පාරක් හදමු – පාරෙන් හැදෙමු දර්ශනය කළ සමාජ ක්‍රියාධරයාණෝ

166

ඈත දුෂ්කර ගම් ගොඩක ජීවත් වන අහිංසක ජනතාවගේ මෙන්ම ලොව ප‍්‍රකට විද්වතුන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගේත් ජනහද අරක් ගෙන සිටින ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන්ට නොවැම්බර් 05 වන දිනට වසර 90 ක් සපිරේ. සිය ජීවිත කාලයෙන් දශක හතකට වැඩි කාලයක් ලොව යහපත වෙනුවෙන් කැපවූ ඒ මානව හිතවාදී සත්පුරුෂයා පිළිබඳව ආවර්ජනය, ලොව වැඩ පිණිස කැමති කවරෙකුට වුව අගනා හැදෑරීමක් වනු ඇත. වත්මන් පරපුරට පුරාවෘත්තයක් බඳු රසවත් කථාවකි. අධ්‍යයනය කරන්නෙකුට විශ්වවිද්‍යාලයක් මෙන් වනු ඇත.

1956 ජනවාරියේ සිට ඔහු මහරගම ගුරු විද්‍යාලයට ඇතුළත් වන්නේ විද්‍යා ගුරුවරයකු ලෙස පුහුණු වීමටයි.

කුලියාපිටියේ ජීවත් වූ කොළඹ මියුසියස් විදුහලේ ශිෂ්‍යාවක් හා බාලදක්ෂිකාවක් වූ නීතා ධම්මචාරී ඇල්පිටිය ආරච්චි මෙනවිය සමග සරල චාම් විවාහයකින් අතිනත ගත් ආරියරත්නයන්ට දරුවන් සය දෙනෙකු සහ අද වන විට මුනුබුරු මිනිබිරියන් දොළොස් දෙනෙකි.

ආරියරත්න තරුණ ගුරුවරයා මරදාන දෙල්ගහයට ගෙදර සිය ජයභූමිය කරගනිමින් ගුරු සේවය හා කඳවුරු සේවාව කරන අතර එල්. එච්. මෙත්තානන්ද, කළුකොඳයායේ හාමුදුරුවෝ, මඩිහේ හාමුදුරුවෝ, බද්දෙගම හාමුදුරුවෝ වැනි ගිහි පැවිදි ප`ඩිවරුන් සමග සමීපව ඇසුරු කරමින් ජාතික, ආගමික හා සංස්කෘතික බලවේගයන් හි ප‍්‍රමුඛයකු ලෙස අත්දැකීම් ලබන අතර ඔවුන් ආරම්භ කළ ජාතික පුනර්ජීවනයේ කොටස්කරුවෙකු ද විය. ඒ ඇසුරෙන් සිය අනාගත ගමන් මගට පන්නරය ලබා ගනී. ඉන්දියාවේ මහත්මා ගාන්ධි දර්ශනයේ ආභාෂය ලබන අතර එතුමන්ගේ ප‍්‍රධාන අනුගාමිකයන් වූ ආචාර්ය විනෝභා භාවේ, ජයප‍්‍රකාශ් නාරායන්, ශ‍්‍රී ජවහර් ලාල් නේරු වැනි ඉන්දීය නායකයින් හමුවේ ඔවුන්ගේ ක‍්‍රියාවන් හා අත්දැකීම් තම ජීවින දර්ශනයට ඒකාත්මික කර ගනී.

1958 වසරේදී ආරම්භ කෙරුණ නාලන්දා අධ්‍යාපන සේවා කඳවුරෙන් විකාශනය වූ සර්වෝදය ව්‍යාපාරය රටපුරා ගම්මාන දහස් ගණනක ක‍්‍රියාකාරීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමග අඛණ්ඩව නමුත් කාලීන වෙමින් යුගයට ගැලපෙමින් අවශ්‍යතාවනට අනුරූපව අඛණ්ඩවම පැමිණ ඇත. බුදු දහමින් හා ගාන්ධි දර්ශනයෙන් පෝෂිත සර්වෝදය මග හුදු දර්ශනයක් පමණක් නොව ප‍්‍රායෝගික ක‍්‍රියාකාරිත්වයක් බවට නිතිපතා ලොවට පෙන්නුම් කරමින් මානව යහපතල සමාජ සංවර්ධනය උදෙසා මේ දක්වාම ක‍්‍රියාත්මක වේ. ජනතා සහභාගිත්වයෙන් පූර්ණ සමාජ පරිවර්තනයකට මග කියන ග‍්‍රාම ස්වරාජ්‍යයන් බවට ගම්මානයන් පත් කර ගනිමින් රට ධාන්‍යගාරයක් ධර්ම ද්විපයක් සහිත දේශයේ උදාවක් සඳහා අද ද ආරියරත්නයන්ගේ සිතුම් පැතුම් සර්වෝදය ක‍්‍රියාකාරිත්වය හා මුසු කරයි.

ආරියරත්නයන් සර්වෝදය මගින් සිදු කරන සේවාව අගයමින් 1969 වසරේ ප‍්‍රජානායකත්වය සඳහා පිලිපීනයෙන් රැමන් මැග්සයි සයි ත්‍යාගය හිමිවන අතර 1982 වසරේ මේ දක්වා කිසිදු ශ‍්‍රී ලාංකිකයෙකු හිමිකර නොගත් බෙල්ජියමේ බෝඩුවින් රාජ සම්මානය ද ඉන්දියාවේ ජනාධිපතිතුමන් අතින් පිරිනැමූ ගාන්ධි සාම ත්‍යාගය ඇතුළු ජාත්‍යන්තර සම්මාන ත්‍යාග 20 කට අධික සංඛ්‍යාවක් ආරියරත්නයන් මේ දක්වා ලබන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පිරිනැමූ ශ‍්‍රී ලංකාභිමානී සම්මානය ඇතුළු දේශීය සම්මාන බොහොමයකින් ආරියරත්නයන් සහ සර්වෝදය සේවාව සම්භාවනාවට ලක්ව ඇත.

සියලූ ආගම් හා විශ්ව දර්ශනයන්හි පොදු සාධක තම ජීවිතයට අභ්‍යන්තරීකරණය කරගත් සාමාන්‍ය ජනතාව සමග සතුටින් සිටින ජනතා නායකයෙකි.

විශ්ව දර්ශනයක් තුළින් ලෝකයටම ආමන්ත‍්‍රණය කරන විශ්වීය නායකයෙකි.
(කලා කීර්ති එඞ්වින් ආරියදාස මහතා ජීවත්ව සිටියදී තැබූ සටහනක් ඇසුරෙනි )
චිරං ජයතු ඔබට ආරියරත්නයෙනි !

සාමාජීය විද්‍යාපති,
නිශාන්ත ප‍්‍රිතිරාජ්,
ජාතික සංවිධායක, දේශෝදය ව්‍යාපාරය.

advertistmentadvertistment
advertistmentadvertistment