පාපන්දු දැලක සඟවා කෝටි 19ක කොකේන් එවලා

252

සැකපිට දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

බ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ රුපියල් කෝටි දහනමයක් වටිනා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 500 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්.එල්. ආයතනයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (12 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුවන් තැපැල් පාර්සලය ඉකුත් මස 21 දා කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර ඒ තුළ වූ වොලිබෝල් දැලක උඩ සහ යට දාරවලට අඩි 67 ක් දිග අතිරේක ප්ලාස්ටික් බටයක් ඇතුළු කර ඒ තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස සගවා තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්.එල්. ආයතන පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර එහිදී නවතම ක්‍රමයක් භාවිතා කර මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රයත්නය වැළැක්වීමට ක්‍රියා කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත සිය කෘතවේදිත්වය පළ කළේය.

මෙම පාර්සලය භාර ගැනීමට කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනය හිමිකරු විසින් බලය පවරා කටුනායක ගුවන් භාණ්ඩ පරිශ්‍රය වෙත එවා තිබූ පුද්ගලයන් දෙදෙනකු ඉදිරියේදී මෙම ගුවන් තැපැල් පාර්සලය විවෘත කළ අතර ඒ තුළ වූ කොකේන් මත්ද්‍රව්‍ය එහිදී රසායනික පරීක්ෂා කිරීමකට ලක් කර ඒ බැව් තහවුරු වීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම රසායනික පිරික්සුම් කට්ටල ඕස්ටේ්‍රලියානු රජය විසින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ අතර ඒවා මගින් තත්පර කීපයක් වැනි කෙටි කාලයක් තුළ මෙම මත්ද්‍රව්‍ය නිසැකව හඳුනා ගත හැකි වී තිබේ. මීට පෙර අවස්ථාවලදී මෙම මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යවා අවශ්‍ය තහවුරු කරගැනීම සිදුකළ යුතු අතර ඒ සඳහා විශාල කාලයක්ද වැය වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment