පාපිස්ස යට සඟවන “අර්බුද බෝම්බ”

54

අද වෙනකොට රට වැටී ඇති තත්ත්වය පිළිබඳව කුඩා දරුවෙකුට පවා අවබෝධයක් තියෙනවා. අවාසනාවට, හිරිවැටුණු පාලකයන්ට තවමත් ඒ පිළිබඳ නිසි වැටහීමක් නැති බව පෙනෙනවා.

බල න්‍යාය පත්‍රය අතේ තියාගෙන පැමිණි මේ ආණ්ඩුව තමන්ගේ එදිනෙදා න්‍යායපත්‍රය බවට පත් කර ගත්තෙත් බලය. එනිසාම රටේ මොනතරම් ප්‍රශ්න තිබුණත් ඔවුන් බලය තහවුරු කරගැනීම වෙනුවෙන් කළ කළ හැකි සියලු දේ කළා. කොරෝනා ව්‍යසනය අතරමැද මැතිවරණය තියන්න ඔවුන් තීන්දු කළේ බලය වෙනුවෙන්. රටම ලොක්ඩවුන් වෙලා තියෙද්දිත් පාර්ලිමේන්තුව ඇරලා ඔවුන් විසිවෙනි සංශෝධනය සම්මත කර ගත්තා. ඒ බලය වෙනුවෙන්.

බලය වෙනුවෙන් තමන්ට අවශ්‍ය විදිහට සියල්ල සිද්ධ කර ගත්ගත් ආණ්ඩුව රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සංවේදී වුණාද?

අද මිනිස්සු රස්සාවට යනවට වඩා පෝලිම් වලට යන්න වෙලා. මේ වෙනකොටත් පෝලිම් වල ඉඳලා 11 කට වැඩි පිරිසක් මිය ගිහින් තියෙනවා. පාසල් සතියට දවස් තුනක් පමණක් තියන්න යනවා. අනාගත පරපුර දැනුමෙන් තොර පිරිසක් බවට පත් කිරීමෙන් පිඹුරුපත් සැකසීම ආණ්ඩුවම ආරම්භ කරලා.

පුළුවන් අය රට අතෑරලා යනවා. රට බුද්ධිගලනයට අහු වෙලා. මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුනුවිසුනු වෙලා. සැත්කම් කිරීමේ දී මැහුම් සඳහා අවශ්‍ය නූල්පටක්වත් නැති තත්ත්වයට රට පත් වෙලා ඉවරයි. මිනියක් එම්බාම් කරන්න ෆෝමලින් නැති රටක් බවට අපේ රට පත් වෙලා ඉවරයි. මෙවන් රටක් තුළ කාලය කා දැමීමක් වෙනුවෙන් පමණක් නම් පාර්ලිමේන්තුව වෙන් කරන්නේ ඊට සහභාගි වීමේ ඵලය කුමක්ද?වර්තමාන ආණ්ඩුව අත්‍යවශ්‍ය මොහොතේ පාර්ලිමේන්තු වාර අවසාන කළ හැටි මුළු රටටම මතකයි. පාර්ලිමේන්තුව වාර අවසන් කර චීන අශූචි පොහොර නැවට මුදල් ගෙවන්නට ගියා. නැනෝ පොහොර මගඩිය ගැන කථා යටගියා. නිව්පෝට්‍රස් ගනුදෙනුව ගැන කතාව යටගියා. ආර්ථික අර්බුදය ගැන කරුණු හෙළිවීම වසා ගත්තා. ගෑස් පිපිරීම් වාර්තා වසන් කළා. වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක නැතිව වගා විනාශය යටපත් කළා. ආහාර, ඖෂධ හිඟය වසා ගත්තා. මේ සා විශාල තවත් අර්බුද රැසක් පාපිස්සට යට වසන් කළේ පාර්ලිමේන්තු වාර අවසාන කරලා.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් විදිහට සමගි ජන බලවේගය ආණ්ඩුවේ අන්තනෝමතික ගමනට එරෙහිව පක්ෂයේ ප්‍රගතිශීලී බලවේග එක්ක එකතු වෙලා විශාල අරගලයක් දියත් කළා. ඒ අරගලය වතාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වැටලුවා. තවත් වතාවක් එක් දිනක් තුළ ලංකාව පුරාම උද්ඝෝෂණ තිබ්බා. දින 5ක් නුවර ඉඳන් කොළඹට පා ගමන් ආවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගේ මිරිහානේ නිවස ඉදිරිපිටට ගිහිල්ලා නොනවතින අරගලයක පළවෙනි වෙඩිමුර තිබ්බා. එතැන් සිට, පීඩනය දරාගත නොහැකි ජනතාව අරගලය තෝරාගත්තා. ජනාධිපති කාර්යාලය පෙනෙන මානයේ ජනාධිපතිටත් ආණ්ඩුවටත් එරෙහි කැරැල්ල ආරම්භ වුණා. ඊට මුල් වුණේ තරුණ ප්‍රජාව. ඊට ශක්තිය දුන්නේ රටේ සෙසු ජනතාව. පක්ෂ භේද නැතුව දහස් ගණනින් ආශිර්වාද කරන්නට පටන් ගත්තා.

බලසම්පන්න ජනාධිපතිවරයාත් රාජපක්ෂ පවුලේ සියලු දෙනාත් තීරණාත්මක ලෙස බිත්තියට හේත්තු වුණා. රාජපක්ෂ පාලනයේ අවසාන හෝරා කීපය කිට්ටු වෙමින් තිබියදී සුපුරුදු ගැලවුම්කරුවා කරලියට ආවා. රාජපක්ෂලා ට අවශ්‍ය මොහොතට ඔවුන්ගේ ගැලවුම්කරුවා වුණේ ඔහු. ඔහුට අවශ්‍ය මොහොතට ඔහුගේ ගැලවුම්කරුවා වුණේ රාජපක්ෂලා. තමන්ගේ හිතෛෂීවන්තයන් වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු මොහොත ඔහු මග නොහැරියා.

ජනාධිපති අගමැතිගේ සිට සියලු දෙනාම කතා කරන්නේ තත්ත්වයේ ඇති භයානකකම ගැන මිස මෙයින් ගොඩයන හැටි ගැන නොවේ. දැන් සිදුව ඇත්තේ රාජපක්ෂලා සුරක්ෂිත වීම සහ ජනතාව අනාරක්ෂිත වීම.අද රට වැටී ඇත්තේ තම වසර
ගණනාවකට ගොඩගත නොහැකි තරම් බරපතළ අගාධයකට. මේ සියල්ලට හේතුව වූයේ උද්දච්චකම, අදූරදර්ශීකම සහ හීනමානය ය.සියලු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළ අඩියටම කඩා වැටී ඇති අතර අහස උසට නැගුණු ජීවන වියදම හේතුවෙන් ජනතාව බරපතළ පීඩනයකට ලක් වෙලා. දිනෙන් දින ඉහළ යන බඩු මිලගණන් හමුවේ ජනතාව සිටින්නේ දැඩි දුෂ්කර කාලසීමාවක් ගත කරමින්. මේ අතරතුරේ ලෝක බැංකුව නිවේදනය කළේ, ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව.ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියෙකු අමෙරිකාවේ මෑන්හැටන් හි දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරනු ලැබුවේ ඒ අතර.

ඩොලර් අර්බුදයට ආණ්ඩුවට ඇති එකම විසඳුම විකිණිය හැකි ඕනෑම ඉඩමක්, සම්පතක් කුණු කොල්ලයට විකුණා දැමීම. ආණ්ඩුව මේ තීරණාත්මක මොහොතේ ඒ සියල්ල සිදු කරමින් සිටිනවා. ජනාධිපතිගේ සිට මන්ත්‍රීවරයා දක්වා හැමෝම අර්බුද ඒ පිළිබඳව ජනතාව බය කරනවා මිස අර්බුදයට විසඳුමක් කිසිවිටෙක ඉදිරිපත් කරන්නේ නැහැ. 2045 දී හිස ඔසවන රටක් පිළිබඳව පදනම් විරහිත සිහිනයක් මවමින් අගමැතිවරයා ඔහුම කියන පරිදි අනුන්ගේ දරුවෙක් වඩාගෙන යමින් ඉන්නවා.ඔවුන් සියලු දෙනා දිවා රෑ ජනතාවට විහිළු සපයනවා. ඒ නිසා තවදුරටත්, මේ රටේ මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන විකාරරූපී ආණ්ඩුවක් කරමින් සිටින විහිලු සමඟ රටේ ප්‍රගතිශීලී කිසිවෙකුට එකඟ විය නොහැකියි.අර්බුදය වසාගන්නට පාර්ලිමේන්තු වාරාවසාන කළ ආණ්ඩුවක් අර්බුදය සමග සෙල්ලම් කරමින් සිටියදී තවදුරටත් ප්‍රගතිශීලී කණ්ඩායම්වලට චෝදනා කිරීමෙන් ඵලක් නැහැ. ආණ්ඩුව අර්බුදය සමඟ සෙල්ලම් කිරීම නතර කොට ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට පෙරමුණ ගත යුතුයි. විපක්ෂයේ සියලු ප්‍රගතිශීලී බලවේග දැල්වූ රතු එළිය පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි.

නොඑසේ නම් එවන් අන්තනෝමතික ආණ්ඩුවකට එරෙහිව ජනතා නැගී සිටීම වළක්වන්නට කිසිවෙකුට බැහැ.

රට වැටී ඇති අගාධයේ තරම අද මුළු ලෝකය ඉදිරියේ ම හෙළිදරව් වී අවසන්. ඒ නිසා තවදුරටත් ආණ්ඩුවට මේ අර්බුද පාපිස්ස යට වසා තබා ගන්නට බැහැ. කුමන මොහොතක හෝ ඒවා පුපුරා යන දවස උදාවෙන බව සියලු දෙනා අවබෝධයෙන් සිටීම වැදගත්!

advertistmentadvertistment
advertistmentadvertistment