පාපන්දු ක්‍රීඩක මැරඩෝනාට ප්‍රතිකාර කළ වෛද්‍ය වෘත්තිකයන්ට අනියම් මිනීමැරීමේ චෝදනා

381

වසර දෙකකට පමණ පෙර හෘදයාබාධයකින් මියගිය ජාත්‍යන්තර කීර්තියට පත් සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන ආර්ජන්ටිනා ජාතික ඩියෙගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් හා හෙදියන් 08 දෙනෙකුට එරෙහිව අනියම් ලෙස මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු විභාගයක් පැවැත්වීමට ආර්ජන්ටිනාවේ අධිකරණය තීරණය කර තිබේ.

2020 වසරේ නොවැම්බර් මාසයේ ආර්ජන්ටිනාවේ බුවෙනස් අයර්ස් නගරයේදී හෘදයාබාධයකට ගොදුරු වීමෙන් මිය ගිය මැරඩෝනාට රෝහල් ප්‍රතිකාර ලබා දුන් අදාළ වෛද්‍ය වෘත්තිකයන්ගේ වෛද්‍ය ප්‍රතිකාරවල අඩුපාඩු හා අක්‍රමිකතා පවතින බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වෛද්‍ය මණ්ඩලය විසින් අනාවරණය කරගෙන තිබේ. වෛද්‍ය මණ්ඩලය විසින් මේ බව අනාවරණය කිරීමෙන් පසු අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ අදාළ වෛද්‍ය වෘත්තිකයන් 08 දෙනාට එරෙහිව නඩු විභාගයක් පවත්වන ලෙස අධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ. මැරඩෝනා මියගිය 2020 වසරේ නොවැම්බර් මාසය මුලදී ඔහු විසින් මොළයේ රුධිර කැටියක් සිරවීම හේතුවෙන් සැත්කමකට ලක්ව නිවසේ විවේක ගනිමින් සිට ඇති අතර එම මාසයේදීම හෘදයාබාධයකට ලක්ව මිය ගොස් තිබේ. මියයන විට 60 හැවිරිදි වියෙහි පසු වූ මැරඩෝනාගේ මරණයෙන් දින කිහිපයකට පසු ආර්ජන්ටිනා නීතිවේදීන් විසින් පරීක්ෂණයක් ඇරඹූ අතර ඉකුත් වසරේදී වෛද්‍ය විශේෂඥයන් 20 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් අදාළ මරණය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේදී මැරඩෝනාට ප්‍රතිකාර කළ වෛද්‍ය වෘත්තිකයන් විසින් ක්‍රියා කර ඇත්තේ නුසුදුසු, අඩුපාඩු සහිත හා නොසැලකිලිමත් ආකාරයෙන් බව හෙළිදරව් කරගෙන තිබිණි. අදාළ වෛද්‍ය මණ්ඩලයට අනුව නිසි ප්‍රතිකාර ලබා දුන්නේ නම් මැරඩෝනාගේ ජීවිතය බේරා ගැනීමේ අවස්ථාවක් තිබී ඇත.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment