා ගැනීමට කාලය වැය කරමින් සිටී. පාපන්දුවේ අනාගතය හෝ වර්තමානය සම්බන්ධයෙන් හෝ ඔහු සභාපති ධුරයට පත්ව එක් මාධ්‍ය හමුවක් පැවැත්වූවා මිස ඊට එහා ගිය යමක් හෙතෙම අතින් සිදු වූවාදැයි අපි නොදනිමු.

ඔහු සමග සභාපති තරගයට ඉදිරිපත් වූ හිටපු සභාපතිවරයා නම් කීප වරක් මාධ්‍ය හමු සඳහා පැමිණ ලොකු බලාපොරොත්තු කිහිපයක් රට හමුවේ තබා ගියේය. “ශ්‍රී ලංකාවට පැනවී ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම සඳහා තමා පෙරමුණ ගෙන කටයුතු කරන බව” ඔහු පැවසීය. එහෙත් ඉන්පසුව සිදුවූයේ කුමක්ද, ඒ වෙනුවෙන් ඔහු යමක් කළේ ද කියා කවුරුත් දන්නේ නැත.

ඔය අතරතුර තවත් සංවිධානයක් මාධ්‍ය හමුවක් කැඳවූයේය. කොළඹ මහ හෝටලයකට එකතු වූ ශූරයන්ගේ හා සුපර්ලීග් යන පාපන්දු ක්‍රීඩා සමාජ එකමුතුව පසුගිය අප්‍රේල් මස එම මාධ්‍ය හමුව පැවැත්වීය. එම පාපන්දු ක්‍රීඩා සමාජ ගණන 24 කි. තවදුරටත් මේ රටේ පාපන්දු ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බැවින් ඒ සඳහා මැදිහත් වීමට ක්‍රීඩා සමාජ තීරණය කළ බව ඔවුහු පැවසූහ. දැන් මාස දෙකකට ආසන්න ය. එහෙත් ඉන්පසු ඔවුන් කළේ කුමක්ද? ඒවා ‘රහස්’ ය. ඒ කියන්නේ කළ දෙයක් නැති බව නොවේද?

කොටින්ම කවුරුන් කිසිවකුවත් උනන්දු කරනවා වත් නොපෙනේ. ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීහුද මුනිවත රකිති. “මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා” එසේ කීවෝ නන්දා මාලනියෝය. ඇය එසේ කීවේ තමාට නොලැබෙන පෙම්වතා ගැන මෙනෙහි කරමිනි. එහෙත් මේ පාපන්දු සිද්ධියේදී මුනිවත රැකිය හොත් දෙපයින් පාපන්දු ගසන්නට නම් හැකි වෙන්නේ නැත. එසේ සිටියහොත් කොහොමත් වෙන්නෙ කවදාවත්ම පාපන්දු තහනමෙන් අපට මිදෙන්නට නොහැකි වීමය. ඇය එම ගීතය අවසන් කරන්නේ “කුසුම මොටද ළංවී රොන් ගන්න බැරී ” කියමින්ය. මේ අද අප රකින මුනිවත අවසානයේ සිදුවන්නේ ද “පාපන්දුව මොටද තහනමෙන් මිදෙන්නට බැරි” යන තත්ත්වයට පත්විය.

එහෙත් මේ නිහඬතාව එක්වරම පසුගියදා බිඳ වැටිණි. එය බින්දේ හිටපු සභාපතිවරයකු වූ රංජිත් රොද්‍රිගුය. එය බිඳීමට අවශ්‍යම නිහඬතාවකි. නැතිනම් අපට ගැලවීමක් නොවේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු ලෙස ඔහුට හෝ මේ සම්බන්ධයෙන් යම් කැක්කුමක් ඇති වී තිබීම සතුටට කරුණකි. ඔහුගේ යෝජනාව නම් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙස බලධාරීන්ට බල කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් සංවිධානය කළ යුතු බවයි.

ඒ සඳහා සියලු පාපන්දු ලීග සහ පාපන්දු පාර්ශ්වයන් වෙත ආරාධනා කිරීම සඳහා ඔහු විසින් ලිපියක් සකස් කරන ලදී. එම ලිපියේ එක් තැනක මෙසේ ද දැක්වේ.

“අප තවදුරටත් නිශ්ශබ්දව සිටියහොත්, එය පාපන්දු ක්‍රීඩාව තවදුරටත් අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයකට පිරිහී යනු ඇත. අපි ඉක්මනින් ක්‍රියා කර පාපන්දු ක්‍රීඩාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන ලෙස ඉහළ බලධාරීන්ට බල කරන ලෙස මම ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තනතුරු සඳහා පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීමට හෝ තනි කිරීමට මෙය කාලය හෝ අවස්ථාව නොවන බවත් බොහෝ පාපන්දු ලීගවලට අනුව රැස්වීමේදී තනතුරු සඳහා සුදුසු අපේක්ෂකයන් තෝරා ගැනීමට අපි සාමූහිකව පොදු වේදිකාවකට පැමිණිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.

පාපන්දු ක්‍රීඩාවේ පරිපාලනය භාරගත යුතු අපේක්ෂකයන් ලෙස ප්‍රවර්ධනය කිරීමට ඇතැම් පුද්ගලයන් මෙම කැළඹිලි සහිත තත්ත්වය අවභාවිත කරමින් සිටින බව විවිධ පාර්ශ්වවලින් අසන්නට ලැබේ. දැන් සිදුවී ඇති දේ සහ ඉදිරියේදී සිදු විය හැකි දේ පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තනතුරු සඳහා විභව අපේක්ෂකයන් හඳුනා ගැනීමේදී අප සාමූහික තීරණයක් ගත යුතු අතර ප්‍රමුඛතාව විය යුත්තේ ඒකකයක් ලෙස කටයුතු කිරීමයි.”

රටට පනවා ඇති පාපන්දු තහනමෙන් මිදෙන්නට රංජිත් රොද්‍රිගු යම් තැතක් දරන බවක් මේ අනුව පෙනේ. ඒ සඳහා ඔහු සෙසු පාර්ශ්වයන්ගේ සහාය අයදී. එය තනිව යා හැකි ගමනක් නොවේ. කොටින්ම ඉන්දියාව වැනි බලවත් රටකට පවා මේ තහනමෙන් මිදෙන්නට යම් වෙහෙසක් දරන්නට විය. අන්තිමේදී ඊට මැදිහත් වුණේ එරට අගමැතිය. එහෙත් අපට නො හැඟෙන්නේ මේ බරපතළ ප්‍රශ්නය පිළිබඳ අපේ බලධාරීන් වගේ වගක් නැතුව සිටින්නේ ඇයිද යන්නය. මේ තත්ත්වය නිසා දංගෙඩියට හසුවන්නේ අසරණ ක්‍රීඩකයන්ය. පාපන්දු කණ්ඩායමේ හිටපු නායක සුජාන් පැවසූ පරිදි “ඇත්තටම ක්‍රීඩකයන් පව්”ය. තවත් මාස දෙකකට පෙර අප මේ ප්‍රශ්නය විසඳා නොගතහොත් 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියටවත් අපට යෑමට නොහැකි වන්නේ ය. මේ වන විටත් සාෆ් තරගාවලිය අපට අහිමිව ගොසිනි. ඒ නිසා ලෝක කුසලාන තරගාවලියත් අහිමි වී යනවා යනු අනාගතය බියකරු නොව කරුමයක උරුමයක් වනු ඇත.

නුවන් නිරෝෂන

advertistmentadvertistment
advertistmentadvertistment