පාපන්දු හිටපු සභාපති ජස්වර්ට  මිලියන 500ක එන්තරවාසියක් හිටපු උප සභාපති රංජිත් රොද්‍රිගු කියයි

176

කීර්තිනාමයට හානි වන අයුරින් මාධ්‍ය නොමඟ යැව්වාට

පාපන්දු සම්මේලනයේ මුදල් රුපියල් ලක්ෂ 470ක් අයුතු ලෙස වංචා කළැයි හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා විසින් පෙරේදා පැවැති මාධ්‍ය හමුවක දී තමාට සහ හිටපු සභාපතිවරයකු වූ අනුර ද සිල්වා මහතාට විරුද්ධව නගන ලද චෝදනාව සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු උප සභාපති රංජිත් රොද්‍රිගු මහතා ‘දිවයින’ට ඊයේ (28 වැනිදා) පැවසීය.

හිටපු සභාපතිවරයා පෙරේදා (27 වැනිදා) කළ එම ප්‍රකාශයට අදාළව එකල හිටපු ගණකාධිකාරිවරයා දින 45ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව මේ වන විටත් ඔහු සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඒ බව හොඳින්ම දන්නා හිටපු සභාපතිවරයා තමාගේ හා අනුර ද සිල්වා මහතාගේ කීර්තිනාමයට හානි වන අයුරින් මාධ්‍ය නොමඟ යවමින් සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධව අදාළ එන්තරවාසිය නිකුත් කරන බවත් හිටපු උප සභාපතිවරයා සඳහන් කළේය.

එවැනි වංචාවක් සිදු වූවා යැයි හිටපු සභාපතිවරයා කියන කාලයේදී පාපන්දු සම්මේලනයේ නියෝජ්‍ය ලේකම්වරයා සහ පසුව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ද කටයුතු කළේ හිටපු සභාපතිවරයා ම බව මෙහිදී තමන් මතක් කර සිටින බවද හිටපු උප සභාපති රංජිත් රොද්‍රිගු මහතා සඳහන් කළේය.

රටේ පාපන්දු සඳහා ජාත්‍යන්තර තහනමක් පැනවුණහොත් එහි වගකීම හිටපු සභාපතිවරයා භාර ගත යුතු බවත් එහි වගකීම ආණ්ඩුවට හෝ ක්‍රීඩා ඇමැතිට හෝ සෙසු නිලධාරීන් වෙත පැනවීම තමන් තරයේ හෙළා දකින බව ද හිටපු උප සභාපතිවරයා පැවසීය.

නව පාපන්දු ව්‍යවස්ථාවක් මාස තුනක් තුළදී ගෙන එන ලෙසට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් කරන ලද ප්‍රකාශයන්වලට පටහැනිව කටයුතු කරමින් වැඩි කාලයක් සභාපති ධුරයේ රැඳී සිටීමට කටයුතු කළ හිටපු සභාපති ගේ ක්‍රියා කලාපයන් ජාත්‍යන්තර තහනමකට අතවැනීමක් වැනි වූ බවත් ආණ්ඩුව විසින් පාපන්දු සම්මේලන නිල කාලය දීර්ඝ කිරීමට ගත් තීරණය හකුලා ගත්තේ ද හිටපු සභාපතිවරයාගේ එවැනි වංචා සහගත ක්‍රියා හේතුවෙන් බවද හිටපු උප සභාපතිවරයා පැවසීය.

හිටපු උප සභාපතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

හිටපු සභාපති ජස්වර් උමර් පාපන්දු සභාපතිකමට  ගේන්න වැඩිම වැඩ කොටසක් කළේ අපි. කොටින්ම මම නැත්නම් ඔහුට කවදාවත් සභාපති වෙන්නත් බැහැ. එහෙත් ඔහුගේ ක්‍රියාකලාපය එන්න එන්නම නරක් වුණා. සම්මේලනය සතු මුදල් ඔහු ඉවක් බවක් නැතිව වියදම් කරන්න ගත්තා. ඒවා තමන්ගේ බූදලයක් විදිහට භාවිතා කළ හිටපු සභාපති විධායක සභාවේ හෝ කවුන්සිල නියෝජිතයින්ගේ අනුමැතිය නැතිව මෙසේ මුදල් වියදම් කරනවා දුටු මං ඔහුගෙන් අයින් වුණා. අහිංසක දරුවන්ගේ මුදල් ඒ විදියට නාස්ති කරන තැනක තවදුරටත් ඉන්න පුළුවන්කමක් නැහැ. මේ මුදල් නාස්ති කරන්න එපා කියලා කොච්චර තේරුම් කරන්න හැදුවත් ඔහු ඒවා පිළිගත්තේ නැහැ.

ඔහු පෙරේදා සිදු කළ මාධ්‍ය හමුව නාට්‍යයක් වගේ. විශාල පිරිසක් කැඳවාගෙන ඇවිල්ලා මාධ්‍ය රැවැට්ටුවා. එතැන සිටි ක්‍රීඩකයින්ගෙන් පිරිසක් මගේ ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කළා. කොටින්ම ලංකාවේ ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ප්‍රථම වරට මුදල් දීමනාවක් ලබා දුන්නේ මම. මීගමුව යූත් පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස මම එම කටයුත්ත කළා. පාපන්දු ක්‍රීඩාවට මම කෝටි ගණන් වැය කරලා තියෙනවා.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment