පාපන්දු නිලවරණය තියන්න කමිටු සභාපතිට මුදල් දීම ගැන කෝප් අවධානය

238

පාපන්දු සම්මේලනයේ අවසන් වරට පැවැති නිලවරණය පැවැත්වීම වෙනුවෙන් නිලවරණ කමිටු සභාපතිට රු 750,000 ක මුදලක් ද අනෙකුත් සාමාජිකයන් දෙදෙනාට රු. 600,000 බැගින්ද ලබා දීමට අනුමත කිරීම සම්බන්ධව පෙරේදා (03 වැනිදා) කෝප් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. එ් අනුව 2021 වසරේ අපේ‍්‍රල් මස 22 වැනිදා කෝප් කාරක සභාව රැුස්වෙන විට මෙම මුදල් ගෙවූ බව කිසිදු නිලධාරියෙකු ප‍්‍රකාශ නොකළ අතර, අපේ‍්‍රල් මස 20 වැනි දින එම මුදල් ගෙවා ඇති බව දැන් පැවසීම සැක සහිත බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහාචාර්‍ය චරිත හේරත් මහතා එහිදී පැවසීය.

ඒ පිළිබඳව සොයා බලා පවතින ක‍්‍රමවේදය ක‍්‍රමවත් කිරීමට පියවර ගන්නා ලෙස කෝප් කාරක සභාව නිර්දේශයක් ද නිකුත් කර ඇති බව හෙතෙම මෙහිදී සිහිපත් කළේය. මේ සම්බන්ධව අභ්‍යන්තර වශයෙන් විමර්ශනයක් සිදුකර සති 02ක් ඇතුළත කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.

කළුතර පාපන්දු ක‍්‍රීඩාංගනය ඉදිකිරීම සදහා ඉතාලි පාපන්දු ක‍්‍රීඩකයන්ගේ සංගමය මගින් පරිත්‍යාග කළ යූරෝ 40,400ක්ද(රු.6,287,670), ආසියානු පාපන්දු සම්මේලනය මගින් තරඟ පැවැත්වීමට ලබා දුන් ඩොලර් 60,000ක්ද(රු.6,415,290),පෞද්ගලික සමාගමක් මගින් සුනාමියෙන් විපතට පත් අයට නිවාස 20ක් ඉදිකිරීම සදහා ලබා දුන් රු මිලියන 10ක මුදලක්ද, ආසියානු පාපන්දු සම්මේලනය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක්ද පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතා විසින් අවභාවිත කරනු ලැබීම පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය.

ජාතික විගණන කාර්යාලයේ විමර්ශනය මඟින් අනාවරණය කර ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් අහ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් කෝප් කාරක සභාවට දැනුම් දෙන ලෙසද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහාචාර්‍ය චරිත හේරත් මහතා, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.

පාපන්දු සම්මේලනයේ හිටපු මුදල් කළමනාකරු විසින් තරඟ විනිසුරුවන් ලෙස ව්‍යාජ නම් ඇතුළත් කර රු.46,860,672 ක මුදලක් ලබා ගෙන ඇති බව 2020 වසරේ අගෝස්තු මාසයේදී අනාවරණය වී තිබු අතර, එම මුදල් මෙතෙක් අයකර නොගෙනීම සම්බන්ධව කාරක සභාවේ අප‍්‍රසාදය පළ විය. මේ පිළිබඳවද සොයා බලා වහාම කාරක සභාවට දන්වන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවදුරටත් නිර්දේශ කළේය.

සම්මේලනය විසින් ක‍්‍රීඩා තරඟාවලි සහ ක‍්‍රීඩා සම්මන්ත‍්‍රණ පැවැත්වීම සඳහා තරඟ සංවිධායකයන්ට ලබා දී තිබුණු, එහෙත් පියවා නොතිබුණු අත්තිකාරම්වල එකතුව 2018 වර්ෂයේ රු.2,252,067 ක් හා 2019 වර්ෂයේ රු.1,465,997 ක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

එමෙන්ම ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කරන ලෙස කෝප් කාරක සභාව එම සම්මේලනයට දැනුම් දුන්නේය.

එම සංශෝධන තුළින් සම්මේලනයේ නිලධාරි මණ්ඩලයේ ධූර කාලය වසර 01 සිට වසර 04 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස ද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහාචාර්‍ය චරිත හේරත් මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

පාපන්දු සම්මේලනයේ විධායක සභාවට ඡුන්දයෙන් සාමාජිකයන් 10 දෙනෙක් පත් කළද සභාපතිවරයා විසින් තවත් සාමාජිකයන් 18 දෙනෙකු පත්කිරීම සිදුකරන බව මෙහිදී අනාවරණය වූ අතර මෙය විශාල ගැටලූවක් බව කමිටුව පෙන්වා දුන්නේය.

මේ වන විට එම තනතුරු 18 පුරප්පාඩුව පවතින අතර, පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තෙක් එම පුරප්පාඩු සම්පූරණ කිරීමකින් තොරව තවදුරටත් හිස්ව තබන ලෙස කාරක සභාව වැඩිදුරටත් නිර්දේශ කළේය.

සම්මේලනය 2030 වසර දක්වා සංයුක්ත සැලැස්මක් සකස් කර ඇතත්, එය විධායක කමිටුව අනුමත කර නොතිබුණු බවද මෙහිදී හෙළි විය.

2017 වසරේ සිට 2020 වසර දක්වා ක‍්‍රියාකාරි සැලැස්මක් සකසා තිබුණද එය විධායක කමිටුවේ අනුමැතියට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව පාපන්දු සම්මේලනයෙන් මෙහිදී ප‍්‍රශ්න කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment