පාරදිගේ සිංදු කියන පොලිස් කාරයා

626

පාරදිගේ ටෙලි නාට්‍යයේ සිංදු කියන පොලිස් කාරයා ලෙසින් ඔබ හමුවට එන දුමේෂ් අචිර බණ්ඩාර වෘත්තීමය වශයෙන් ගුවන් සේවකයෙක් ලෙස කටයුතු කරනවා. දුමේෂ්ට දුමේෂ් ලෙසින්ම රංගනයට පිවිසීමට අවස්ථාව ලැබුණේ කොහොමද කියලා දැනගන්න අපි ඔහුත් සමඟ සුහද කතාබහක යෙදුණා.

මගේ උපන්ගම පන්නිපිටිය. අම්මා, තාත්තා, අයියා ඉන්න පවුලේ බාල පුතා මම. වෘත්තීමය වශයෙන් ගුවන් සේවකයෙක් ලෙස කටයුතු කරන මට රංගන ක්ෂේත්‍රයට පිවීසීමට අවස්ථාව ලැබුණේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේ ආරාධනාවකින්. මගේ ප්‍රථම රංගන දායකත්වය ලබා දුන්නේ ඔහුගේ “අග්නි පියාපත්” ටෙලි නාට්‍යටයි. ඊට පසුව ජයප්‍රකාෂ් සිවගුරුනාදන් මහතා, සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා සහ අමිල ප්‍රේමරත්නගේ ආරාධනාවෙන් “පාරදිගේ” ටෙලි නාට්‍යයට සම්බන්ධවීමේ අවස්ථාව ලැබුණා. එහි “දුමේෂ්” කියන පොලිස් නිලධාරියාගේ චරිතයට තමයි මම රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ. නමුත් දුමේෂ් කිව්වම නෙවෙයි බොහෝ දෙනෙක් මාව හඳුනන්නේ සිංදු කියන පොලිස්කාරයා කිව්වමයි. ඉතිං ඇත්තෙන්ම කියන්න ඕනෑ මට ඒ චරිතය සඳහා ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

පාරදිගේ සිංදු කියන පොලිස් කාරයා

මොකද සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් කියන්නේ හැම දෙයක්ම කරන කෙනෙක් නෙවෙයිනේ. නමුත් මෙම චරිතයේදී පොලිස් නිලධාරියා ගොඩක් මිනිස්සුන්ට ආදරය කරන සහ සිංදු කියන වෙනස්ම චරිතයක් බවට පත්වෙලා තියෙනවා.

ඉතිං ඒ මිනිස්සුන්ට ආදරය කරන විදියත් එක්ක බොහෝ ප්‍රේක්ෂක පිරිසක් මේ සිංදු කියන පොලිස්කාරයා චරිතය ආදරයෙන් වැළඳගෙන තියෙනවා. සැබෑ ජිවිතයෙත් මට සාමාන්‍යයෙන් ගිටාරයක් වාදනය කරලා සිංදුවක් කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව මම සංගීත කණ්ඩායමකට නම් සම්බන්ධකමක් නැහැ. පාසල් කාලයේදීවත් එහෙම සංගීතය විෂයක් විදියට හදාරලා නැහැ. රංගනයත් මම විෂයක් විදියට හදාරලා නැහැ. ඉතිං මට මේ චරිතය ලැබුණම ඒක අමාරු කාර්යයක් වුණා. මොකද පොලිස් චරිතයක් කියන්නේ එකපාරටම කරන්න අපහසු සහ අභියෝගාත්මක චරිතයක් වුණා. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ චරිතය තුළට මම මාව හැඩගස්වා ගත්තා. මට පුළුවන් තරමින් කැපකිරීම් කරලා ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට මට තව ටෙලි නාට්‍ය සඳහාත් ඇරයුම් ලැබෙනවා. දෙරණ නාලිකාවෙනුත් ආරාධනාවක් ලැබුණා. නමුත් මගේ රැකියාවේ කාර්ය බහුලත්වය නිසා ඒ ඇරයුම් කනගාටුවෙන් වුවත් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ඉතිං දැනට වැඩ භාරගෙන තියෙන “පාරදිගේ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට රංගනයෙන් දායකත්වය ලබාදෙමින් තමයි මේ දිනවල කටයුතු කරන්නේ. රංගන කටයුතු සහ රැකියාවට අමතරව මම උසස් අධ්‍යාපනයත් හදාරනවා.

පාරදිගේ සිංදු කියන පොලිස් කාරයා

ප්‍රවීණ රංගන ශිල්පීන් පවා ඉතාම නිහතමානීව මගේ අඩුපාඩුකම් පෙන්වලා දීලා අවවාද උපදෙස් ලබාදීලා මට සහයෝගය ලබාදෙනවා. ඒ සෑම අවවාදයක්ම උපදෙසක්ම මගේ ජීවිතේට පුදුමාකාර විදියට වටිනවා සහ මම හරිම ආදරෙයි ඒ ලබාදෙන සහයෝගයට. ඉදිරියේදීත් රංගන කටයුතු කිරීමට බලාපොරොත්තුවක් තියෙන නිසා රංගනය විෂයක් ලෙස හදාරන්න අදහසක් තියෙනවා. මගේ ගෙදරිනුත් මට ඒ සඳහා ලොකු සහයෝගයක් ලබාදෙනවා. මගේ රැකියාවත්, කලා කටයුතු සහ උසස් අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථකව නිදහසේ කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙත් ඇත්තෙන්ම ගෙදර අය නිසාම තමයි.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment