පාර්ලිමේන්තුවත් අරගල භූමියක් කරගන්න එපා – ඇමැති හරින් ප්‍රනාන්දු

352

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

මේ අවස්ථාවේ ජනතාව පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ අරගල කිරීම නොවන බවත්, සියලු දෙනා එක්ව ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීම බවත් සංචාරක හා ඉඩම් ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී නරේන්‍ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (05 දා) පෙරවරු 10.00 ට රැස්විණි.

ප්‍රථමයෙන් ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම සිදුවිය.

විශේෂ ප්‍රකාශ මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු ඉන් පසුව පිළිතුරු සැපයූහ.
විදේශ විනිමය පනත යටතේ නියෝග 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්, රේගු ආඥා පනත යටතේ අපනයන තීරුබදු සම්බන්ධයෙන් යෝජනා සම්මත කර ගැනීමට අදාළ දිනට නියමිත විවාදය මෙන්ම විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 06 ක්, ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි දෙකක් පිළිබඳ විවාදය ඇරඹිණි.
සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු – විපක්‍ෂය පටු ආතල් ගන්නවා. 225 ටම ජනතාව චෝදනා කරන එක සාධාරණයි. මෙහෙම කැත විදිහට හැසිරෙන්න එපා මුලින්ම සජබයටයි ආණ්ඩුව පිහිටුවන්න අවස්ථාව ලැබුණේ. ඒත් පැහැර හැරියා. ජනතාව දුක් විඳිනවා. පාර්ලිමේන්කුවේ කැත විදිහට හැසිරෙන්න එපා. ව්‍යසනය අරන් අරගලය තුළට යනවා.

මේ වෙලාවේ ගෝඨා ගෝ හෝම් කියන එක ජනතාව අපෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. ජනතාව ජීවත් කරවීමට උපරිම ක්‍රියාමාර්ග ගැනීමයි අපෙන් බලාපොරොත්තු වන්නේ.
රනිල් දිවුරුම් දුන්නට පස්සේ සජිත් අගමැතිකම භාරගන්න කැමති වුණා. ඊළඟ ආණ්ඩුවත් ගන්න පුළුවන්කමක් තිබියදියි මම ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගත්තේ. විපක්‍ෂයට අවශ්‍ය අරගලය ව්‍යසනයක් කරන්න. වට්ටලා දාලා කරන්න කාටවත් බැහැ.

අපි තෙල්, ගෑස්, පොහොර සියල්ල ලබා දීම මේ සතියේ සිට අරඹනවා. අපි මේවා දෙයි කියලා කලබල වෙලා විපක්‍ෂය දඟලනවා. අපිට ඕන ඩොලර් මිලියන 316 ක් මේවා ගේන්න. මහ බැංකුවේ තියෙන්නේ 140 යි. මේ කරන වැඩවලින් රටේ මිනිස්සුන්ට තෙල් නැති වෙනවා. විපක්‍ෂය කරන වැඩවලින් ජනතාවට ප්‍රශ්න වැඩි වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තෙල් නැව් තුනක්ගේනවා කිව්වා. එකක් ගෙනාවේ නැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා (සජබ) –
පෙට්‍රල් නැවක් ගෙනල්ල ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒවා නැතිව මිනිස්සු මැරෙයි. අවමය රජයෙන් මිනිස්සු ඒවා බලාපොරොත්තු වෙනවා.
සාර්ථකව මූල්‍ය අරමුදලත් සමඟ සාකච්ඡා පැවැත්වූ බව අගමැති කිව්වා. සාකච්ඡාව අවසන් කරන්න ඔවුන් ආවත් එය බැරි වුණා.
ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. එහි ජ්‍යෙෂ්ඨ ණය හිමියන්ගෙන් ණය ගත යුතුයි. ජපානයෙන් ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් සූදානම්. ස්වෛරීව ණය ඩොලර් බිලියන 14 ක් පමණ තියෙනවා. ඒ ණයත් ගෙවිය යුතුයි. 2012 දී ගත්ත ණයත් ඉදිරි සතියේ සිට ගෙවිය යුතුයි.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් උසාවියේ ණය හිමියෙක් නඩු දාලා. එහි අපේ කොටස ගෙවිය යුතුයි කියලා නඩු දාලා. සියයට 25.1 ක් ඔහුට ණය ගෙවිය යුතුයිලු. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලේසි දෙයක් නොවෙයි. මාසයකින් ප්‍රතිව්‍යුහගත කිරීම කළ හැකි බවට මාගේ විශ්වාසයක් නැහැ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලට යා යුතුයි. ඒවා කළොත් තමයි ණය ගැන තීරණයක් ගත හැක්කේ.
අපිට පරණ පාරේ යන්න බැහැ. වැඩිපුර රාජ්‍ය සේවය බලාගෙන රට වටේ තාප්ප
ගහගෙන වැඩ කරන්න බැහැ. අපි විවෘත විය යුතුයි. ජාත්‍යන්තරයට පාලම් ඉදිවිය යුතුයි. අපනයනයට විවෘත රටක් ඇතිවන්නේ එවිටයි. අපට ඩොලර් ලැබෙන්නේ එවිටයි. මුහුණදෙන ප්‍රශ්නයේ ගැඹුර අපිට දැනෙනවා. ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍යයි. 2024 දී තමයි යම් ගොඩඒමේ ක්‍රමවේදය ඇතිවෙන්නේ කියලා අගමැති කියනවා. මුදල් අච්චු ගැසීම නවත්වන්න අදම ආණ්ඩුව තීරණය ගත යුතුයි. මෙහෙම මුදල් අච්චු ගැසුවොත් ජනතාවට ජීවත් වෙන්න බැරි වේවි. මේ ගැන දැඩි ස්ථාවරයක් ගන්න.
රාජ්‍ය ආයතනවල දූෂණය ජනතාව මත පටවන්න බැහැ. විදුලිබිල සියයට දෙසීයකින් පමණ වැඩි කිරීම සාධාරණ නැහැ. අගමැතිගේ මාර්ග සිතියම ගැන අපි සාකච්ඡා කරන්න සූදානම්. අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න සූදානම්. සර්ව පාක්‍ෂික වැඩපිළිවෙළක් හරහා පමණයි මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ. තනිව කාටවත් මේ ප්‍රශ්න විසඳන්න හිතන්නවත් බැහැ.
විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර –
අපි එකතුවෙලා වැඩ කරමු කියලා පෙබරවාරි සිටම බලකළා. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදමු කියලා අපි කිව්වා. සර්ව පාක්‍ෂික ආණ්ඩුව කොන්දේසි දාලා මඟ ඇරියේ කවුද?
රටේ වැඩපිළිවෙළක් ගැන කතා කරන විට පෝලිම්වල දුක් විඳින ජනතාවට ලබා දෙන විසඳුම්
ගැන අහගෙනවත් ඉන්න බැරි නායකයෙක්ගේ ඉවත් වීම ගැන අපි සතුටු වෙනවා.
දුක් විඳින ජනතාව ගැන කම්පා නොවන නායකයෙක් අපට හිටියේ. නමුත් අපට මිනිසුන්ගේ වේදනාව දැනෙන නිසයි මේ වගේ අසීරුම අවස්ථාවක තීරණයක් ගත්තේ. මෙය අවදානමක්.
ප්‍රශ්න වවාගෙන කන්න එපා. අරගලය හරහා ව්‍යසනය තවත් වැඩිවෙනවා.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ
විසි දෙවන සංශෝධනයෙන් සියලු කොමිෂන් සභාවල ස්වාධීනතාව ආරක්‍ෂා වෙනවා. විගණන හා ප්‍රසම්පාදන කොමිෂන් සභාව ඇතුළුව පොලිසියට ස්වාධීනව ප්‍රශ්න විසඳාගත හැකියි.
අපි හැමදාම ආධාර ගන්නවා ආර්ථිකය වැටෙනවා. ආපහු ආධාර හොයාගෙන යනවා. 16 වතාවක් අපි අයි. එම්. එෆ්
ගිහිල්ලා ආධාර අරන් ඉන්දියාවෙන් මූල්‍ය අරමුදලින් ණය අරන් කෘෂි කර්මාන්තය හා කර්මාන්ත ක්‍ෂේත්‍රය පුළුල් කර ගත්තා. අපි සේවා ආර්ථිකය පුළුල් කර ගත්තත් අනෙකුත් අංශ ගැන හිතුවෙ නැහැ. දීර්ඝ කාලීන ආර්ථික පැවැත්මට ලැබෙන සහාය කෘෂි හා කර්මාන්ත ක්‍ෂේත්‍රය පුළුල් කර ගැනීමට.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ)

පසුගිය මැයි මාසයේ 11 වැනිදා රට ගොඩනැගීමට යෝජනාවලියක් ඉදිරිපත් කළා. ජනපති හා ආණ්ඩුව ඉවත්වෙනවා නම් රට භාරගන්න සූදානම් කිව්වා.
රට ගැඹුරු කඩාවැටීමකට මුහුණදී තිබෙනවා. දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්ති හා ඊට ගැටගැසුණු දේශපාලන ක්‍රමයන් නිසයි රට කඩා වැටුණේ. අර්බුදයේ විශාල කොටසක් දේශපාලන ක්‍රමය මත ඇතිවූවක්. හිස් ගොඩනැඟිලි, පාලු පාරවල්, වංචාව දූෂණය ඉහවහා ගිය ව්‍යාපෘති නිසා අධික ලෙස කඩාවැටීමට හේතුවුණා. මා භාර ගත්තත් කවුරු භාර ගත්තත් ජනවරමක් නැහැ. අගමැති ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා කිව්වත් පුටුවේ ඇලී ගැලී සිටිනවා.
මාස 6 ක් ඇතුළත මූලික දේ ජනතාවට ලබාදී රාජකාරි හා පාසල් ඇතිකර සමාජය සාමාන්‍යකරණය කිරීම කර යුතුයි. පසුව මැතිවරණයකට යා යුතුයි. අර්බුදයෙන් ගොඩඒමට විශ්වාසනීය ස්ථාවරයක් අවශ්‍ය නිසයි මැතිවරණය පැවැත්වීමට අත්‍යවශ්‍ය වන්නේ.
මේ ආණ්ඩුවට විශ්වාසනීය තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. එයින් අර්බුදයට විසඳුම් සොයන්න බැහැ. අද ජනපතිට ඇති විශ්වාසය බිඳවැටීම ගැන බුද්ධි අංශ මගින් වාර්තා ගත හැකියි. අගමැතිත් පැරදුණු අයෙක්. එනිසා ජනතාවගේ ජනවරමින් නව ආණ්ඩුවක් අත්‍යවශ්‍යයි. අපට මාස 06 න් ගොඩඑන්න බැහැ. ආනයන අපනයන පරතරය විශාල ලෙස වැඩියි. ආදායම් වියදම් විශාල ලෙස වෙනස්. අධික ණය පොලී ගෙවීම් සිදුවෙනවා. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අධික නිසා ආදායම් කළමනාකරණය කරන්න බැහැ.
කෙටි කාලයක් තුළ සමාජය සාමාන්‍යකරණය කර මැතිවරණයකට යා යුතුයි. ඊට මෙහා කිසිම ආණ්ඩුවකට හෝ ක්‍රමයකට ජනතාවගේ කැමැත්ත නැහැ. ආණ්ඩුවට විරුද්ධව ජනතාව නැගීසිටිමින් ඉන්නවා. ආණ්ඩුව විසින් යම් සැලසුම් සහගත ක්‍රියාවක නිරත වන උත්සාහයක් තිබෙනවාද කියා සැකයක් තියෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ
මාස 6 කින් ප්‍රශ්න විසඳන එක ගැන පමණයි කතා කළේ. මම දොස් කියලා නැහැ. ඔහු අපි සමඟ වැඩ කළා. මම යම් ලෙස ඒවා කිව්වොත් ඔහුට ප්‍රශ්න ඇති වෙනවා.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

අපට භාරදුන්න රාජකාරිය කැපවීමෙන් සිදු කරනවා. රටට අවශ්‍ය ඉන්ධන ඇනවුම් සිදු කරලා තියෙනවා. අලුත් පිරිපහදුවක් හදන්නත් සැලසුම් කළා. විදුලි
බලාගාර ඇති කරන්නත් සැලසුම් කර තිබෙනවා. ඉන්ධන ආනයනය කරන වැඩපිළිවෙලටත් එක්වන ලෙස විපක්‍ෂයට ආරාධනා කරනවා.
අපට තෙල් ගන්න ඩොලර් ප්‍රමාණවත් මදි. පසුගිය කාලයේ රටට ඩොලර් එවන්න එපා කියලා මතයක් හැදුවා. මේවා රටේ ජනතාවටමයි බලපාන්නේ. පිරිපහදුව වහලා මාස 3 ක් තිබුණා කවුරුත් කතා කළේ නැහැ. දැන් පොඩි ප්‍රමාදයක් ආවත් වෘත්තීය සමිති බොරු මත පතුරුවා වර්ජනය කරනවා.
ඉන්ධන පිරවුම්හල් වටා ඒකාධිකාරියක් ඇතිවී තිබෙනවා. අනුර කුමාර බලශක්ති ඇමැති වුවත් අගමැති වුවත් මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. එනිසා අපි සියලුදෙනා එක්ව අර්බුදයට මුහුණ දෙමු.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් ප්‍රනාන්දු
ආණ්ඩුව කියනවා ආර්ථික අර්බුදයට හේතුව සජබයලු. ආර්ථික අර්බුදය ඇති කළේ ජනපතිවරයායි. ජනමතයක් මේ ආණ්ඩුවට නැහැ. සියයට 30ට බැහැලා.
අපට සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හැදීමේ උවමනාව තියෙනවා. අපි ඊට නායකත්වය ලබා දෙනවා. නමුත් ජනපති ඉවත් කිරීමකින් තොරව ආණ්ඩු භාරගන්න සූදානම් නැහැ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (සජබ)
අද ලංකාව උද්ධමනය වැඩිම රටවල් අතරින් දෙවැනි තැනට වැටිලා. මූල්‍ය අරමුදලට අපි 16 වතාවක් ගියා. ඒත් නිසි කළමනාකරණයක් වී නැහැ. අපි අද ණය
ගෙවීම නවත්වලා. එහෙත් එය ඉදිරියේදී ගැටලු
අඩුකරගන්න ගෙවිය යුතුයි. එදා එම් සී සී ගිවිසුම අත්සන් කරන්න යනවිට විවිධ කතා පැතිරුවා. ජපානය ආධාර දෙන්න යනවිට ව්‍යාපෘති නතරකරලා ප්‍රශ්න ඇති කර ගත්තා. මූල්‍ය අරමුදල් උත්පාදනය සාර්ථක කරගත්තෙ නැත්නම් කොච්චර ආණ්ඩු හැදුවත් වැඩක් වෙන්නේ නැහැ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ (ශ්‍රීලපොපෙ) –
අද රටේ පුරවැසියන්ට භාණ්ඩ ගන්න ඩොලර් නැතිවෙලා. ඊට ප්‍රධාන හේතුව විදේශ විනිමය හුවමාරු පනතයි. එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙනාවේ. මේ නිසා ඩොලර් තොග පිටින් රටින් පිටට යනවා.
අද නැවතත් අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ම ඒ පනතට සංශෝධන ගේන්න සිදුවෙලා.
සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ලැබුණොත් පළමු කෙටුම්පත ලෙස මෙම පනත සංශෝධනය කර පිටට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගන්නවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර –
මේ ආණ්ඩුවට රටේ දැන් පවතින ප්‍රශ්න විසඳන්න ශක්තියක් නෑ. ඒ නිසා සියලු පක්‍ෂ එකතුවෙලා එක මේසයක ඉඳගෙන ප්‍රශ්න කතා කරලා විසඳුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මාස 6 ක් හෝ යම් කාල රාමුවක් ඇතිව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා නම් ප්‍රශ්න නිම වෙනවා.
දැන්වත් තත්ත්වය තේරුම් අරගෙන විකල්පයක් හදන්න කියලා ජනාධිපතිගෙන් ඉල්ලනවා. අද යාපනයේ හාල් කිලෝව රුපියල් 70 යි. මෙහෙ දෙසීයයි. යුද්ධ කාලයේ යාපනයේ පෙට්‍රල් ලීටරය රුපියල් 2000 යි. මෙහෙ අඩුයි. දැන්
මෙහෙ 2000 යි. යාපනයේ 450 යි.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර (සජබ)
අගමැතිගේ කතාවේ ගොවියාගේ, මගියාගේ ධීවරයාගේ ප්‍රශ්නවලට විසඳුම් කිව්වේ නැහැ. අද ජපානය තරහ වෙලා. මැදපෙරදිග තරහ කරගෙන ඇමෙරිකාව, යුරෝපය තරහ වෙලා. රට ගොඩගන්න ජාත්‍යන්තර සහාය අවශ්‍යයි. ජාත්‍යන්තරය විශ්වාස කරන කණ්ඩායමක් බලයට පත්කර ගත යුතුයි. අද ඉන්නේ ජනතාව ප්‍රතික්‍ෂේප කරපු පාලකයන් පිරිසක්.
පැලවත්ත, සෙවනගල සීනි සමාගම් අපේ ආණ්ඩු ආරම්භ කළේ. අපිට ආරංචියි රජයට හිතවත් අයකුට ලබා දෙන්න යනවා කියලා. පාරම්පරික ගොවීන්ට ඉඩම් ලබා දෙන්න. බඩඉරිඟු ගොවීන්ට ඉඩම් ලබා දෙන්න.

පාර්ලිමේන්තුව අද (06 දා) පෙරවරු 10.00 ට
රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවත් අරගල භූමියක් කරගන්න එපා - ඇමැති හරින් ප්‍රනාන්දු
advertistmentadvertistment
advertistmentadvertistment