පාපන්දු සම්මේලනයේ සභාපති ශ්‍රී රංගා 27දා දක්වා රිමාන්ඩ්

118

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාපන්දු සම්මේලනයේ සභාපති ශ්‍රී රංගා මෙම මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.එම්. මොහමඩ් නිහාල් මහතා ඊයේ (20දා) නියෝග කළේය.

හිටපු මන්ත්‍රීවරයාට වවුනියාව මහාධිකරණයෙන් දුටු තැන අල්ලන ලෙස පසුගිය 17දා වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේ වවුනියාව මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සදහා ඔහු පෙනි නොසිටීමත් සාක්කිකරුවන්ට යළි තර්ජනය කළ බවට අධිකරණ හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමගය.

එම වරෙන්තුවට අනුව ඔහු කලු‍බෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 20 දක්වා රිමාන්ඩ් බාරයේ තබා වවුනියාව මහාධිකරණට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස අධිකරණයෙන් නියෝග කර තිබිණි. ඒ අනුව ඔහු වවුනියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 27වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කෙරිණි.

සැකකරුට එරෙහිව චෝදනා එල්ල වූයේ 2011 වසරේ මාර්තු මස 30වැනිදා වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී ඔහු විසින් පදවා ගෙන ගිය ඔහුට අයත් ලියාපදිංචි නොකළ වාහනයක් ඔහුගේ පාලනයෙන් ගිළිහී ගොස් සෙට්ටිකුලම රෝහලේ තාප්පයක ගැටීම නිසා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකු වන අලව්ව, නවතල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකු වූ ජී. උදය ජයමිණි පුෂ්පකුමාර යන අය මියයෑමත් එම සිද්ධියේ සාක්කි වෙනස් කිරීමත් ඇසින් දුටුවන්ට තර්ජනය කිරීමත් පිළිබඳවය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment